පාකිස්තානයේ පුහුණුව ලැබූ හමුදාවේ අය හරිම භයානකයි......

. Thursday, November 26, 2009
4 comments

මෙතෙක් කතාව


      "ඉක්මනට ඉගෙන ගන්න ළමයිනේ. තව වැඩි කාලයක් නෑ කොයිදේටවත්. කොයි මොහොතේ දෙවියන් වහන්සේ ටොක්කක් ඇනලා එන්න කියයිද දන්නෙ නෑ." විහිළුවක ස්වරූපයෙන් මුත් පියතුමා පළ කළේ ගැඹුරි හඬකි. සැබවින්ම මයිකල් පියතුමාගේ මුහුණෙන් පළවූයේද ගැඹුරු පෙනුමකි.

      පාඩම කරන අතරේ වුවද ඉන් ටික වෙලාවකට පෙර තමා සාකච්ඡා කරමින් සිටි පාකිස්තානයේ පුහුණුව ලද බව කී හමුදා කර්නල්වරයා පියතුමාගේ මතකයට නැගිනි.

      "ඔය පාකිස්තානයේ පුහුණු වුණු අය හරි දරුණුයි. කොහොමටවත් විශ්වාස කරන්න බෑ. දවල්ට බොහොම මිතුරු විදියට පෙනී ඉඳලා රෑට ඇවිත් මරලා දාලා යනව මිනිස්සුන්ව. ඒ විදියට මරලා දාල නිකන් ඉන්නෙත් නෑ. උදේට ආයෙත් ඒ මළගෙදරට ඇවිත් අනිත් අයත් එක්ක එකතු වෙලා මරණය ගැන දුක් වෙනවා. එතකොට මිනිස්සු ඒ අය ගැන කොහොමටවත් සැක හිතන්නෙ නෑනේ. සතුරු කඳවුරු වල ඔය අය මිතුරු වෙසින් ඉන්නවා. ඊට පස්සෙ රෑට ගිහින් ඒ සේරගෙම බෙලි කපනවා. අන්තිමේ උදේට ඒ හමුදාව රැස් කරන්න නලාව පිඹින කොටයි දන්නෙ සේරම මැරිලා. අන්න ඒ වගේ හරිම භයානක පිරිසක් ඔය."

      පියතුමා එසේ විස්තර කරද්දි තරුණියෝ භ්‍රාන්ත වී බලා උන්හ. ඔවුන්ගේ සමේ රෝම කූප පවා භීතිය නිසාම කෙලින් වී සමේ හිරි ගඩු නැංවී තිබිණි. තරුණියන් දෙදෙන අසලින් හුන් කන්‍යා සොයුරියන් දෙදෙනාද විස්මයෙන් ඇලලී බලා සිටියහ.

      "අනේ ෆාදර් අපිටනම් හරිම බයයි" ඔවුහු වෙව්ලන හඬින් පැවසූහ.

      "ම්ං අද එයාට මේ ගම ගැන හොඳට පහදලා දුන්නනේ. ආයෙත් නම් ඉතින් මට විරුද්ධව දාලා තියෙන ඔය බොරු පෙත්සම් පස්සේ එන එකක් නෑ. මම කුරුසිය අතේ තියාගෙනමයි කතා කළේ. මට කතා කරන්න කුරුසියේ හයිය හොඳටම ලැබුනා." පියතුමා පැවසුවේ තෘප්තිමත් ස්වරයකිනි.

      "ඒ කොහොම වුනත් ෆාදර් පරිස්සම් වෙන එක හොඳයි. මිනිස්සුන්ට තව දුරටත් ෆාදර්ගෙ සේවය අවශ්‍යයි. ඒ හින්දා ප්‍රවේශම් වෙන්න" කන්‍යා සොයුරියක් මයිකල් පියතුමා වෙත කරුණාවන්ත හඬින් කියා සිටියාය.


