කතෝලික පියතුමෙකු වෙනුවෙන් ගමේ විහාරයේ හත්දොහේ දානයක්......

. Wednesday, December 2, 2009
3 comments

මෙතෙක් කතාව


පසුදින එනම් නොවැම්බර් 11 දින පියතුමාගේ මරණය සම්බන්ධව මරණ පරීක්ෂණය පැවැත් විණි.

පූජකවරුන් ඇතුළු වගකිව යුත්තන් ගණනාවකගේ මැදිහත්වීමෙන් පියතුමාගේ දේහය මරණ පරීක්ෂණයෙන් පසු එදිනම බණ්ඩාරවෙල දේවස්ථානයට ගෙන එන ලදී. මේ අවස්ථාවේදි පියතුමා වෙනුවෙන් කතාවක් පැවැත්වූයේ පියතුමා ළඟින් ඇසුරු කරන ලද භික්ෂූන් වහන්සේ නමක විසිනි.

එදිනම බණ්ඩාරවෙල පූජකවරුන් පුහුණු කරන මධ්‍යස්ථානයට පියතුමාගේ දේහය ගෙන යන ලදුව 12 දින කොළඹ බොරැල්ලේ  රේමන්ඩ් මල් ශාලාවට ගෙන එන ලද්දේ යළි එම්බාම් කටයුතු කර වෙනත් පෙට්ටියකට දේහය මාරු කරනු පිණිසය.

පසුව මයිකල් පියතුමා ඉපදී හැදී වැඩුනු ගම වූ දෙහිවල ශාන්ත මේරි දේවස්ථානය වෙත දේහය ගෙන ගොස් එහි පැය කිහිපයක් දේහය තබා තිබිණි. එදින එනම් 12 දා රාත්‍රී එය මයිකල් පියතුමාගේ සොයුරා වූ සෑම් මහතාගේ නිවස පිහිටි දෙහිවල, ඉනීෂියස් පාරේ නො. 18 දරණ තැනට ගෙනෙන ලදී.

13 දා උදේ සෑම් රුද්‍රිගූ මහතාගේ නිවසින් ගෙනෙන ලද පියතුමාගේ දේහය කොළඹ මරදානේ පිහිටි සමාජීය හා සාමයික කේන්ද්‍රයේ තැන්පත් කෙරිණි. සමාජීය හා සාමයික කේන්ද්‍රය බිහි කිරීමෙහිලා පුරෝගාමී වූවන් අතර මයිකල් පියතුමා ද එක් අයෙක් විය.

නොවැම්බර් 13 දා සවස් යාමයේ මරදානේ සාමයික කේන්ද්‍රය පිහිටි ඩීන්ස් පාරේ සිට බොරැල්ල කනත්ත දක්වා වැටී ඇති මාවත් වල වෙනදාට වඩා වැඩි වාහන තදබදයක් විය. ඉන් දින දෙකකට පෙර මොලොවින් සදහටම සමුගෙන සිටි මයිකල් පෝල් රුද්‍රිගු පියතුමා බොරැල්ල කනත්ත වෙත සිය අවසන් ගමන යමින් තිබිණි. පොලිස් නිලධාරීන් සෑහෙන පිරිසක් පාරේ ගමන් කරමින් තිබූ වාහන සහ දේහය සමඟ ඇදෙමින් තිබූ දහස් සංඛ්‍යාත ජනකායක් ගමන් කළ අවමංගල පෙරහැර හසුරුවන්නට වූහ. නොයෙකුත් පාඨක වලින් යුත් බැනර් මෙම පෙරහැරේ ගමන් කරමින් හුන් අය අත රැදී තිබිණි. ඔවුන් සෑම දෙනාගේම දෙනෙත් කඳුළු වලින් පිරී ගොසිනි.

දුකින් හඬන ගිහි පිරිසත්, සුදෝසුදු අඳුමින් සැරසුණු පූජක පිරිසත් මෙසේ සන්සුන් ගමනින් ගියේ බොරැල්ල කනත්ත දෙසටය. මළ හිරු බැස යමින් පැවති එම සැන්දෑයාමයේ දහස් ගණන් ජනයාගේ හදවත් කකියවමින් දෙනෙත් කඳුළින් පුරවාලමින් මයිකල් පියතුමාගෙ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කෙරිණි.

