මං ආචාර්ය උපාධි ලබාගෙන තියෙන්නේ වම්බටු වගාව ගැන නෙමේ.......

. Saturday, October 31, 2009
0 comments

මෙතෙක් කතාව



එතුමා පියතුමෙකු වගේම විදේශ රටවලින් ආචාර්ය උපාධි කිහිපයක් හිමිකර ගත් මහා උගතෙක්, බුද්ධිමතෙක්. ඒ නිසා එතුමා පසුපසින් වාඩිවී සිටීම සුදුසු නෑ"

මයිකල් පියතුමා අසුනින් නැගී සිටියේය.
"සමාවෙන්න මහත්වරුනි මං ආචාර්ය උපාධි ලබාගෙන තියෙන්නේ වම්බටු වගාව ගැන නෙමේ. ඒ වගාව පිළිබඳව මට තියෙන දැනීම මෙතන රැස්වෙලා ඉන්න ගොවි ජනතාවට තියෙන දැනීමටත් වඩා ඉතාමත්ම සුළු ප්‍රමාණයක්. ඒ නිසා මේ රැස්වීමේ මට සුදුසුම අසුන මේ පිටිපස්සේ  ආසනය කියලා මම විශ්වාස කරනවා." යි කී පියතුමා එම අසුනේම වාඩිවිය.

1983 වසර වනවිට මෙරට උතුරෙහි යුද ගිනි තත්වය වඩාත් වැඩිවන්නට විය. කොටි ත්‍රස්තවාදීන් හා යුද වැදී සිටි උතුරේ හමුදා නිලධාරීන් පිරිසක් එම වසරේ ජුලි මාසයේදි මරා දැමීම හේතුකොට ගෙන මෙරට අනෙක් ප්‍රදේශවල ඇති වූයේ මහත් වූ කැලඹීමකි.  එය කොතෙක් ප්‍රබල වූයේද කිවහොත් ද්‍රවිඩ ජාතිකයන් අමු අමුවේ කපා කොටා, පහර දී, එසේ නැතහොත් ගිනි තබා මරා දමන්නටත් ඔවුන් සතු දේපල ගිනි තබන්නට හා කොල්ල කන්නටත් සිංහලයෝ පෙළඹුනහ.

මේ තත්වය දකුණේ ඉතා බිහිසුණු අන්දමින් පැවතිණි. වර්ගවාදයට වගකිව යුත්තන් පසෙකය. එහෙත් ඉන් පීඩනයට පත්වූවන් බොහොමයක් අවිහිංසකයෝය.

මයිකල් පියතුමා මේ ජූලි අරගලය පිළිබඳව කන්‍යා සොයුරියන් සමග මෙන්ම ගමේ පිරිස් සමග පවා කතා කළේ මහත්වූ කම්පාවෙන් යුතුවය.

"මේ අරගලයෙන් අපේ සිංහල ජාතිකයො අහිංසක දෙමළ ජාතිකයන් විශාල පිරිසක් මරලා දැම්මා...... ඔවුන්ගේ ගෙවල් දොරවල් කඩලා බිඳලා දැම්මා. ඒව අහපු, දැකපු කාගේ හරි හිතක් ජාති භේදයකින් තොරව මිනිසුන් වශයෙන් කම්පාවක් නොදැනුනා නම් ඒ පුදගලයා තුළ මිනිසෙකු වශයෙන් මොකක් හරි අඩුපාඩුවක් තියෙන්න ඕනෑ.... අපි හැමෝම මනුෂ්‍ය ජාතියේ අය. ඒ මිසක් සිංහල දෙමළ කියලා වෙනසක් නෑ. ඔය මහා විශාල මිනිස් සංහාර වලින් කාණු පල්ලේ ගලාගෙන ගියේ අහිංසක මිනිසුන්ගේ ලේ. ජාතිවාදය කියන මිථ්‍යාවේ ගැලිලා මේ වගේ මහා අපරාධ කරන එක මනුස්ස සංහතියටම නින්දාවක්."

මහත් වේදනාවෙන් මයිකල් පියතුමා පැවසුවේය.


------ 53 ------

වැඩි වෙලාවක් ගියේ නැත......

. Friday, October 30, 2009
0 comments

මෙතෙක් කතාව


ගමේ වෙද ආතා වෙත ගොස් පියතුමා මේ පිළිබඳව දැන ගන්නටද වෙහෙසුනේය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් සුබසෙත් ගෙදර පිහිටි ඉඩමේ එක් පැත්තක් මුළුමනින්ම ඖෂධ පැලෑටි වැවීම සඳහා වෙන් කළේය. එහි තවත් පැත්තක එළවළු වගා කෙරිනි. රසායන ද්‍රව්‍ය මුසු නොකොට ස්වභාවික පොහොර ආශ්‍රයෙන් උනන්දුවෙන් වවා හදන එළවළු හොඳින් වැවෙමින් පැවතියේය. ඉඩමේ පලතුරු ගස්ද විය. ඉන් එක් ගස්ලබු ගසක් නම් කළ පියතුමා "මේකෙ ගස්ලබු කවුරුවත් කඩාගන්න එපා. මේක කුරුල්ලන්, ලේනුන් වගේ සත්තුන් වෙනුවෙන් හැදුවේ. උන්ට බඩකට පුරා කාලා යන්න මේ ගහේ ගස්ලබු ටික ඉතිරි කරන්නැයි" අනෙක් අයගෙන් කාරුණිකව ඉල්ලා සිටියේය.

වරක් මේ ප්‍රදේශයේ වම්බටු වගාවට රෝගයක් වැළඳිනි. මේ පිළිබඳව ගොවීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පළාතේ කෘෂිකර්ම නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් ප්‍රදේශයේ එක්තරා ස්ථානයක පැවැත්වෙන බවට ගසා තිබූ දැන්වීම් පියතුමාද දිටීය.