------ 96 ------


 

ජිවිතය සහ මරණය පිළිබඳ සිතුවිලි......

.
0 comments

මෙතෙක් කතාව



      ...... කන්න දෙයක් නැතුව, අඳින්න හරි හමන් වස්ත්‍රයක් නැතුව, ගිනි ගහන අව්වට පිච්චෙනවට කකුලට දාගන්න රබර් සෙරෙප්පු දෙකක් තරම්වත්, කොටින්ම ඉන්න හරි හමන් ගේ පැලක් වත් නැතුව දුක් විඳින මිනිස්සු මේ පළාතේ හුඟක් ඉන්නවා. ඇයි මේ මිනිස්සු මේ තරම් දුක් විඳින්නේ? අපේ රටේ ස්වභාවික සම්පත් බහුජාතික සමාගම්වලට බදු දීලා නැත්තම්,  උන් ඒ විදියට අපේ රටේ සාරය උරාගන්නෙ නැත්තම් ඔය විදිහට මේ ඌව වෙල්ලස්ස ප්‍රදේශයේ මිනිස්සුන්ට දුල් විඳින්න වෙන්නෙ නැහැ.

      පියතුමා කර්නල්වරයා සමඟ එම පලාතේ දුක් විඳින මිනිසුන් පිළිබඳව තවත් බොහෝ දේ කීවේය. මේ සියල්ල කියාගත් පසු මයිකල් පියතුමාගේ මුහුණෙහි තෘප්තිමත් සිනාවක් ඇඳිණි. එමෙන්ම එතුමාගේ සිතට සැහැල්ලුවක්ද ලැබී තිබූ බවක් පෙනෙන්නට විය. කතාබහ අවසානයේ කර්නල්වරයා පළ කළේ මහත් ලෙන්ගතු බවකි. සෑහෙන වෙලාවකට පසු තමා හුන් අසුනින් නැගී සිටි කර්නල්වරයා "හෙට අනිද්දා දිහාවෙ කතරගමට යන ගමන් ආයෙත් ඇවිල්ලා යන්න එන්නම්කො මට ෆාදර් එක්ක ටිකක් නිදහසේ කතා කර කර ඉන්නත් ඕනෙ" යි පැවසීය. පියතුමා වෙතින් පළවූයේ කෘතඥතාපූර්වක බවකි.

      එම නොවැම්බර් 10 වෙනිදා දහවල් 2.00 ට පමණ කන්‍යා සොයුරියන් සමීපයේ හුන් තරුණියන් දෙදෙනාට  පියතුමා එතෙක් උගන්වමින් හුන් පාඩම් පෙලේ අලුත් පාඩම කියා දීම ආරම්භ කළේය.

      ටික කලක සිට පියතුමාට ඉන් පෙර හිතට නොදැනුනු අන්දමේ අමුතු අමුතු දේවල් සිය ජිවිතය සහ මරණය සම්බන්ධයෙන් දැනී තිබුණු බව අපි මීට ඉහතද සඳහන් කළෙමු. මේ අමුතු සිතිවිලි මතින් පියතුමා වෙතින් දිස්වූයේ වෙනදා නොමැති කාර්යබහුල බවක් හා කඩිසර බවකි. තමා විසින් කළ යුතුව ඇති වැඩ කොටස් ඉක්මනින් ඉවරකර නොදැම්මොත් යළි ඊට අවස්ථාවක් නොලැබේය යන හැඟීමක් පියතුමාගේ යටි සිතෙහි හෝ පහළව තිබුණා විය හැක. එබැවින් මේ තරුණියන් දෙදෙනාට කරනු ලබන ඉගැන්වීමේ කාර්යය වුවද ඉතා ඉක්මනින් කරගෙන යාමේ තදබල අවශ්‍යතාවයක් මෑතකදී පියතුමා තුළ පැවතිණි.