------ 105 ------

පියතුමාගේ අවසන් කටයුතු එසේ කොළඹදී සිදු කළත් පියතුමාගෙ සිරුරේ උතුම්ම කොටස වූ මොළය සහ ඇස දේහයත් සමඟ කොළඹ රැගෙන ගොස් තිබුණේ නැත. වෙඩි තැබීමේදි හිස පුපුරායාම මතින් පසෙකට විසිවූ එය අළුකළවිට ප්‍රදේශයේම භූමදාන කරනු ලැබිණි. ඒ පිළිබඳව අළුකළවිට ගමේ තරුණයෙක් මෙසේ පවසා තිබිණි.

"සුවාමිගේ මිනිය කොළඹ අරන් ගියත් එතුමාගේ මොළයයි ඇහැකුයි අතන ළිඳට එහායින් වල දමලා තියෙනවා. තමන්ගේ මොළයයි ඇසුයි අපි වෙනුවෙන් කැප කරපු සුවාමි අපි වෙනුවෙන්ම ජීවිතය බිලි දීලා කොළඹ ගියේ ඒ මොළයයි ඇසුයි අපිටම භාර දීලා"

මයිකල් පියතුමාගේ මෙ හදිසි මරණය මුළු බුත්තල ප්‍රදේශයේම ගිහි පැවදි භේදයක් නැතිවම දහස් ගණන් පිරිසකගේ සිත් කම්පාවට පත් කිරීමට සමත් විය. බොදු කිතුනු සම්බන්ධය මතින් මයිකල් පියතුමා ඇසුරු කරන ලද බුත්තල ප්‍රදේශයේ විහාරස්ථාන කිහිපයකම සංඝයා වහන්සේලා වැඩම කරවා බෞද්ධ පිළිවෙත්වලට අනුව ගමේ විහාරස්ථානයේ හත් දවසේ දානයක් දී එතුමාට පින් අනුමෝදන් කරනු ලැබීණි.

එහිදී පූජ්‍ය අළුත්වෙල සුමනසිරි හිමියෝ මෙසේ පැවසූ සේක. "බුද්ධාගමේ විතරක් නෙමේ ක්‍රිස්තියානි ආගමෙත් මුස්ලිම් ආගමෙත් උගන්වනවා දානය ගැන. සමහරු හිතනවා බෞද්ධයො විතරයි දානෙ දෙන්නෙ කියලා. ඒක වැරදි මතයක්. හැම ආගමකම උගන්වනවා දානය දීම පරිත්‍යාගයක් බව. ඒකෙන් වෙන්නෙ තමන්ගෙ හිතේ තියෙන තෘෂ්ණාව ටිකෙන් ටික අඩුවීම.

මීට දවස් හතකට ඉහතදී අපෙන් සදහටම වියෝ වුණු මයිකල් පෝල් රුද්‍රිගු පියතුමාට මේ පින් ඒකාන්තයෙන්ම අනුමෝදන් වේවා! එතුමා බලාපොරොත්තු වුණු හැටියට ස්වර්ග සම්පත්තිය කොට ඇති පරම ශාන්ත නිවන් සැප ලබා ගැනීම සඳහා මේ පින්කම ඒකාන්තයෙන්ම හේතු වේවා!"

නිමි.

------ 106 ------

පියතුමාව ඝාතනය කරයි......

. Tuesday, December 1, 2009
2 comments

මෙතෙක් කතාව

......"අපි අනුගමනය කරන ක්‍රිස්තුන් වහන්සේ දිළිඳු කෙනෙක්. මේ ගමේ මිනිස්සුන්ට කරදරකදී යන්න තැනක්වත්, අරගෙන යන්න දෙයක්වත් නෑ. කරදරයක් වුනාම අපි මේ මිනිස්සුන්ට අත හරිනවා කියන්නේ දුක් විඳින ක්‍රිස්තු දේහය අත හරිනවා කියන එකයි. මේ ඔවුන්ට අපිව අවශ්‍ය වන වෙලාව. සැපේදි අපි ලඟ හිටපු අයව දුකේදි දාල යන්න මම කැමති නෑ. මම දැන් වයසට ගිහිල්ලා. මගේ ඇටකටුත් දැන් සැහැල්ලුයි. ඒවා මේ බුත්තල ප්‍රදේශයට පස් වුනාට කමක් නෑ. ඒත් අනෙක් අයගේ යහපත සඳහා මෙහෙන් යන්න තීරණය කළොත්, ඒක දේව කැමැත්තනම් මම එයාලට එකතු වෙනවා."