මෙ රෝගය පියතුමාගේ වම්බටු වගාවටද වැළදී තිබුණෙන් මෙම වැඩසටහන සඳහා සහභාගී වී ඒ පිළිබඳව දැනුවත් වන්නට පියතුමා තීරණය කළේය.

නියමිත දිනයේ පියතුමා එම වැඩසටහන පැවැත්වෙන පාසලට ගියේය. ඔහු සැරසී සිටියේ සුපුරුදු පරිදි සරම හා කමිසයෙනි. ප්‍රදේශයේ ගොවීන්ගෙන් අසුන් පිරී තිබිණි. ඉදිරිපස වූ ප්‍රභූවරුන්ගේ අසුන් සමහරක් හිස්ව තිබුණද පියතුමා ගොවීන් වාඩිවී සිටි අසුන් වලම පසුපසින් හිස්ව තිබූ බංකුවක වාඩි වී දැඩි වුවමනාවකින් එම වැඩසටහනට අවධානය යොමු කර ගෙන සිටියේය.

වැඩි වෙලාවක් ගියේ නැත. ඉදිරිපස අසුනක වාඩිවී හුන් පළාතේ ප්‍රභූවරයෙක් කෘෂිකර්ම නිලධාරියකු වෙත ළංවී කුමක්දෝ කොඳුරනු පෙනිණි. දෙබැම ඉහලට නගාගෙන නළල රැළි කරගත් එම කෘෂිකර්ම නිලධාරියා වහාම සිය අසුනෙන් නැඟිට්ටේය.

"මං ආරාධනා කරනවා පිටිපස්සේ වාඩි වෙලා ඉන්න අපගේ උගත් මහා ප්‍රාඥයකු වන මයිකල් පියතුමාට මේ ඉදිරිපසින් ඇවිත් වාඩිවෙන්න කියලා.


------ 52 ------

සීයට සීයක්ම බෞද්ධ ගමට පියතුමා පැමින......

.
2 comments

මෙතෙක් කතාව

"මට මේ කිසි දෙයක් මහන්සියක් නෙවෙයි සෝමදාස. අපි පැවිද්දෝ විදිහට මිනිසුන්ට සේවය කරන්න ඕනෑ. සේවයක් වෙනුවෙන් වෙලාවක් අවේලාවක් තැනක් නොතැනක් කියල දෙයක් නෑ. ඒ මනුස්සයට එන්න කියන්න ඇතුලට."

මයිකල් පියතුමා ඉතා කාරුණික ලෙසින් පැවසීය.
පියතුමා පැමිණ මද කලෙකින්ම, අළුකළවිට ඇතුළු එම ප්‍රදේශයට සේවය කිරීම සඳහා අවංක අධිෂ්ඨානයකින් යුතුව පැමිණ ඊට නොදුරු එබඳුම ගෙපැලක පදිංචි වූ මිල්බර්ගා සහ බෙනඩික්ටා යන කන්‍යා සොයුරියන් දෙදෙනාත්, ඔවුන්ගේ සහයට පැමිණි අනිකුත් කිහිප දෙනාත් මේවන විට බෙහෙවින් ගම්මුන්ගේ සිත් දිනාගෙන සිටියහ. ප්‍රදේශයේ විසුවෝ සීයට සීයක්ම බෞද්ධ ජනතාවය. ඔවුහු ඔවුන්ට කිතු දහම උගන්වන්නට උත්සහ කළා නොවේ. අකුරු නොදත්තවුන්ට අකුරු කියා දෙන්නටත්, ළදරු පාසල් ඇති කරන්නටත්, නිරෝගී සෞඛ්‍ය පිළිබඳව වැටහීමක් ඇති කර දෙන්නටත්, මේ ආදී වශයෙන් නොයෙකුත් සේවාවන් ඔවුහු මේ ගමේ මිනිසුන් මූලික කරගෙන සිදු කළහ. "අවබෝධය" නමින් ගම පිළිබඳව සරල විග්‍රහයක යෙදුනු මාසික සඟරාවක් පළ කරන්නට කටයුතු කළ පියතුමා එහි ප්‍රධාන සංස්කාරක තනතුරට පවා පත්කර ගත්තේ ගමේම අයකි.

බෞද්ධ ගෙවි ජනතාව සමඟ ඔවුන්ගේ ගැටළු පිළිබඳව කතා කරන්නට " බොදුනු කිතුනු සංවාදය" ක්ද ඇති කරන්නට මයිකල් පියතුමා වෙහෙස ගත් අතර මේ කිසිවක් මගින් හෝ තම ආගම ප්‍රචාරය කරන්නට මොනම උත්සහයක්වත් දැරුවේ නැත. එපමණක් නොව විදේශ රටක හෙදි පුහුණුව ලැබ සිටි බෙනඩික්ටා කන්‍යා සොයුරියගේ මූලිකත්වයෙන් යුත් "බෙයා ෆුට් නර්සස්" නමින් කොටසක්ද ගැමි කාන්තාවන් අතරින්ම තෝරා පුහුණුව ලබා ඇති කර තිබිණි.

සුබසෙත් ගෙදර තමන්ට අතවැසියෙකු සිටියද බොහෝවිට කඩපිලට යන එක මයිකල් පියතුමා අතින් සිදුවිය. ලෑලි කඩයේ බංකුවල වාඩිවී දාම් අදිමින් සිටි මිනිසුන් සමඟ එක්වී පියතුමා දාම් ඇද්දේය. පත්තර කියවූයේය. ගමේ මිනිසුන් සමග රාත්‍රියට පැල් රකින්නටද ගියේය.

සිංහල වෙදකම ගැන පියතුමාගේ සිතේ ඇතිවී තිබුණේ මහත් උනන්දුවකි. කිසිදු රසායන ද්‍රවයකින් තොරව, ස්වාභාවික ඖෂධ පැලෑටි ආශ්‍රිතව කෙරෙන මේ වෙදකම තුළින් මිනිසුන්ගේ ශරීරයට විය හැකි යහපත විශාලය.