------ 95 ------

ගෙදර කට්ටිය කව්පි කොළ තම්බල වතුර බීලා වේල පිරිමහ ගන්නවා......

. Wednesday, November 25, 2009
0 comments

මෙතෙක් කතාව


මයිකල් පියතුමාට සාවදානව සවන් යොමු කළත් කර්නල්වරයා නම් බුත්තල ප්‍රදේශය පිළිබඳව කිසිදු පැහැදීමකින් කතා කළේ නැත.

      "මට තොරතුරු වගයක් ලැබිලා තියෙනව ෆාදර් මේ ගමේ ජේ. වී. පී. එකට සම්බන්ධ සැක කටයුතු එක්තරා පිරිසක් ගැන.යනුවෙන් පැවසූ කර්නල්වරයා ඒ සම්බන්ධයෙන් මයිකල් පියතුමා වෙතින් කරුණු විමසන්නට පටන් ගත්තේය.

      "මං දන්නා තරමින් නම් ඔය කියන විදිහේ කට්ටියක් මෙහෙ නෑ මහත්තයෝ. අසූතුනේ අවුරුද්දට කලින් නම් ඔය කියන පක්ෂයේ අය මේ පැත්තෙ හිටියා. මේ ගමේ ඉන්න අහිංසක දුප්පත් ගොවියො. ඒ මිනිස්සු ජීවත් වෙන්න හුඟාක් දුක් විඳිනවා. අපි කරන්නේ ඒ ගොල්ලන්ට ඒ අවාසනාවන්ත තත්වයෙන් ගොඩ එන්න උදව් කරන එක. ඒත් ගමේ ඉන්න කීප දෙනෙක් ඒකට කැමති නෑ. ඒ හින්දා ඒකට නොයෙක් විදිහෙ බාධා විරුද්දකම් කරනවා. ඒ විතරක් නෙමේ. වරින්වර නොයෙක් විදිහේ පෙත්සම් යවනවා කියලත් ආරංචියි. ඔය ලඟදි වෙඩි වැදුන මනුස්සයත් කීප වාරයක්ම මටත් තර්ජනය කරලා තියෙනවා. එ විතරක් නෙමේ, මහා නරක චෝදනාවල් වගයක් පොලිසියට ඉදිරිපත් කරලා මාව එක වතාවකදි පොලිසියටත් අරගෙන ගියා"

      සියල්ල කර්නල්වරයා හොඳින් අසා සිටියේය. ඒවා අනුමත කළ බවක්ද පෙනුණි. සැබැවින්ම නිතර නිතර මේ ගමට කඩාවදින මේ හමුදා නිලධාරීන්ට සත්‍ය පහදා දෙන්නට පියතුමාට මහත් ඕනෑකමක් දින ගණනාවක සිටම පැවතිණි. ඒ මොහොතේම පියතුමා ගමේ හොඳින් දන්නා හඳුනන දිළිඳු පවුලක කුඩා දැරියක් පාරේ ගමන් කරනු පෙනිණි. ඇය ඇඳ සිටි ගවුම තැනින් තැන ඉරී කෑලි එල්ලෙමින් පැවතියේය. එය බෙහෙවින් දුර්වර්ණවද ගිසිනි.

      "මහත්තයා, අර පාරේ යන පොඩි දරුවව පේනව නේද? ඔය ළමයින්ට කන්න අඳින්න තියා හරියට ඉන්න හිටින්නවත් තැනක් නෑ. මං හොදටම දන්නව සමහර දවස් වලට ඔය ගෙදර කට්ටිය කව්පි කොළ තම්බල වතුර බීලා වේල පිරිමහ ගන්නවා. ඔය එක පවුලක් විතරයි. ඒත් ඔච්චර විතරක් නෙමේ, තවත් ඔය වගේ පවුල් විශාල ප්‍රමාණයක් මේ ප්‍රදේශයේ ඉන්නවා.