මෙසේ පැවසූ පියතුමා ඉන්පසු දිව්‍ය පූජාව ආරම්භ කරමින් ගීතාවලියෙහි 130 වන ගීතය ගායනා කරන්නට විය.

"සමිඳුනී දුක් සයුරේ සිට මම ඔබට මොර ගසමි. මගේ හඬට සවන් දුන මැන. මගේ කන්නලව්වට ඔබේ සවන් යොමු කළ මැන. සමිඳුනි ඔබ අපේ අයුතුකම්සටහන් කර තබ සේක් නම් විනිශ්චයෙන් බේරෙන්න පුළුවන් කවරෙකුටද? එහෙත් ඔබ කෙරෙහි ගරු බියෙන් සිටිනු පිණිස ඔබ අපට කමාව දෙන සේක."

මෙසේ ආරම්භ කර එතුමා දිව්‍ය පූජාව කරගෙන යන්නට විය. ඉන්පසු එවකට රටේ පැවති තත්වය පිළිබඳවද විස්තරයක් කළේය.

දිව්‍ය පූජාව අවසානයේ සුපුරුදු පරිදිමගේ ආත්මය ඔබ වහන්සේගේ හස්තයට බාර කරමි." යනුවෙන් පැවසූ පියතුමා දෙවියන්ට ප්‍රාණ භාර කිරීමෙන් පසු අනෙක් තිදෙනාටද ආසිරි ගැන්වීම සඳහා සිය සුරත එසවීය. ඒ සමඟම එතෙක් හුන් ඉරියව්ව මඳක් වෙනස් කරමින් අන්තිම ආශිර්වාදය දමන්නට එස වූ අතින් එම ආශිර්වාදය දමන්නට සැරසුණා පමණි.

එකවරම කන් බිහිර කරවන විශාල ශබ්දයක් සමඟ රස්නයක් සහ කුණාටුවක් පිටුපස ජනේලය දෙස සිට කන්‍යා සොයුරියන් හරහා පියතුමා වෙත එක් ක්ෂණයකින් හඹා ගියේය. ජනේලයෙන් එසේ එල්ල වී තිබුණේ සාහසිකයෙකුගේ වෙඩි පහරකි.

ඒ ශබ්දය කුමක්ද? වුණේ කුමක්දැයි කිසිවෙකුටත් සිතාගත හැකි වූයේ නැත. ඔවුන් සතර දෙනාම බිම පතිත විණි.

------ 101 ------
සිහිසුන්ව නොසිටි බෙන්ඩික්ටා සොයුරිය සහ පියතුමාගේ සිසුවියද සිතාගෙන සිටියේ ඒ ශබ්දය බෝම්බයක් පිපිරීම මතින් ඇති වූවක් යනුවෙනි. දෑස් පියාගත් ඔවුහු දෙවියන් වහන්සේ මෙනෙහි කළහ. තවත් සුළු මොහොතකින් එළැඹිය හැකි මරණයට ඔවුහු සූදානම් වූහ.  

ඒ 1987 නොවැම්බර් 10 දාය. වෙලාව රාත්‍රී 7.45 පමණ වී තිබිණි. කෙසේ හෝ යලිත් එවන් බිහිසුණු ශබ්දයක් ඇසුනේ නැත. එසේම එය බෝම්බයක් නොව වෙඩි පහරක් බව පසුව දැනගන්නට ලැබිණි. එහෙත් වෙඩි තැබූ තැනැත්තෙක් නොවීය. අනතුර සිදු වී හමාරය. යාන්තමින් දෑස් ඇර ගත් කන්‍යා සොයුරියක් නැගිටින්නට උත්සහ කළාය. අසීරුවෙන් නැගිට ගත් ඈ මයිකල් පියතුමා හුන් දෙස බැලුවේය. අයට ඉහලට ගත් හුස්ම පහත හෙළීමට පවා අමතක වූයේය. ඕ කෑ ගසන්නට වූවාය.

