මෙතෙක් කතාව
සුබසෙත් ගෙදරදී පියතුමා අවදී වූයේ අළුයම 4.00 ය. ඉන්පසු මඳ වේලාවක් භාවනා කරයි. අනිකුත් වැඩ පටන් ගන්නේ ඉන් අනතුරුවය. භාවනා කරනා බොහෝ අවස්ථාවලදී මයිකල් පියතුමා දෙනෙත් යොමු කරගෙන සිටියේ තමා විසින් සෑහෙන කලක පටන් ඇති දැඩි කරමින් සිටිනු ලබන මුවා වෙතය. මුවා යනු අවිහිංසකත්වයේ සංකේතයකි. එසේම මේ මුවා තම හාම්පුතා වූ මයිකල් පියතුමාට බෙහෙවින් ආදරය කළේය. මේ සත්වයාට මයිකල් පියතුමා විසින් හාම්පුතෙකුට වඩා තමන්ගේම මවක වෙතින් ලැබෙන සෙනහසක් හා රැකවරණයක් ලැබිණි. එය කෙතරම්ද කිවහොත් ඌ රාත්රියට නිදාගත්තේද පියතුමාට නුදුරින් පියතුමාව පෙනෙන පරිද්දෙනි.
1987 නොවැම්බර් 4 දා උදා විණි. මයිකල් පියතුමා බුත්තල ප්රදේශයේ දිළිඳු ගැමියන් වෙනුවෙන් කල සේවාවකට අදාල ලිපිගොණු කිහිපයක් රැගෙන මොණරාගල දිසාපතිතුමා හමුවන්නට ගියේය. වෙනදා මෙන්ම මද්දහන් අව්වද බෙහෙවින් පීඩාදායක වී තිබිණි. දූවිල්ලත්, අව් රශ්මියත් විඳ ගන්නට අසීරු වුණත් ඒ තෙහෙට්ටු බවට උඩින් පියතුමාගේ මුහුණේ වෙනදා තිබූ පියකරු සිනහව එපරිද්දෙන්ම පැවතිණි. ගතපුරා වෑහෙන දහඩිය පිසිමින් මයිකල් පියතුමා ගෙට ගොඩවිය. වතුර වීදුරුවක් පානය කළ පසු ඒ තෙහෙට්ටු බව සෑහෙන පමණකට මග හැරිණි. ඉන්පසු පියතුමා පැය භාගයක පමණ කෙටි විවේකයක් ගත්තේය.
"මෙහෙම ඉඳලා බෑ අද පන්තිය පටන් ගන්න ඕනෙ." ඉන්පසු පියතුමා තම අසල හුන් කිහිප දෙනා වෙත කියමින් හුන් තැනින් නැගී සිටියේය. අළුකළවිට පදිංචියට පැමිණි දා පටන්ම ගමේ නූගත් පිරිස වෙනුවෙන් නොයෙකුත් විෂයනට අදාලව පැවැත්වූ පන්ති මේ වන විටත් අඛන්ඩව පවත්වාගෙන යමින් තිබිණි.
"එහෙම හිතලා කම්මැලි වෙන්න එපා. අපි හැමදාමත් ජීවත් වෙන්නේ නෑ. මැරෙන්න කලින් මම දන්න සේරම කාටහරි කියාදෙන්න ඕනෙ. ඒ හින්දා පන්තියට සූදානම් වෙන්න." යි පියතුමා උදක්ම පැවසීය.
මයිකල් පියතුමාට නිර්නාමික ලිපි මඟින් අතොරක් නොමැතිව මරණ තර්ජන එල්ල වෙමින් පැවතියේය. එහෙත් නිරතුරුවම අවංක හැඟීමෙන් බුත්තල ප්රදේශයේ ගැමියන් වෙනුවෙන් අනූපමේය සේවාවක් උදෙසා සිතින් ගතින් දෙකෙන්ම ඇප කැප වී ක්රියාකල පියතුමා ඒ කිසිත් පිළිබඳ තැකීමක් කළේ නැත.
ඊලඟ පිටුවට
0 comments:
Post a Comment