------ 94 ------


ඊලඟ පිටුවට

හමුදා නිලධාරීන් ඉල්ලා සිටියේ ඇගේ සැක කටයුතු පුතුවය......

.
0 comments

මෙතෙක් කතාව


ඔහුගේ ළය වේදනාවෙන් බරව ඇති අයුරු ඔහු යාච්ඥා කරන ආකාරයෙනුත්, වදන් පිටකරන ආකාරයෙනුත් පැහැදිලිව පෙනේ. එම මහළු කාන්තාවට නොයෙකුත් ආකාරයට තර්ජනය කරමින් හමුදා නිලධාරීන් ඉල්ලා සිටියේ ඇගේ සැක කටයුතු පුතුවය. පුතාව වහාම හමුදාවට භාර නොදුන්නොත් ඇයට පමුණුවනවාය කී වධ හිංසා පිළිබඳව ඇසූ කාගේ වුවද සිතක මොවුන් මව්වරුන්ගේ දරුවන්දැයි යනුවෙන් සැකයක් නොසිතුණොත් එය මහත් පුදුමයකි. දහ දුක් විඳ පුතුන් වදා හදා ගන්නේ මෙලෙස මානසික හා කායික වධ හිංසා වලට ලක්වීමට නම් ඒ මව් කමේ ඇති ඵලය කුමක් දැයි කවුරුන් හෝ ගැහැණියකට හැඟී ගියහොත් එහි පුදුම විය යුතු දෙයක් නැත. ඉකුත් භීෂණ සමයේ තරුණ තරුණියන් කායික වධහිංසා විඳිද්දී ඊට දස දහස් ගුණයකින් අධික වූ මානසික වධ හිංසාවක් ඔවුන්ගේ මව්වරුන් විඳින්නට ඇත.

      මෙසේ එම මහළු කාන්තාවගේ නිවසින් නික්මුණු හමුදා නිලධාරීන් ඊලඟට කෙලින්ම පැමිණියේ සුබසෙත් ගෙදරටය.

      මයිකල් පියතුමා ඔවුන් ඉදිරියට පැමිණියේය. පැමිණ සිටි පිරිස අතර නුපුරුදු කර්නල් වරයෙක්ද විය. ඡ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙකුද වන ඔහු අලුතින් ඒ පලාතට පත්වී ආ අයකු විය යුතුය.

      කර්නල් වරයා ඇතුළු පිරිස සුබසෙත් ගෙදර සේම ගෙවත්තද හොඳින් පරීක්ෂා කර බැලූහ. ඔවුන්ගේ රාජකාරිය කර ගන්නට ඉඩ සලසා දී පියතුමා පැත්තකට වී බලා සිටියේය.

      අවසානයේ කර්නල්වරයා පැමිණ සුබසෙත් ගෙදර ඉදිරිපස වූ අසුනක වාඩි වී පියතුමා හා කතාවට වැටිණි.
      "මහත්තයා ලඟකදී වෙන්න ඇති මේ පලාතට ආවෙ?" පියතුමා විමසීය.

      "ඔව් මං පාකිස්ථානයේ හිටියා කාලයක් තිස්සේ. එහිදි හමුදා පුහුණුව ලැබුවා. ෆාදර්ස්ල හුඟ දෙනෙක්වම ආශ්‍රය කරලත් තියෙනවා. මං බුද්ධාගමේ. ඒත් මට ආගම් භේදයක් නෑ. කොයි ආගමටත් ගරු කරනවා.

      "ඒක හොඳයි. ඇත්තටම එහෙම තමයි වෙන්න ඕනා." යනුවෙන් මයිකල් පියතුමා අළුකළවිට ගම ඇතුළු බුත්තල ප්‍රදේශය පිළිබදවත්, තමන් ගම්මුන් හා ඇති කළ බොදු කිතුනු හවුල පිළිබඳවත් කර්නල්වරයාට මඳක් විස්තර කළේය.