------ 51 ------

ඇයි ද වෙල්ලස්ස වැලපෙන්නේ......

. Thursday, October 29, 2009
0 comments

මෙතෙක් කතාව


ඒ සඳහා පියතුමා වෙල්ලස්ස ප්‍රදේශයට මේ අත්වූ ඉරණම පිළිබදව විස්තර කැටි වූ "ඇයි ද වෙල්ලස්ස වැලපෙන්නේ" නැමැති නිශ්චල චිත්‍රපට "ස්ලයිඩ්ස්" දර්ශනයක් උපයෝගී කර ගත්තේය. ඊට අමතරව නොයෙකුත් භක්ති ගීත සංදර්ශන සහ තව්ත් රූප රාමුද යොදාගෙන තිබිණි. පොතපත කියවන්නට ගැමියන්ට වෙලාවක් නැත. එසේම ගොවිතැන් බත් කරගෙන එදා වේල සරිකරගන්නටම ඉර නැඟුනු මොහොතේ සිට බැස යන මොහොත දක්වා අපමණ සටනක යෙදෙන මොවුන් කියැවීම කෙරෙහි මඳකුදු උනන්දුවක් නොදක්වන බව පියතුමාට පැහැදිලි විය. එහෙත් ඒකාකාර දිවියකට උරුමකම් කියන මිනිසුන් ගමේ පෙන්වන කුමක් හෝ චිත්‍රපටයක් වැනි දෙයක් බලන්නට මහත් අභිරිචියකින් පැමිණෙනු ඇත. ඔවුන්ට අත්ව ඇති ඉරණම පැහැදිළි හේතු සාධක ඇතිව අවබෝධ කරවන්නට පියතුමා එවැනි ක්‍රම යොදා ගත්තේ එබැවිනි.

සුබසෙත් ගෙදර මයිකල් පියතුමා ගැන අළුකළවිට පමණක් නොව වෙල්ලස ප්‍රදේශයේම පතල වන්නට වැඩි කලක් ගත වූයේ නැත. පියතුමා සොයා නිරතුරුවම බාල මහළු භේදයකින් තොරවම විවිධ තරාතිරම්වල අය සුබසෙත් ගෙදරට ඇදෙන්නට වූහ. ලෙඩක් දුකක් කරදරයක් කියාගෙන, නැති බැරි කමක් කියාගෙන, කාගෙන් හෝ සිදුවූ අසාධාරණයක් ගැන කියාගෙන පමණක් නොව ඉහල අංශවලට යොමු කළ යුතු රාජකාරී ලිපියක් ලියවා ගන්නට පවා මිනිසුන් සොයා ආවේ පියතුමාවය.

උදේ පටන් රෑ වනතුරු මේ මිනිසුන් වෙනුවෙන්ම, ඔවුන්ගේ යහපත වෙනුවෙන්ම දුක් ගන්නා පියතුමාට කිසිදු විවේකයක් නොතිබිණි. එබැවින් පියතුමා බෙහෙවින් විඩාබරව සිටින මොහොතක ඔහු සොයා කුමක් හෝ දෙයක් කරවා ගන්නට එන කෙනෙකුව පසුව එන ලෙස දන්වා ආපසු යවන්නට සෝමදාස පෙළඹී තිබුණේ සැබැවින්ම පියතුමා කෙරෙහි උපන් දයාව හා අනුකම්පාව මතිනි.

"මොකක් හරි උපකාරයක් ඉල්ලගෙන එන අහිංසක මනුස්සයෙක්ව ආපසු යවන්න එපා සෝමදාස. ඒ මනුස්සයට මගේ ළඟට එන්න ඉඩ දෙන්න"

"සුවාමි උදේ ඉඳන් කිසිම විවේකයක් නැතිවම මහන්සි වෙනවා නේද? ඒකයි තව ටිකකින් එන්න කීවේ" සෝමදාස පැකිලෙමින් කීය.

------ 50 ------
  

ඊලඟ පිටුවට

වැඩි වාසි දුම්කොළ වගාවෙන් ලැබෙන බව බහුජාතික සමාගම්......

.
0 comments

මෙතෙක් කතාව


උක් වගා කිරීම සඳහා ප්‍රදේශයේ ඝන වනාන්තර පවා විනාශ කරන්නට සිදුව ඇත. කුරක්කන් බඩඉරිඟු වැනි බෝග වගාවන් මෙතෙක් ජීවනෝපාය කරගත් ගොවීන්ට ඊට වඩා වැඩි වාසි දුම්කොළ වගාවෙන් ලැබෙන බව බහුජාතික සමාගම් පැමිණ උපදෙස් දී තිබිණි.

දිළිදු බවින් හෙම්බත්ව සිටින මිනිස්සුන්ට මෙම වගාවන් සඳහා සිදුකරනු ලබන වන විනාශය පිළිබඳවත් උක් සහ දුම්කොළ වගාවන් නිසා අපේම රටේ පොළවේ ඇති නයිට්‍රජන් උරා ගැනීම මතින් පොළව එහෙම පිටින්ම නිසරු වන බවවත්, ඒ අනුව වසර විස්සකටත් වඩා අඩු කාලයකදී මේ පොළව කාන්තාරයක් විය හැකි බවවත් තේරුම් ගන්නට තරම් දියුණු හෝ නිරෝගී මනසක් තිබුණේ නැත. ගහ කොළ විනාශ වීම නිසා වැස්ස අහිමි වේ. මේ සියළු ප්‍රතිඵලයන් මතින් වසරේ දීර්ඝ කාලයක් පවතින දැඩි නියඟයකට උරුමකම් කියන මේ මිනිසුන්ට බොහෝ දේවල් ගැන සිතන්නට කාලයක් නැත.  සිත සිතා අවබෝධ කරගන්නට තරම් කාලයක්ද නැත. වැසි නොලැබීම මතින් ජල උල්පත් සිඳී යයි. සැබැවින්ම අපේම රටේ මෙබඳු ප්‍රදේශවල ජීවත්වන මිනිසුන්ගේ දිවා කාලයෙන් පැය කිහිපයක්ම නැතහොත් දිවා කාලයෙන් තුනෙන් එකකට වැඩි කොටසක් ගත වන්නේ වතුර සොයා යෑම පිණිසය. ඔවුන්ගේ දෙපා ඒ වියළි පොළවට හොඳින් හුරු පුරුදුය.

