පියතුමාව ඝාතනය කරයි......

. Tuesday, December 1, 2009
  • Agregar a Technorati
  • Agregar a Del.icio.us
  • Agregar a DiggIt!
  • Agregar a Yahoo!
  • Agregar a Google
  • Agregar a Meneame
  • Agregar a Furl
  • Agregar a Reddit
  • Agregar a Magnolia
  • Agregar a Blinklist
  • Agregar a Blogmarks

මෙතෙක් කතාව

......"අපි අනුගමනය කරන ක්‍රිස්තුන් වහන්සේ දිළිඳු කෙනෙක්. මේ ගමේ මිනිස්සුන්ට කරදරකදී යන්න තැනක්වත්, අරගෙන යන්න දෙයක්වත් නෑ. කරදරයක් වුනාම අපි මේ මිනිස්සුන්ට අත හරිනවා කියන්නේ දුක් විඳින ක්‍රිස්තු දේහය අත හරිනවා කියන එකයි. මේ ඔවුන්ට අපිව අවශ්‍ය වන වෙලාව. සැපේදි අපි ලඟ හිටපු අයව දුකේදි දාල යන්න මම කැමති නෑ. මම දැන් වයසට ගිහිල්ලා. මගේ ඇටකටුත් දැන් සැහැල්ලුයි. ඒවා මේ බුත්තල ප්‍රදේශයට පස් වුනාට කමක් නෑ. ඒත් අනෙක් අයගේ යහපත සඳහා මෙහෙන් යන්න තීරණය කළොත්, ඒක දේව කැමැත්තනම් මම එයාලට එකතු වෙනවා."

මෙසේ පැවසූ පියතුමා ඉන්පසු දිව්‍ය පූජාව ආරම්භ කරමින් ගීතාවලියෙහි 130 වන ගීතය ගායනා කරන්නට විය.

"සමිඳුනී දුක් සයුරේ සිට මම ඔබට මොර ගසමි. මගේ හඬට සවන් දුන මැන. මගේ කන්නලව්වට ඔබේ සවන් යොමු කළ මැන. සමිඳුනි ඔබ අපේ අයුතුකම්සටහන් කර තබ සේක් නම් විනිශ්චයෙන් බේරෙන්න පුළුවන් කවරෙකුටද? එහෙත් ඔබ කෙරෙහි ගරු බියෙන් සිටිනු පිණිස ඔබ අපට කමාව දෙන සේක."

මෙසේ ආරම්භ කර එතුමා දිව්‍ය පූජාව කරගෙන යන්නට විය. ඉන්පසු එවකට රටේ පැවති තත්වය පිළිබඳවද විස්තරයක් කළේය.

දිව්‍ය පූජාව අවසානයේ සුපුරුදු පරිදිමගේ ආත්මය ඔබ වහන්සේගේ හස්තයට බාර කරමි." යනුවෙන් පැවසූ පියතුමා දෙවියන්ට ප්‍රාණ භාර කිරීමෙන් පසු අනෙක් තිදෙනාටද ආසිරි ගැන්වීම සඳහා සිය සුරත එසවීය. ඒ සමඟම එතෙක් හුන් ඉරියව්ව මඳක් වෙනස් කරමින් අන්තිම ආශිර්වාදය දමන්නට එස වූ අතින් එම ආශිර්වාදය දමන්නට සැරසුණා පමණි.

එකවරම කන් බිහිර කරවන විශාල ශබ්දයක් සමඟ රස්නයක් සහ කුණාටුවක් පිටුපස ජනේලය දෙස සිට කන්‍යා සොයුරියන් හරහා පියතුමා වෙත එක් ක්ෂණයකින් හඹා ගියේය. ජනේලයෙන් එසේ එල්ල වී තිබුණේ සාහසිකයෙකුගේ වෙඩි පහරකි.

ඒ ශබ්දය කුමක්ද? වුණේ කුමක්දැයි කිසිවෙකුටත් සිතාගත හැකි වූයේ නැත. ඔවුන් සතර දෙනාම බිම පතිත විණි.

------ 101 ------
සිහිසුන්ව නොසිටි බෙන්ඩික්ටා සොයුරිය සහ පියතුමාගේ සිසුවියද සිතාගෙන සිටියේ ඒ ශබ්දය බෝම්බයක් පිපිරීම මතින් ඇති වූවක් යනුවෙනි. දෑස් පියාගත් ඔවුහු දෙවියන් වහන්සේ මෙනෙහි කළහ. තවත් සුළු මොහොතකින් එළැඹිය හැකි මරණයට ඔවුහු සූදානම් වූහ.  

ඒ 1987 නොවැම්බර් 10 දාය. වෙලාව රාත්‍රී 7.45 පමණ වී තිබිණි. කෙසේ හෝ යලිත් එවන් බිහිසුණු ශබ්දයක් ඇසුනේ නැත. එසේම එය බෝම්බයක් නොව වෙඩි පහරක් බව පසුව දැනගන්නට ලැබිණි. එහෙත් වෙඩි තැබූ තැනැත්තෙක් නොවීය. අනතුර සිදු වී හමාරය. යාන්තමින් දෑස් ඇර ගත් කන්‍යා සොයුරියක් නැගිටින්නට උත්සහ කළාය. අසීරුවෙන් නැගිට ගත් ඈ මයිකල් පියතුමා හුන් දෙස බැලුවේය. අයට ඉහලට ගත් හුස්ම පහත හෙළීමට පවා අමතක වූයේය. ඕ කෑ ගසන්නට වූවාය.