දිළිදු ගොවි ජනතාව තම ජීවිතය හා සමාන සැළකූ ඔවුන්ට වන අසාධාරණයන් වෙනුවෙන් හැම විටම ඉදිරිපත්ව හඬ නැගූ ඔවුන්ගේ දුක නැති කර ඔවුන්ට තමා උපන් පොළව මත දෙපයින් නැගී සිටීම සඳහා අවිහිංසාව ඔස්සේ මාර්ගයක් සොයමින් වසර 7ක් තිස්සේ බුත්තල අළුකළවිට ගමේ පදිංචිව හිඳ ඔවුන් හා සමානාත්වතාවයෙන් දිවි ගෙවූ මයිකල් පියතුමා අල්තාරය ඉදිරිපස බිම වැටී සිටියේය. නිකන් නොවේ. ප්‍රකෘති සිහිය අහිමිවද නොවේ. මයිකල් පියතුමා සදහටම මෙලොව හැර ගොස් තිබිණි.

එතුමාගෙ අසමාන වූ මිල කළ නොහැකි වූ මොළය හිසින් වෙන්වී කන්‍යා සොයුරියන් ඉදිරිපස බිම පතිතව ඇත. දිළිඳුන් දෙස සේම සියළු මිනිස් වර්ගයා කෙරෙහිම සානුකම්පිතව බැලූ දෙඇසින් එක් ඇසක් එම කාමරයේ තවත් තැනකට විසි වී තිබිණි. පියතුමාගේ සිරුර වැටී තිබුණේ හිස පැත්ත බිත්තියට හේත්තු වන පරිදිය. එම හිසෙන් ඉතිරිව තිබුණේ සුළු කොටසක් පමණි. එතුමා ජීවත්ව සිටි සමයේ අසාධාරණය හමුවේ නිරන්තරයෙන් රත්වන රුධිරය එම වෙඩි පහරින් කුඩුවී විනාශ වී ගිය හිසෙන් උතුරා යමින් තිබිණි. එවා වේගයෙන් සිමෙන්ති පොළව මත ගලාගෙන ගියේය. කාමරය පුරාම පියතුමාගේ සිරුරෙන් විසිවී ගිය මස් වැදැලි විය. අල්තාරය වෙන් කර තිබුණේ සුදු පැහැති තිර රෙද්දකිනි. එය පුරාම විශාල ලේ පැල්ලම් වැටී තිබිණි.

 ------ 102 ------
බාගෙට තිබූ හිසෙන් කැඩී ගිය කොටසක් මුහුණ ලඟින්ම එල්ලෙයි. "මුන්නැහෙට අඩු සිවුරක් විතරයි. නැත්තම් මහණකමට අවශ්‍ය අනික් හැම් අංගයක්ම තියෙනවා."

වරක් ගමේ පන්සලේ භික්ෂූන් වහන්සේ නමක් කීවේ මයිකල් පියතුමා සතු බුදු දහම සම්බන්ධ දැනුම් සම්භාරය සිහිපත් කරමිනි. ඒ දැනුම පිරී තිබූ මොළය සහිත හිසම කුඩු වන්නට සාහසිකයා ඉලක්කය අල්ලා වෙඩි තබන්නට ඇත.

බිම අඩියක් තියන්නට තැනක් පවා නොමැති තරම්ය. එපමණටම පියතුමාගේ හිසේ කැබලි සහ රුධිරය කාමරය පුරාම විසිර තිබිණි. බිම පමණක් නොවේ බිත්තිවලට වහලට පවා සිරුරින් ලේ විද තිබිණි.

කාටවත් කිසි දෙයක් වටහා ගන්නට පවා නොහැකි බවක් පළ වුණි. සිද්ධියෙන් මිල්බර්ගා කන්‍යා සොයුරියත් තුවාල ලබා තිබිණි. මඳ වෙලාවකින් එතැනට පැමිණ හුන් එක් අයෙක් පොලිසියට දිව ගියේය. හමුදා නිලධාරීන් කිහිපදෙනෙකු මිල්බර්ගා කන්‍යා සොයුරියව රෝහලට ගෙන ගියහ.

මේ මයිකල් පියතුමා පැතූ මරණයම විය. පාන්දර දෙක පමණ වන විට පියතුමගේ පණ නල රහිත සිරුර කහ පාට වෙමින් පැවතියේය. ඒ වන විට සිරුරේ අධික රුධිරය පිටවී හමාර වී තිබූ නිසා වන්නට ඇත. සිරුරේ මස් වැදලි අතරේ ලේ කැටි ගැසී එහි වතුර පමණක් ඒ වනවිට පොළවෙහි හැම තැනම ඉතිරිව තිබිණි.

දෙවියන් වහන්සේ මෙලොවට හිමි කර දුන් දිළිඳුන්ගේ ප්‍රාණපරිත්‍යාගීවරයා දෙවියන් වහන්සේ විසින්ම යළි කැඳවාගෙන ඇත.