වැසි නොමැති වීම මතින් ගොවිතැන් පාළු වී ඇත. මේ සියල්ලටම වගකිව යුත්තේ යටත් විජිතවාදීන් හා ඉන්පසු රට කරවූ අපේම දේශපාලඥයන්ය. මේ කිසි දෙයක් තේරුම් ගැනීමට අපොහොසත් එම ප්‍රදේශවල නොදියුණු ගැමි ජනයා වැස්ස වැටෙන තුරු හූල්ලමින් බලා හිඳිති. එපමණක් නොව දෙවියන්ටද බාර හාර වෙති.

මයිකල් පියතුමාට මෙම මිනිසුන්ට සහනයක් වීමට වුවමනාව ඇතිවූයේ මේ සියළු හේතූන් පෙරදැරි කරගෙනය.

පළමුවෙන් පියතුමා කළේ රටේ වගකිවයුත්තන් වෙත මේ මිනිසුන් විඳින දුක පිළිබදව පැහැදිළි කර ඔවුන් පිළිබඳව අවධානයක් ඇති කරවන්නට උත්සහ දැරීමය. එහෙත් එයින් කිසිඳු ප්‍රතිඵලයක් අත් නොවන බව සක්සුදක් සේ පැහැදිලි විය. ඊට පසු පියතුමා වෙහෙසුනේ මේ ව්‍යසනකාරී තත්වය පිළිබඳව ගම්මුන් තුළ අවබෝධයක් ඇති කරවීමටය.


------ 49 ------

බහුජාතික සමාගම් මේ රටේ පැවති රජයන්ගෙන්ද උපරිම අනුග්‍රහය ඇතිව......

. Wednesday, October 28, 2009
0 comments

මෙතෙක් කතාව

3 වන පරිච්ඡේදය.

පුන් පෝදා පන්සලේ දහම් දෙසයි.


පියතුමා පදිංචි වූයේ ඉළුක් හෙවිළි කරන ලද අනෙකුත් ගම්මුන්ගේම බඳු කුඩා ගෙපැලකය. පසුව "සුබසෙත් ගෙදර" නමින් හැඳින්වූයේ එයයි.

අතීතයේ ඉතා දියුණු වාරිමාර්ග ක්‍රමවලින් පරිපූර්ණව සහලින් ස්වයංපෝෂිතව පැවති මේ වෙල්ලස ප්‍රදේශය මෙතරම් ජල හිඟයකට ලක්ව සාගින්නෙන් පීඩිත වූ දිළිඳු මිනිසුන්ගේ බිමක් වන්නට හේතු බොහෝ තිබිණි. අතීතයේ මිනිසුන්, අපේ රට ආක්‍රමණය කළ විදේශිකයන්ට ගැති කම් කරන්නටත්, ඔවුන් යටතේ නව රැකියා සොයා යන්නටත් පෙළඹුනේ මේ සශ්‍රීක ප්‍රදේශයේ සියළු දේ හැර දමාය. එහි ප්‍රතිඵලය වූයේ අපේ රටේ සෞභාග්‍යය, සශ්‍රීකත්වය වේගයෙන් සිඳී යාමයි.

අතීතයේ එවන් පෙරළියකින් පසුව මෙසේ වියලි නිසරු බිම් බවට පත්වූ ප්‍රදේශ නිජබිම කරගෙන දුක් විඳිමින් වුවද පරම්පරාවෙන් පරම්පරාවට මෙහි මිනිස්සු ජීවත් වූහ. එහෙත් ඉන්පසුව ඔවුනට අත්පත් වූයේ අතීතයේ විදේශිකයන්ගෙන් සිදුවූවාටත් වඩා වැඩි විනාශයකි.

බහුජාතික සමාගම් මේ රටේ පැවති රජයන්ගෙන්ද උපරිම අනුග්‍රහය ඇතිව මේ මිනිසුන්ගේ ඉඩම් කොල්ල කෑහ. පැලවත්ත සීනී කම්හලට අයත් උක් වගාව සඳහා මේවායෙහි පදිංචි උරුමක්කාරයන්ගෙන් ඉඩම් ලබාගෙන ඔවුහු ගැමියන් උක් වැවීම සඳහා උනන්දු කළහ. ඒ සඳහා මුදල්ද ලබා දුන්හ. අවසානයේ සිදුවූයේ ඔවුන්, ඔවුන්ගේම ඉඩම්වල අඳ ගොවීන් හා කුලී කරුවන් වීමය. ඔවුන්ගේ ඉඩම් සීනී සමාගම් සතු බහුජාතික සමාගම් වලට පැවරී ඇත. ඔවුන් ඒවායේ කුලීකරුවන් ලෙස එම සමාගම්වලින්ම කරවනු ලබන උක් වගාවෙහි නියැලෙමින් ඔවුන්ගේ සේවකයින් බවට අවසානයේ නොදැනුවත්වම පත්ව තිබිණි. ඔවුන් පදිංචි ඉඩ කඩම් බහුජාතික සමාගම් වලට අත්පත් විය. මේ සියල්ලටම වගකිව යුත්තේ මෙරට දේශපාලඥයන්මය.
 


------ 48 ------


  

ඊලඟ පිටුවට

අපෙන් වෙච්ච ඒ වරදට වන්දි ගෙවන්නයි මම යන්නේ......