දිළිදු ගොවි ජනතාව තම ජීවිතය හා සමාන සැළකූ ඔවුන්ට වන අසාධාරණයන් වෙනුවෙන් හැම විටම ඉදිරිපත්ව හඬ නැගූ ඔවුන්ගේ දුක නැති කර ඔවුන්ට තමා උපන් පොළව මත දෙපයින් නැගී සිටීම සඳහා අවිහිංසාව ඔස්සේ මාර්ගයක් සොයමින් වසර 7ක් තිස්සේ බුත්තල අළුකළවිට ගමේ පදිංචිව හිඳ ඔවුන් හා සමානාත්වතාවයෙන් දිවි ගෙවූ මයිකල් පියතුමා අල්තාරය ඉදිරිපස බිම වැටී සිටියේය. නිකන් නොවේ. ප්‍රකෘති සිහිය අහිමිවද නොවේ. මයිකල් පියතුමා සදහටම මෙලොව හැර ගොස් තිබිණි.

එතුමාගෙ අසමාන වූ මිල කළ නොහැකි වූ මොළය හිසින් වෙන්වී කන්‍යා සොයුරියන් ඉදිරිපස බිම පතිතව ඇත. දිළිඳුන් දෙස සේම සියළු මිනිස් වර්ගයා කෙරෙහිම සානුකම්පිතව බැලූ දෙඇසින් එක් ඇසක් එම කාමරයේ තවත් තැනකට විසි වී තිබිණි. පියතුමාගේ සිරුර වැටී තිබුණේ හිස පැත්ත බිත්තියට හේත්තු වන පරිදිය. එම හිසෙන් ඉතිරිව තිබුණේ සුළු කොටසක් පමණි. එතුමා ජීවත්ව සිටි සමයේ අසාධාරණය හමුවේ නිරන්තරයෙන් රත්වන රුධිරය එම වෙඩි පහරින් කුඩුවී විනාශ වී ගිය හිසෙන් උතුරා යමින් තිබිණි. එවා වේගයෙන් සිමෙන්ති පොළව මත ගලාගෙන ගියේය. කාමරය පුරාම පියතුමාගේ සිරුරෙන් විසිවී ගිය මස් වැදැලි විය. අල්තාරය වෙන් කර තිබුණේ සුදු පැහැති තිර රෙද්දකිනි. එය පුරාම විශාල ලේ පැල්ලම් වැටී තිබිණි.

 ------ 102 ------
බාගෙට තිබූ හිසෙන් කැඩී ගිය කොටසක් මුහුණ ලඟින්ම එල්ලෙයි. "මුන්නැහෙට අඩු සිවුරක් විතරයි. නැත්තම් මහණකමට අවශ්‍ය අනික් හැම් අංගයක්ම තියෙනවා."

වරක් ගමේ පන්සලේ භික්ෂූන් වහන්සේ නමක් කීවේ මයිකල් පියතුමා සතු බුදු දහම සම්බන්ධ දැනුම් සම්භාරය සිහිපත් කරමිනි. ඒ දැනුම පිරී තිබූ මොළය සහිත හිසම කුඩු වන්නට සාහසිකයා ඉලක්කය අල්ලා වෙඩි තබන්නට ඇත.

බිම අඩියක් තියන්නට තැනක් පවා නොමැති තරම්ය. එපමණටම පියතුමාගේ හිසේ කැබලි සහ රුධිරය කාමරය පුරාම විසිර තිබිණි. බිම පමණක් නොවේ බිත්තිවලට වහලට පවා සිරුරින් ලේ විද තිබිණි.

කාටවත් කිසි දෙයක් වටහා ගන්නට පවා නොහැකි බවක් පළ වුණි. සිද්ධියෙන් මිල්බර්ගා කන්‍යා සොයුරියත් තුවාල ලබා තිබිණි. මඳ වෙලාවකින් එතැනට පැමිණ හුන් එක් අයෙක් පොලිසියට දිව ගියේය. හමුදා නිලධාරීන් කිහිපදෙනෙකු මිල්බර්ගා කන්‍යා සොයුරියව රෝහලට ගෙන ගියහ.

මේ මයිකල් පියතුමා පැතූ මරණයම විය. පාන්දර දෙක පමණ වන විට පියතුමගේ පණ නල රහිත සිරුර කහ පාට වෙමින් පැවතියේය. ඒ වන විට සිරුරේ අධික රුධිරය පිටවී හමාර වී තිබූ නිසා වන්නට ඇත. සිරුරේ මස් වැදලි අතරේ ලේ කැටි ගැසී එහි වතුර පමණක් ඒ වනවිට පොළවෙහි හැම තැනම ඉතිරිව තිබිණි.