මුළු ගමම බුත්තල ප්‍රදේශයම එකසේ හඬා වැළපෙන්නට වූහ. එතුමාව නිසි ලෙස හඳුනාගෙන සිටියේ ගමේ එතුමා සමඟ එකට බත්පත බෙදාගෙන කෑ එකට දුක සැප බෙදාගත් දිළිඳන්මය. එතුමාට ආගමික වශයෙන් හෝ වෙන කුමන ආකාරයකින් හෝ කඳවුරක් තිබුණේ නැත. තිබුණේ කිසිම කෙනෙකුට ගැති නොවූ නිදහස් චින්තනයක් පමණි.

------ 103 ------
බුදුන්වහන්සේ තුළ ද පැවතියේ මෙවැනිම වූ දර්ශනයකි. පසුකාලීනව සංඝයා වහන්සේලා විසින් නොයෙකුත් කඳවුරු ඇති කර ගත්තත් බුදුරජාණන්වහන්සේ කඳවුරු මුළුමනින්ම ප්‍රතික්ෂේප කළ අයෙකි. නිදහසේ සිතීම, නිදහසේ ජීවත්වීම පිළිබඳව බුදුන්වහන්සේ දෙසූ සේක. මයිකල් පියතුමාද බෞද්ධයෙකු නොවූවත් එම චින්තනට ගරු කළේය.

මෙවැනි චින්තනයක් පිළිබඳව වටහා ගන්නෝ සමාජයේ විරල වෙති. මිනිසුන් එක් එක් ආකාරයට ප්‍රභේද කිරීම පක්ෂ වශයෙන් වෙන් කිරීම සමාජයේ ලක්ෂණයයි. මේ දෙකටම අයත් නැති නිදහස් පුද්ගලයෙකු කෙරෙහි අනෙක් දෙපිරිසම තුළම බල පවත්නේ සැකයකි.

පියතුමා ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ යැයි ද කැරළිකරුවන්ට උදවු උපකාර කරන්නේ යැයිද හමුදාව මයිකල් පියතුමාව සැක කළහ. පැවති රජයේ ඇතැම් දේශපාලනඥයන්ගේ අකටයුතුකම් නොරිස්සු පියතුමා දිළිඳුන්ගේ පැත්ත ගනිමින් ඊට එරෙහි විය. දිළිඳුන්ට පක්ෂයක් නැත. දේශපාලනය ගැන හැඟීමක් නැත. ඔවුන් සටන් කළේ දරිද්‍රතාවය දුරු කර ගැනීම සඳහාය. මෙසේ ඔවුන්ට පිහිට වන්නට ගිය හෙයින් මයිකල් පියතුමා රජයටත් හමුදාවටත් පෙනුනේ ජනතා විමුක්ති පෙරමුණේ කැරළිකරුවන්ට සහාය දෙන ඔවුන්ට ආරක්ෂාව දෙන කෙනෙකු වශයෙනි. ඒ එක් පැත්තකි.

අනෙක් පැත්ත ඊට වඩා වෙනස්ය. නොරාඩ් සංවිධානයේ ආධාර ගෙන ගමේ දිළින්දන්ට නිවාස, වැසිකිළි සාදා දීමේදිත් ඊට විරුද්ධ වූ පිරිසක් වූහ. මයිකල් පියතුමා පැලවත්ත සීනී කම්හලේ කම්කරුවන්ට වන අසාධාරණ වෙනුවෙන් අනේක වාරයක් මොනරාගල දිසාපතිවරයා වෙත ගොස් පැමිණිලි ඉදිරිපත් කර ඔවුන්ට සහනයක් සලසා දීමට යාමේදීත් ඊට විරුද්ධ පිරිසක් සිටියහ. ප්‍රදෙශයේ කැරළිකාර තරුණයන්ගේ අදහස වූයේ පවතින ක්‍රමය මුළුමනින්ම වෙනස් කර අළුත් ක්‍රමයක් ඇති කළ යුතු බවයි. පියතුමා මෙ කරනු ලබන සේවය
"පැලැස්තර දැමීමක්" ලෙස සැළකූ තරුණ කොටස් පියතුමා පවතින රජයට ගැතිකම් කරන්නෙකු සේ සළකන්නට ඇත.

