මෙතෙක් කතාව
ඒ වන විට දෙවතාවක්ම හමුදාව විසින් සුබසෙත් ගෙදර වටලා තිබිණි.
1987 නොවැම්බර් 6 දා රාත්‍රී 11 ට පමන එසේ වැටලූ දෙවන වතාව විය.
එදින මුළු රැයම මයිකල් පියතුමා පමණක් නොව සුසිල් සෙවනේ උන් කන්‍යා සොයුරියන් සහ අනිකුත් තරුණියන් පවා පසු වූයේ නිදි වර්ජිතවය. එපමණටම පරිසරය අවිනිශ්චිත විය. අර්බුදකාරී විය. කාගේවත් හිතකට මද සැනසිල්ලක් හෝ තිබුනේ නැත. හැමෝම පසුවූයේ බියෙනි, කුතුහලයෙනි.
එවන් තත්වයක් මත වුවද අළුයම දිව්‍ය පූජාව පැවැත්වූ මයිකල් පියතුමා උදේ පන්තිය පැවැත්වීමද ආරම්භ කළේය.
වෙලාව එදින උදේ 9.30 පමණ වී තිබිණි.
යලිත් වේගයෙන් පැමිණි හමුදා වාහනයක් දූවිලි සහිත ගල් බොරුළු අතුල මාවතේ "ක්‍රීස්" හඬක් නංවමින් එක්වරම නතර කරනු ලැබිණ. හමුදා නිලධාරීහු කිහිප දෙනෙකු ඉන් බැස සුබසෙත් ගෙදර ඉදිරිපිටට පැමිණ නතර වූහ.
" කෝ ෆාදර්?" ඉන් එකෙකු ඇසුවේ තර්ජනාත්මකවය. මේ වන විටත් මයිකල් පියතුමා ඔවුන් ඉදිරිපිටට ගොස් තිබිණි.
"මං තමයි ෆාදර්" පියතුමා ඔවුන්ට සන්සුන් ලෙස පිළිතුරු දුන්නේය.
"නැහැ. නැහැ. අපි අහන්නේ අර ඊයේ රෑ අපි එනකොට හිටපු වයසක ෆාදර් ගැනයි." එක් හමුදා නිලධාරියෙකු කීයේ පියතුමාගේ කතාවට බාධා කරමිනි. එහෙත් එය ඇසූ සැනින් පියතුමාගේ මුහුණට සිනාවක් නැගුණි.
පෙරදා රැයේ පියතුමා සිටියේ සරමක් හා කමිසයකින් සැරසී ගෙනය. එහෙත් උදේ දිව්‍ය පූජාව සඳහා පූජක ලෝගුව ලාගත් පියතුමා මේ වන විටත් සිටියේ එම ලෝගුව පිටින්මය. මෙම හමුදා නිලධාරීන්ට ඊයේ රෑ සිටි පියතුමාත්, දැන් මේ මොහොතේ තමන් ඉදිරිපිට සිටගෙන හිඳින පියතුමාත් එක් අයකු ලෙස නොව දෙදෙනෙකු ලෙස පෙනී ඇත්තේ එබැවින් විය යුතුය.
"ඊයේ රෑ හිටියෙත් මමම තමයි මහත්තයෝ. මම ඇර වෙන ෆාදර් කෙනෙක් මේ ගෙදර නෑ."
එවර ඔවුහු මයිකල් පියතුමාගේ හිස සිට පාදාන්තය දක්වා පිරික්සුම් බැල්මක් හෙලූහ. මුලින් පියතුමාගේ කීම පිළිගන්නට අදිමදි කළත් පසුව ඔවුන් පියතුමාව විශ්වාස කරන්නට ඇත.
ඊලඟ පිටුවට
0 comments:
Post a Comment