------ 93 ------

දෙවියනි ගන්න මාව ඒ වෙනුවට......

. Tuesday, November 24, 2009
0 comments

මෙතෙක් කතාව


...... නමුත් සැකකාර තරුණයා නිවසේ හිඳින බවක් නොපෙනිණි. ඒ වෙනුවට ඔහුගේ මහළු මව බලවත් වේදනාවෙන් යුතුව මහා හඬින් හඬමින් හමුදා නිලධාරීන් වේගයෙන් මහ පොළවේ අඩි හප්පමින් නගන ප්‍රශ්න වලට පිළිතුරු දෙනු පෙනිණි.

      "අනේ බුදු මහත්තයෝ ඌ මට කියලා නිමෙයි කොයිදේ උනත් කරන්නේ. බුදු සර්, මගේ මේ ඇස් දෙක පල්ල මං කියන්නේ ඇත්තයි. මගේ දරුවෝ තුන් දෙනා තුන් පොලේ. එක් පුතෙක්ගේ ගේ පුච්චලා දාලා මේ ඊයේ පෙරේදා දොහකදි. උන් කොහේ ගිහින්ද මං දන්නේ නෑ. උන් මට කියන්නෙත් නෑ. මේ නාකි මාව උන් මායිං කරන්නේ නෑ. උන්ට ඕනා දේවල් උන් කරනවා මිසක්. මං කියන්නේ ඇත්ත. මගෙන් අහන්න එපා බුදු සර් මගේ දරුවෝ ගැන. ම්ං කිසි දෙයක් දන්නේ නෑ. අයියෝ දෙයියනේ ඇයි මේ මාව මැරෙන්නේ නැත්තේ?"

      එම මහළු මව විලාප නගයි. ඇගේ විලාපය අසන කාගේ වුවද හදවත් මව්වරුන්ගේ නාමයෙන් වත් කකියන්නේ නැත්තම් සැබවෙන්ම පුදුමසහගතය. නුදුරු නිවෙස්වල වසන කාට වුවද එම විලාපය පැහැදිලි ලෙසම ඇසෙන්නට ඇති බව නිසැකය.

      සුසිල් සෙවනේ හුන් කන්‍යා සොයුරියන් දෙදෙනා සේන තරුණියන් දෙදෙනාද මයිකල් පියතුමා අනුවම මෙම විලාපය අසා සිටියහ. ඔවුන්ගේ දෙනෙත් මුල් කඳුළින් බරව තිබිණි.

      පියතුමාගේ හදවතද උසුලාගත නොහැකි තරමට කකියන්නට විය. අවසානයේ ඔහු වේදනාවෙන් කෑ ගසන  ආකාරයකින් යුතුව වේගවත් වදන් පිට කරන්නට වුණි.

      "ඇයි ඔයගොල්ලොත් තවත් ඒ අහිංසක අම්මා කෑගහන හැටි අහගෙන සද්ද නොකර ඉන්නේ? ඔය විදියට බලන් හිටියට වැඩක් නෑ. ගිහින් කියන්න දෙවියන් වහන්සේට මෙ අහිංසක මනුස්සයාගෙ දුක් ගින්දර නිවන්න කියලා."

      පියතුමා කීවේ එපමණි. තවත් මොහොතකින් එතුමා දිව්‍යසත්ප්‍රසාදය අභියස දණගසාගෙන දෑත් දෙපසට විහිදා දෙවියන් වහන්සේට යාච්ඥා කරණු පෙනිණි.

      "ඇයි ඔබ වහන්සේ අර මහලු කාන්තාවට අරතරම් කරදර දෙන්න ඉඩ දෙන්නේ? දෙවියනි ඒක නතර කරන්න. දෙවියනි ගන්න මාව ඒ වෙනුවට. ගන්න මාව" මයිකල් පියතුමාගේ වදන් ශෝකයෙන් බරය. වේගවත්ය.

------ 92 ------