කෙසේ හෝ දෙපැත්තෙන් දෙපිරිසක් පියතුමාට එරෙහි වූහ. එහි අවසන් ප්‍රතිඵලය වූයේ කවුරුන් හෝ සාහසිකයෙකු වෙතින් සිදුවූ මයිකල් පියතුමාගේ මරණයයි.

------ 104 ------

ඝාතනයට පැය 1 1/2 කට පෙර......

. Monday, November 30, 2009
0 comments

මෙතෙක් කතාව

      ......එහෙත් මයිකල් පියතුමා එය ගණනකට ගත් බවක් නොපෙනිණි.

      "දෙවියන් වහන්සේ නොදැන කිසි දෙයක් සිද්ධ වෙන්න බෑ. ඒ හින්දා ඔයා අනවශ්‍ය දෙවල් හොයන්න කාලෙ ගත කරන්නෙ  නැතිව එ වෙලාවෙ යාච්ඥාවක් කර ගන්න එක හොඳයි නේද?"

      මයිකල් පියතුමා එය ගණනකට නොගෙන පැවසූ විට ඊට ඉහලින් යම්ක් කියන්නට කන්‍යා සොයුරියන් උත්සහ නොකළත් ඔවුන්ගේ සිත් භීතියෙන් හා සැකයෙන් ඇලලී ගොස් තිබිණි.

      එදින සැන්දෑවෙහි මයිකල් පියතුමා මහත් උවමනාවකින් ලතින් ඇමෙරිකානු රටවල් වල දිළිඳු ජනතාව සම්බන්ධ ලිපියක් කියවනු පෙනිණි. එම දිළිඳු ජනයා වෙනුවෙන් කිතුනු පූජක වරුන් සහ කන්‍යා සොයුරියන් කරන ලද කැපවීම ඔවුන්ට වෙඩි තබා මරා දමන ලද අන්දම මේ ආදී බොහෝ දේවල් එම ලිපියෙහි ඇතුළත්ව තිබිණි. එය අවසන් වී ඔහු හිස් කඩදාසි කිහිපයක් ගෙන කුමක්දෝ ලියන්නට විය.

      අද රෑට අපූරු වැඩක් සිද්ධ වෙනවා බලන්නකො පූජාව වෙලාවෙදි" තමා අසලින් ඒ මොහොතේ යන්නට ආ සුසිල් සෙවනේ හි සිසුවියක් සමඟ පියතුමා පැවසීය. වෙනදාට සුබසෙත් ගෙදර දිව්‍ය පූජාව පැවැත්වීම ආරම්භ වන්නෙ රාත්‍රී 7.00ට පමණය. එහෙත් එදින එය ඊට වඩා වේලාසනින් ආරම්භ කිරීමට පියතුමාට වුවමනා වී තිබිණි. සැන්දෑවේ 6.00 ආසන්න වන විට දිව්‍ය පූජාව සඳහා අවශ්‍ය සියළුම දේ සූදානම් කරගත් පියතුමා කන්‍යා සොයුරියන් ඇතුළු අන් අයටද ආරාධනා කළේය. එහෙත් ඒ අය පැමිණෙන්නට මඳක් පමා වූ බැවින් පියතුමා උස් හඬින් ගීතිකාවක් ගයන්නට විය.

සෑම සිරි ගලා එනා
එකම උල්පත වනා
ත්‍රි එක් සුරිඳුන්ගේ ගුණා
වනත්වා ලෝ සැම දෙනා

      කෙසේ හෝ සැන්දෑවේ 6.00 වන විට දිව්‍ය පූජාව ඇරඹිනි. "දෙවියන් වහන්සේ වෙනුවෙන් අපට ඕන තරම් කාල වේලාව තියෙනවා." එසේ කී මයිකල් පියතුමා වෙනදාට වඩා වැඩි වේලාවක් අද දින පූජාව සඳහා යොදා ගන්නට තීරණය කර ඇති බව පැවසීය.

------ 99 ------

      මේ වන විට බුත්තල ප්‍රදේශය තුළ උද්ගත වී තිබූ තත්වය මත බොහෝ දෙනෙකුගේ අදහස වූයේ ටික කලකට හෝ බුත්තල හැර දමා කොළඹට පැමිණීම සුදුසු බවයි. පියතුමා සැම විටම දිළිඳුන්ගේ පැත්ත ගැනීම නිසා මෙ වන විට එතුමා වෙත බලවතුන්ගේ දැඩි තර්ජන එල්ල වෙමින් තිබිණි. එපමණක් නොව එම ප්‍රදේශයේ සිදුවන සෑම සිදුවීමක් සම්බන්ධයෙන්ම සුබසෙත් ගෙදර පරීක්ෂාවට ලක් කිරීමද ආරක්ෂක හමුදාවන් වෙතින් නොකඩවාම සිදු විය.