දෙවියන් වහන්සේ මෙලොවට හිමි කර දුන් දිළිඳුන්ගේ ප්‍රාණපරිත්‍යාගීවරයා දෙවියන් වහන්සේ විසින්ම යළි කැඳවාගෙන ඇත.

මුළු ගමම බුත්තල ප්‍රදේශයම එකසේ හඬා වැළපෙන්නට වූහ. එතුමාව නිසි ලෙස හඳුනාගෙන සිටියේ ගමේ එතුමා සමඟ එකට බත්පත බෙදාගෙන කෑ එකට දුක සැප බෙදාගත් දිළිඳන්මය. එතුමාට ආගමික වශයෙන් හෝ වෙන කුමන ආකාරයකින් හෝ කඳවුරක් තිබුණේ නැත. තිබුණේ කිසිම කෙනෙකුට ගැති නොවූ නිදහස් චින්තනයක් පමණි.

------ 103 ------
බුදුන්වහන්සේ තුළ ද පැවතියේ මෙවැනිම වූ දර්ශනයකි. පසුකාලීනව සංඝයා වහන්සේලා විසින් නොයෙකුත් කඳවුරු ඇති කර ගත්තත් බුදුරජාණන්වහන්සේ කඳවුරු මුළුමනින්ම ප්‍රතික්ෂේප කළ අයෙකි. නිදහසේ සිතීම, නිදහසේ ජීවත්වීම පිළිබඳව බුදුන්වහන්සේ දෙසූ සේක. මයිකල් පියතුමාද බෞද්ධයෙකු නොවූවත් එම චින්තනට ගරු කළේය.

මෙවැනි චින්තනයක් පිළිබඳව වටහා ගන්නෝ සමාජයේ විරල වෙති. මිනිසුන් එක් එක් ආකාරයට ප්‍රභේද කිරීම පක්ෂ වශයෙන් වෙන් කිරීම සමාජයේ ලක්ෂණයයි. මේ දෙකටම අයත් නැති නිදහස් පුද්ගලයෙකු කෙරෙහි අනෙක් දෙපිරිසම තුළම බල පවත්නේ සැකයකි.

පියතුමා ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ යැයි ද කැරළිකරුවන්ට උදවු උපකාර කරන්නේ යැයිද හමුදාව මයිකල් පියතුමාව සැක කළහ. පැවති රජයේ ඇතැම් දේශපාලනඥයන්ගේ අකටයුතුකම් නොරිස්සු පියතුමා දිළිඳුන්ගේ පැත්ත ගනිමින් ඊට එරෙහි විය. දිළිඳුන්ට පක්ෂයක් නැත. දේශපාලනය ගැන හැඟීමක් නැත. ඔවුන් සටන් කළේ දරිද්‍රතාවය දුරු කර ගැනීම සඳහාය. මෙසේ ඔවුන්ට පිහිට වන්නට ගිය හෙයින් මයිකල් පියතුමා රජයටත් හමුදාවටත් පෙනුනේ ජනතා විමුක්ති පෙරමුණේ කැරළිකරුවන්ට සහාය දෙන ඔවුන්ට ආරක්ෂාව දෙන කෙනෙකු වශයෙනි. ඒ එක් පැත්තකි.

අනෙක් පැත්ත ඊට වඩා වෙනස්ය. නොරාඩ් සංවිධානයේ ආධාර ගෙන ගමේ දිළින්දන්ට නිවාස, වැසිකිළි සාදා දීමේදිත් ඊට විරුද්ධ වූ පිරිසක් වූහ. මයිකල් පියතුමා පැලවත්ත සීනී කම්හලේ කම්කරුවන්ට වන අසාධාරණ වෙනුවෙන් අනේක වාරයක් මොනරාගල දිසාපතිවරයා වෙත ගොස් පැමිණිලි ඉදිරිපත් කර ඔවුන්ට සහනයක් සලසා දීමට යාමේදීත් ඊට විරුද්ධ පිරිසක් සිටියහ. ප්‍රදෙශයේ කැරළිකාර තරුණයන්ගේ අදහස වූයේ පවතින ක්‍රමය මුළුමනින්ම වෙනස් කර අළුත් ක්‍රමයක් ඇති කළ යුතු බවයි. පියතුමා මෙ කරනු ලබන සේවය
"පැලැස්තර දැමීමක්" ලෙස සැළකූ තරුණ කොටස් පියතුමා පවතින රජයට ගැතිකම් කරන්නෙකු සේ සළකන්නට ඇත.

කෙසේ හෝ දෙපැත්තෙන් දෙපිරිසක් පියතුමාට එරෙහි වූහ. එහි අවසන් ප්‍රතිඵලය වූයේ කවුරුන් හෝ සාහසිකයෙකු වෙතින් සිදුවූ මයිකල් පියතුමාගේ මරණයයි.

------ 104 ------

2 comments:

මනුසත් said...

ayiyoooooooo

.::පිස්සා::. said...

මේ කරන වැඩේ අමාරු කම ගැන තේරෙනවා...
බොහොම ස්තූතියි, මේ වගේ පොතක් කියවන්න සැලැස්වීම ගැන...