.
0 comments

මෙතෙක් කතාව


මෙතරම් වියලි නිසරු කතරක් බවට පත්ව තිබුණ මේ ප්‍රදේශය බුත්තලය. බුත්තල යනු වෙල්ලස ප්‍රදේශයයි. වෙල්ලස යන නම සැදුනේ අතීතයේ වෙල් ලක්ෂයක් තිබූ නිසා බව කියැවේ.

පුරාණ ලංකාව සහලින් ස්වයංපෝෂිත වූයේ මේ වියලි කලාපය නිසාය. එහෙත් 1505 න් පසු පැවති විදේශ ආක්‍රමණ නිසා අපේ රටේ මේ සෞභාග්‍ය තත්වය බිඳ වැටිණි. ඊට පසු තේ, රබර්, ආදී
වශයෙන් වතු වගාවන් ආරම්භ වීමත් සමඟම වී ගොවිතැන පාළු විණි.

අපේම මිනිසුන් විදේශ රටවලින් ලැබෙන දේ කන්නටත් ඔවුන්ගේ කුලී වැඩ කරන්නටත් පුරුදු වීමෙන් මේ තාක් පුරුදු වී සිටි කෘෂිකාර්මික ජීවන රටාව මිනිසුන්ගෙන් ඈත් විය. කුඹුරු පුරන් විණි.

මේ ආකාරයට අපේ රටේ සව්ස්කෘතිය මෙන්ම ආර්ථික තත්වයත් අධි වේගයකින් පිරිහී යද්දී මෙරට ආක්‍රමණය කළ විදේශිකයින් ඔවුන්ගේ ආගම වූ ක්‍රිස්තියානි ආගම මේ රටේ ප්‍රචලිත කිරීමෙහි යෙදුණි. උසස් නිලතල රැකියා බලාපොරොත්තු වූ අය කතෝලික ආගම දැඩි වුවමනාවකින් යුතුව වැළඳ ගත්හ. කතෝලික පාසල් බිහිවුණි. වැදගත් ක්‍රිස්තියානි ඉහල පංතියකුත්, නූගත් පීඩිත පංතියකුත් ඒ අනුව බිහිවිය. සමාජය තුළ පංති භේදය ඇති වූයේ මේ අනුවය. පංති භේදය තුල වූයේ ඇති නැති පරතරයයි. මේ සියල්ලෙහි වගකිව යුත්තෝ යටත් විජිතවාදීහුය.

"අපෙන් වෙච්ච ඒ වරදට වන්දි ගෙවන්නයි මම යන්නේ." මයිකල් පියතුමා අළුකළවිට අභිනිෂ්ක්‍රමණය කිරීමේදි පැවසුවේ එසේය. තමාද ක්‍රිස්තියානිකාරයෙකු වුවද ආගම ප්‍රචලිත කිරීමට යටත් විජිතවාදීන් මෙරටට කළ අපරාධය පියතුමා කෙසේවත්ම රිස්සුවේ නැත.

බෑගයක් අතින් ගෙන ජාතික ඇඳුමකින් සැරසුණු කිසියම් ආගන්තුකයෙකු තමා ගේ ඉදිරිපිට වල ගොඩැලි සහිත ගුරු පාරේ ඉදිරියට එනු, පෙර කී කෙසඟ කාන්තාව දැඩි වුවමනාවකින් යුතුව බලා සිටියාය. ඔහු කවුද? කවුරුන් වුවත් ආගන්තුකයෙකි. මේ දිළිඳු ගම් පියසට මෙබඳු අමුත්තෙකු පැමිණෙනු දැකීමත් අසීරුය.

ඇය පිල් කණ්ඩියෙන් නැඟිට මිඳුලට බැස අව්වෙන්ද වද විඳින දෙනෙත එක් අත්ලකින් මුවා කරගෙන තව දුරටත් හොඳ හැටි බැලුවාය.


------ 47 ------


කියාදීම නොව සවන් දීම......

. Tuesday, October 27, 2009
0 comments

මෙතෙක් කතාව


කාලය ගෙවී ගියේ සෙමින්ද වේගයෙන්ද යන්න පැහැදිලි නැත. 1980 වසරටද එලඹ තිබිණි. මේ වන විට මයිකල් පියතුමා 53 වෙනි වියේ පසුවිය. ඒ දක්වා ජීවිත කාලය තුළ පොත පතින් ලද මහා දැනුම් සම්භාරයට වඩා වැඩි දැනුමක් මයිකල් පියතුමා දිළිඳු ගැමියන් ඇසුරේ ගත කරමින් ලැබුවේය. පියතුමා බොහෝ විට කළේ ඔවුන්ට කියාදීම නොව ඔවුන්ට සවන් දීමයි.

"ජේසුස් වහන්සේ ගලීලයේ විසූ ගැමියෙක්. දිළින්දන් තුළින් අපි දකින්නේ ජේසුස් වහන්සේ. උන්වහන්සේ කොහෙද ඉන්නෙ කියන එක ඔවුන් අපට පෙන්වලා දෙනවා.....දිළිඳු වුවත් එවැනි මිනිසුන් තුළ මානව දයාව වගේම මනුෂ්‍ය සාරධර්මය පවතිනවා."

මයිකල් පියතුමා තීරණයක් ගත්තේය. ඔහුගේ ජීවිතයේ තිබුණේ එකම අභිලාෂයක් පමණි. එනම් පූජකවරයෙකු වශයෙන් මිනිසුන්ට කල යුතු සේවය ඒ අයුරින් ඉටු කිරීමය. ඊට ආගම් භේද හෝ ජාති භේද හෝ කිසි විටෙකත් සැළකුවේ නැත.

ඒ අනුව බණ්ඩාරවෙල සේවක සෙවනෙහි ගත කරමින් කරන සේවයට වඩා තවත් පුලුල් මට්ටමින් තම සේවය මිනිසුන්ට ලබා දීමට ඉටාගත් පියතුමා බුත්තල ප්‍රදේශයේ පදිංචියට යන්නට තීරණය කළේය. සැබැවින්ම එතෙක් ගත කරමින් සිටි අතිශය සාමාන්‍ය සරල දිවියටද වඩා එය බෙහෙවින් කටුක වූ දිවියක් බව අමුතුවෙන් කිවයුතු නොවේ. එය එක්තරා අභිනිෂ්ක්‍රමනයක් මෙනි.