      මේ සියළු හේතූන් අනුව සළකා බැලූ කල මෙහි රැඳි සිටිය යුතුද නැද්ද යන්න අළුතින් සිතා බැලීම කළයුතු විණි. මේ මොහොතේ කන්‍යා සොයුරියන් දෙදෙනා සහ සිසුවියක්ද දිව්‍ය පූජාව සඳහා පැමිණ සිටියහ. මයිකල් පියතුමා යමක් ලියූ කඩදාසි කැබලි තුනක් තිදෙනා අත තැබීය. ඔහු මින් ස්වල්ප වෙලාවකට පෙර මොනවාදෝ ලියමින් සිටියේ මේ කොළ කැබලිවල විය යුතුය.

      අප මෙහි රැදී සිටිය යුතුද? යා යුතුද? එම කඩදාසි කැබලිවල උඩින්ම එසේ සඳහන් කර තිබිණි. "යාමට හේතු හා නොයාමට හේතු" යන්න ඊලඟ පේලි දෙකක සටහන් විය. ඔවුන් තිදෙනා තම තමන්ගේ පෞද්ගලික මතය එහි සටහන් කළ යුතු විය.

      මෙහිදි තම අදහස් එහි ලිවීමට එකඟ නොවූ එක් කන්‍යා සොයුරියක් එය අනෙක් අය ඉදිරියේ පළ කිරීමට එකඟ වූවාය.

      "මේ ගමෙන් යන්න ඕනා කියන අදහසට මං කොහෙත්ම එකඟ නෑ." ඇය පවසත්ම අනෙක් කන්‍යා සොයුරිය ඊට එකඟ නැති තමන්ගේ මතය ඉදිරිපත් කරන්නට සැරසුනාය.

      "එයාට බාධා කරන්න එපා කතා කරන්න ඉඩ දෙන්න.ඊට පස්සෙ කතා කරන්න. මයිකල් පියතුමා අනෙක් කන්‍යා සොයුරියව නිශ්ශබ්ද කළේය.

      දෙවෙනුව කතා කළ කන්‍යා සොයුරිය කියා සිටියේ "ගමේ ත්තවය අපට කොහෙත්ම ඔරොත්තු දෙන්නෙ නෑ" යන්නයි.
      සිසුවිය ඔවුන් ඉදිරියේ තම අදහස් දැක්වීමට මඳක් පසු බෑවාය. එහෙත් "සාක්ෂි දැරීම යනු පැන දිවීම නොවේ. ජනතාවට අපිව ඕන නම් අප යා යුතු නැත" යන්න කොළ කැබැල්ලේ සටහන් කළ ඇය එය පියතුමා අත තැබුවාය.

      තම සිසුවිය පිළිබඳව පියතුමාට ආඩම්බර සිතිණි. ඔහු ඇගේ අදහස් අනෙක් දෙදෙනාටද ඇසෙන සේ කියවීය. එසේ තිදෙනාගේම අදහස් විමසීමෙන් පසුව පියතුමා කතා කරන්නට විය.

------ 100 ------

ඊලඟ පිටුවට

මරණයේ දූතයාගේ පැමිණීම......

. Friday, November 27, 2009
0 comments

මෙතෙක් කතාව


7 වන පරිච්ඡේදය 


ජනතාව උදෙසා දිවි පුදති

බොහෝ සවස් කාලවල ඉඩක් ලැබුණු විට මයිකල් පියතුමා තමන් විසින් සුරතලයට ඇති දැඩි කළ අවිහිංසක මුව පොව්වා සමග ගත කළේය. ඌත් සමග වත්තේ දුවන්නට, ඌ වේගයෙන් හුස්ම ඉහල පහළ හෙලන රිද්මයකට ඌ අනුව හුස්ම ඉහළ පහල හෙලන්නට පියතුමා දැක්වූයේ මහත් වූ ආසාවකි.

එම 1987 නොවැම්බර් 10 දින සැන්දෑ යාමයෙහිද මයිකල් පියතුමා මුව පොව්වා සමග වත්තේ සෙල්ලම් කරන්නට විය. පියතුමාගේ සිතට අමුතුම සැහැල්ලුවක් දැනී තිබිණි. මුව පොව්වාද පසු වූයේ සතුටිනි. අහිංසක තිරිසන් සතෙකුගේ ක්‍රියාකාරකම් දෙස බලා ඒ මතින් මහත් වූ මානසික වින්දනයක් ලබන්නට තරම් මයිකල් පියතුමාගේ සිත සංවේදි විය. දෙදෙනා වෙතින්ම මහත් සුහද මිත්‍රශීලී බවක් පළ විණි.

මේ අතර හිතවත් අසල්වැසියෙකු සුබසෙත් ගෙදරට පැමිණියේ මයිකල් පියතුමා හමුවන්නටය. එහෙත් පියතුමා පෙනෙන්නට නොසිටි අතර ඔහුට ඉන් මඳක් එහා සුසිල් සෙවනේ හුන් කන්‍යා සොයුරියන් හමු විණි.

අසල්වැසියා සැළ කළ රහස් පණිවිඩයෙන් ඔවුහු තැති ගත්හ. වහා ඔවුන් පියතුමා සොයා ගියේ මේ පුවත සැළ කරන්නටය.

පියතුමා මුව පොව්වා සමඟ ගත කරනු පෙනේ. මුව පොව්වාට කතා කරන්නට බැරිය. එහෙත් පියතුමා කියන දේවල් ඌ කීකරු දරුවෙකු මෙන් අසා හිඳියි. උගේ සියළු ඉරියව් තුළින් පළවූයේ හාම්පුතා කෙරෙහි වූ ළබැඳියාවයි.

සුදුසු වෙලාවක් බලා කන්‍යා සොයුරියෝ මයිකල් පියතුමා වෙත පැමිණියහ.

" මේ ළඟ ගෙදරක දාමරිකයො කට්ටියක් ඉන්නවා. අද ටිකක් විශේෂයෙන් පරිස්සම් වෙන්න කියලා දැන් ටිකකට කලින් මේ ළඟ ගේක එක්කෙනෙක් පණිවිඩය කියලා ගියා" එක් කන්‍යා සොයුරියක් පවසා සිටියාය.

------ 98 ------

ඊලඟ පිටුවට

බෙදාගෙන කන්න මිනිස්සු පුරුදු වෙනව නම් ප්‍රශ්න ඇතිවෙන්නෙ නෑනේ......

.
2 comments

මෙතෙක් කතාව

......"සිස්‍ටර් මගේ මාර්ගයෙනයින් වෙන්න. මට බාධා කරන්න එපා. මට ඉස්සරහට යන්න දෙන්න." අධිෂ්ඨානනපූර්වක ලෙස සෘජු හඬින් මයිකල් පියතුමා පවසද්දී කන්‍යා සොයුරිය නිහඬ වූවාය. එදින සවස හතරට පමණ පියතුමා සුසිල් සෙවනට පැමිණියේ පේස්ට්‍රි කිහිපයක්ද රැගෙනය. එය ඒ හතර දෙනාට බෙදාගෙන කන ලෙස පවසා යළි ඔවුන් එකිනෙකාගෙන් කුඩා කැබැල්ල බැගින් පියතුමා ඉල්ලා සිටියේය.

"ම්ං මේ විදියට ඉල්ලන්නෙ බඩිගිනි හැදිලවත් පේස්ට්‍රීස් කන්න අමුතු ආසාවක් දැනිලවත් නෙමේ. බෙදාගෙන කන්න මිනිස්සු පුරුදු වෙනව නම් ප්‍රශ්න ඇතිවෙන්නෙ නෑනේ. මං නැති කාලෙක හරි ඔයාලට මේවා ප්‍රයෝජනවත් වේවි. තමන් ගැන විතරක් හිතන්න එපා කොයි වෙලාවකවත්. තමන් ගැන හිතනවා වගේම අනුන් ගැනත් හිතන්න. තමන්ට නැතුව හරි අනුන්ට බෙදලා දෙන්න පුරුදු වෙන්න. ඒ වගේ දේකින් හිතට ලැබෙන සැනසීම හරි විශාලයි.

මයිකල් පියතුමා තම සිසුවියන් දෙදෙනාට සහ කන්‍යා සොයුරියන් වෙත පැවසුවේ අපමණ කරුණාව පෙරදැරි කර ගත් ගුරුවරයෙකු විලසිනි.
 

 ------ 97 ------

ඊලඟ පිටුවට