එය 1980 වසරේ දිනයකි.
ඇතුළට ගිලී ගිය බොර පැහැ මළානික දෑස් යුවලකින්ද, හකු ඇට බේරී ගිය මුහුණකින් හා ඉල ඇට ඉල්පුණු සිරුරකින්ද යුත්, අවුල් වූ කෙස් පිටුපසට වන්නට තබා කුඩා ගෙඩියක් වන සේ බැඳගත් ගැහැනියක් පිල් කණ්ඩිය මතට වී බලා සිටියාය. ඇගේ පඬු පැහැයට හැරී ගිය හැට්ටයත් තැනින් තැන ඉරී එළලා තිබූ කිලිටි චීත්තයක් තුළින් ඔවුන්ගේ අගහිඟකම් පිළිබඳ නිහඬව කියා පෑවේ ය.

අව්වෙන් ගිනියම් වී ගිය මහ පොළවෙන් නිකුත් වූ දැඩි උණුසුම දෙනෙතට දැරීමට අසීරු බැවින්දෝ ඇගේ නළල රැළි ගැන්වී දෙනෙත් භාගෙට පියැවී තිබිණි.

  ------ 46 ------
  

ඊලඟ පිටුවට

ඔවුන් ඒ තත්වයට පත් වන්නට හේතුව ගැන මඳකට හෝ සිතා බලන්නේ නැත.

.
0 comments

මෙතෙක් කතාව


ඔවුන් පාසලට නොයන්නේ ඉගෙනගන්නට බැරි කමක් නිසා හෝ අකමැත්තක් නිසා නොවේ. එක හේතුවක් වන්නේ දෙමාපියන්ට ඒ සඳහා වත්කමක් නැතිකමය.

ආහාර ඇඳුම් පැළඳුම් යන මූලික අවශ්‍යතා පවා හරි හැටි ඉටුකරගත හැක. අනෙක ඔවුන්ටද හොඳින් හෝ නරකින් හෝ පවුලේ ආර්ථිකයට උරදීමට සිදුවන බැවිනි. මෙවැනි දරුවන් නරකට පෙළඹීම වලක්වන්නට බැරිය. කවුරුන් හෝ මෙවැනි කුඩා දරුවෙකු නොමගට පොළඹවන එකෙකු වේ නම්, උගේ කරේ ගලක් බැඳ මුහුදට දැමීම වඩා සුදුසු යැයි මයිකල් පියතුමාට හැඟිනි. ඔවුන් ජාතියේ දරුවෝය. දෙවියන් සිටින්නේ ඔවුන් අතරය. මයිකල් පියතුමාගේ දෑස් කඳුලින් තෙත් විණි.

මෙහි අනෙක් පැත්ත තවත් ඛේදවාචකයකි.

කෙසේ හෝ කුලී වැඩක්, ගොවිතැන් බතක් හෝ කරගෙන ආයාසයෙන් ඉගෙන ගත්තත් රැකියාවල් ලබා ගැනීමේදි ගමේ පාසලෙන් පැමිණි දරුවාට නොව ප්‍රමුඛතාවය ලැබෙන්නේ නගරයේ නමක් තිබෙන 'වැදගත්' යැයි කියන පාසලක උගත් දරුවන්ටය.එතැනිනුත් ඔවුහු කොන්වෙති. මේ රටේ අධ්‍යාපන ක්‍රමය තුල ඇත්තේද පංති භේදයයි. නගරයේ ප්‍රකට පාසලකට දරුවෙකු ඇතුළු කරන්නට රැපියල් විසිතිස් දහසක් නැතහොත් ඊට ආසන්න, එසේ නැත්තම් ඊටද වඩා දෙතුන් ගුණයකින් වැඩි මුදලක් අය කිරීමෙන් පවා පැහැදිළි වන්නේ දිළිඳු දරුවන්ට එහි දොරටු වැසී ඇති අන්දමයි. නිදහස් අධ්‍යාපන ක්‍රමයක් තිබෙන බව කීවද මෙ තුල දරුවන් කොන් වන්නේ දක්ෂ අදක්ෂ වශයෙන් නොව ධනය ඇති නැති ආකාරයට.  මෙසේ පහල බාලාංශයේ සිටම වර්ග කිරීමෙන්, කොන් වෙමින්, එන දරුවන්ට ඊලඟ ගැටළුව උදගත වන්නේ උසස් අධ්‍යාපනය ලැබීමේදීය. විශ්ව විද්‍යාල සිසුන්ගේ අප්‍රමාණ ගැටළු හමුවේ මෙරට පැවති ඕනෑම රජයක් මුනිවත් රැකීම මිස කළ දෙයක් නැත.

අධ්‍යාපන සුදුසුකම් නොතිබීම, කෙසේ හෝ ඉගෙන ගත්තත් නිසි රැකියාවක් නොලැබීම, අඩුම තරමින් අධ්‍යාපනය මඟින් හෝ නිසි මෙහෙයවීමක් නොලැබීම මත අපේ රටේ දිළිඳු ගැමි දරුවෝ හැමදාමත් පිඩා වින්දහ. එවන් තරුණ කොටස් අතරින් අපරාධ සිදුවීම  නොවැළැක්විය හැකි තත්වයකි. එහෙත් පාලකයන් කළේ ඔවුන්ට දඬුවම් දීම පමණි. විශේෂයෙන් මෙරට උතුරේ හා දකුණේ තරුණ කොටස් නැගී සිටියේ මේ පීඩනය නොදැරිය හැකි තැනදීය. එහෙත් ඔවුන්ට විසඳුම වී ඇත්තේ දඬුවමය. ඔවුන් ඒ තත්වයට පත් වන්නට හේතුව ගැන මඳකට හෝ සිතා බලන්නේ නැත.

------ 45 ------


සමාජයේ එක් කොටසකට තවත් කොටසක් විසින් වෛරයේ හස්තය දුගු කිරීම නොවේද?......

. Monday, October 26, 2009
0 comments

මෙතෙක් කතාව


දිළිදු ජනයාගේ පීඩාව තමන්ගේ අත්දැකීමක් ලෙසින් පියතුමාට වැඩි වැඩියෙන්  දැනෙමින් පැවතියේය.

සමහරුන් ඉපදීම කර්මයක් හෙවත් කරුමයක් ලෙස සලකද්දී තවත් සමහරු තමුන්ගේ උපන් දිනය සිහි කිරීම සඳහා විවිධාකාරයෙන් ප්‍රිය සම්භාෂණ පවත්වති. මෙහි වඩාත්ම විශාල ඛේදවාචකය වන්නේ ගිහියන් පමණක් නොව පූජක පැවිද්දන් පවා උපන්දිනය සඳහා ප්‍රියසම්භාෂණ පැවැත්වීමය.

කුඩා දිළිදු දරුවන් දෙස බලා ජේසුස් වහන්සේ "ඔවුන්ට මා වෙතට එන්න ඉඩ දෙන්න" යි කියා සිටි සේක. මෙම අවිහිංසකයෝ ස්වර්ග රාජ්‍යයේ උරුම කරුවන් වෙති. එහෙත් ඔවුන්ට සමාජය තුළ මිනිසුන් වශයෙන් ලද යුතු බොහෝ දෑ අහිමිය. කඩ පිලකට ගිය කල හෝ අනුන්ගේ නිවසක කවුළුවක් තුලින් හෝ ඔවූහූ රූපවාහිනී තිරයක් ඔස්සේ තමා බඳුම දරුවන් දකිති. එහෙත් ඔවුනුත් තමාත් අතර පැහැදිලි වෙනසක් පවතියි. ඔවුන් සුන්දරය, පුෂ්ටිමත්ය. කන්නේ බොන්නේ තමන්ට සිහිනයකින් පවා උරුම වේ යැයි සිතිය නොහැකි අන්දමේ ආහාර පානය. ජීවත් වන පරිසරය ගෙවල් දොරවල්ද ඊට දෙවෙනි නැත. ඔවුන්ගේ සිරුර කන බොන දෑ දෙස බලා මේ දිළිදු දරුවෝ තමන් හා ඔවුන් අතර ඇති වෙනස සසඳා බලති. එම අති විශාල වෙනස පුංචි වුණත් ඔවුන්ට වටහා ගැනීම අසීරු නොවේ. ඒ දේවල් පසුපස හඹා යන්නට ඔවුනුත් කවදා හෝ නොවෙහෙසෙතියි කාට කිව හැකිද? ඒ සඳහා ඔවුන් තෝරා ගන්නේ නිවැරදි මාර්ගයක් යැයි කෙසේ සිතන්නද? හැරත් ඈත ගම් නියම් ගම් වල දුකට හුරුවූ සිතක් කයක් ඇති ඔවුන්ට එවන් යස ඉසුරු කරා යා හැකි නිවැරදි මාර්ගයකට ඉඩක් තැබිය හැකිද? කුසට නිසි අහරක් තබා හරි හැටි අධ්‍යාපනයක් ලැබීමට වත් වරම් අහිමි ඔවුන්ට නිවැරදි මාර්ගයක් කෙසේ ලැබේ යැයි සිතන්නද? මේ සියල්ලෙහිම අවසානය කුමක්ද? සමාජයේ එක් කොටසකට තවත් කොටසක් විසින් වෛරයේ හස්තය දුගු කිරීම නොවේද?

මෙරට ලක්ෂයකට අධික දරුවන් ප්‍රමාණයක් පාසල් යන්නෝ නොවෙති. එසේ පාසල් නොයන සියළුම දෙනා දිළිඳු ගැමි ජනයා සහ නගරයේ වෙසෙන අඩු ආදායම් ලබන අයගේ දරුවෝය.


------ 44 ------
  

ඊලඟ පිටුවට

නගරයේ බලු සුරතලුන් මෙසේ සුර සැප විඳිද්දී......

.
0 comments

මෙතෙක් කතාව


දුර බැහැර දුෂ්කර ගම් පෙදෙස්වල ඇවිදිමින් ඒවායෙහි කටුකලෙස දිවි ගෙවන ජනයා පිළිබඳව සොයා බලන්නට මයිකල් පියතුමාගේ හිතේ ඔවුන් කෙරෙහි වූ වේදනාවද වේගයෙන් වර්ධනය විණි.

මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් මෙබඳු ප්‍රදේශවල බහුලය. ඇටසැකිල්ල බේරී පිම්බී ගිය උදරයෙන්ද අඳුරු පැහැ සිරුරින් හා තඹ පැහැගැන්වුණු අවුල් වූ හිසකෙස්වලින්ද යුත් දරුවෝ කෑමට යමක් ඉල්ලා සිය මවුන්ට කරදර කරති. දැරිය නොහැකි කුසේ ගින්දර විසින් ඒ කුඩා දරුවන්ගේ සිත් සැහැසි කරවා ඇති. ඔවුන්ගේ මුවින් පිටවන වචන වල පවා කිසිදු සුරතල් බවක් නොමැත. ඒවා වැඩිහිටියන්ගේ බඳුම රළුව ඇත. තම වැඩිහිටියන් අමතන්නට පවා දරුවන් යොදා ගත්තේ වැඩිපුරම ඒ රළු කටුක නොසරුප් වදන්ය.

ඒ මව්පියවරුන්ගේ දෙනෙත් අග කඳුළු නොදිලිසේ. කඳුලු දෙනෙත් පතුලේම වියළි වන්නට ඇත. ඔවුන්ගේ හිත් නොනැවතී දැල්වෙන අමු සොහොනක් බව නිසැකය.

නගරයේ බලු කුමර කුමරියන් විඳින සැපයෙන් හරි අඩක් තරම්වත්, මිනිසුන් වූ ඔවුන්ට අහිමිය. ඔවුන්ගේ දවසක කෑම වෙනුවෙන් වියදම් කරන මුදල මෙවැනි දුෂ්කර ගම්වල වෙසෙන දරුවන්ගේ සතියක ආහාර සඳහා වුව ප්‍රමාණවත් විය හැක. තිරිසන් සතුනටද හොඳින් ආහාර ලැබිය යුතුය. එහෙත් ජේසු තුමා කිවේ "දරුවන්ගේ දේ බල්ලන්ට නොදෙන්න" යනුවෙනි.

නගරයේ බලු සුරතලුන් මෙසේ සුර සැප විඳිද්දී ඈත එපිට නොදියුණු පිටිසර ගැමි දරුවන් සේම නගරයේ පැල්පත් තුළ වෙසෙන දරුවන්ටද කෑමට යමක් නොමැති තැන කුසගින්නට හඬමින් පැදුරු කඩමාලු මත වැතිර නිදති.

මේ සියල්ලම කිතු දහමට පමණක් නොව බුදු දහම ඇතුළු සියලු ආගම්වලට පටහැනි නොවේද?

මයිකල් පියතුමා බුත්තල වැල්ලවාය ප්‍රදේශවල ඇවිදින්නටත් ඒ ප්‍රදේශවල ජන ජීවිතය පිළිබඳව සොයා බලන්නටත් යොමු වුණේ බණ්ඩාරවෙල "සේවක සෙවන" පූජක පුහුණුහලේ ගත කරමින් සිටි කාලයේදීමය. රදගුරු ලියෝ නානායක්කාර ඇතුලු හිතවත් පූජකවරුන් කිහිප දෙනෙකුගේම සහාය මේ සඳහා පියතුමාට ලැබී තිබිණි.


------ 43 ------


නිදාගන්නේ මේ ලෑල්ල උඩද ................?

. Saturday, October 24, 2009
0 comments

මෙතෙක් කතාව


අමුත්තා දෙස සිනාමුසු මුහුණින් බැලු මයිකල් පියතුමා ඒවායෙහි වූ මඩ සහිත පස් සෝදන්නට විණි.

"සැරෙන් සැරේට ගිහින් එළවළු උදුරගෙන කඩාගෙන එන එක කරදරයක්නේ. ෆාදර් අයිස් පෙට්ටියක් තියාගත්ත නම් නේද හොඳ ඒක කොයිදෙටත් පහසුයිනේ?"

"හා......හා එහෙම කියන්න එපා. මං ගුරුවරයෙක් විදියට ආදර්ශවත් වෙන්න ඕන. එහෙම නැත්තම් මගේ ශිෂ්‍යයොත් කවදාහරි මෙහෙන් පිටවෙලා ගම්බිම්වල මීසම්වලට සේවය කරන්න ගියාමඔය විදියේ එක එක පහසුකම් හොයාවි. මිනිස්සුන්ට සේවය කරන එක, ඒ සේවය වෙනුවෙන් කැපවෙන එක අවංක හැඟීමෙන් කරන්න ඕනෑ. පැවිද්දෝ හැටියට අපි ඔයවගේ සුඛෝපභෝගී දේවල් හොයන එක සුබ නෑ."

අමුත්තා පියතුමා දෙස නෙත් නොසලා එක එල්ලේ බලා හිඳ අනතුරුව සැහැල්ලු සිනාවක් පෑවේය.

පියතුමාගේ ජීවිතය එපමණටම සරල විය. සැහැල්ලු විය. මෙසේ ඔහු තම පූජක සිසුන් නව මගකට අනුව පුහුණු කරමින් සිටියේය. පොළවේ පය ගසා ජීවත් වෙන්නට, ඒ අනුව මිනිසුන්ගේ ගැටළු හඳුනාගන්නට  ඔහු හැමවිටම තම සිසුන්ට උගන්වාලීය.  පියතුමා පිටතට යන විට වැඩිපුරම ඇන්දේ ජාතික ඇඳුමය. එහි උඩු කොටසේ පැත්තක කුඩා කුරුසයක් විණි.  ඒ හැර සාමාන්‍යයෙන් තම කුටියට වී ගත කරන මොහොතේ සරමක් සහ කමිසයක් අඳින්නට එතුමා හුරු විය. නිදා ගැනීම සඳහා ඇඳක් පාවිච්චි කිරීම පවා පියතුමා මේ වන විට අත්හැර දමා තිබිණි.

දිනක් තම එකම බාප්පා වූ මයිකල් පියතුමා දකින්නට එතුමාගේ සොයුරාගේ දියණියක සේවක සෙවනට පැමිණියාය. කතා කරමින් හිඳින අතරේ බාප්පාගේ කුටියෙහි සෑම තැනම ඇවිදිමින් සිටි දියණියට එහි කුමන ආකාරයක හෝ සැප පහසුවක් සලසා ගෙන ඇති වගක් නොපෙනිණි.

"මයිකල් බාප්පා නිදාගන්නේ................?" දිගු ලෑල්ලක් මතවූ පැදුරක් හා කොට්ටයක් දැක දියණිය විමසුවේ මඳ සැකයෙන් යුතුවය. පියතුමා සංසුන් සිනාව පෑවේය.

"මේ ලෑල්ල උඩද?" ඇය දෙවන වරටත් ඇසුවාය.

"මේක මට ඕනෑවටත් වඩා හොඳයි. දුව ඒ ගැන හිත කරදර කර ගන්න එපා."

පියතුමා පවසන දෙය දියණිය අසා සිටියේ අයාගත් දෙනෙතින් යුතුවය.


------ 42 ------


සමහරු ඇත්ත දැන දැනත් යටපත් කරනවා තමන්ගේ වාසිය තකා......

. Friday, October 23, 2009
0 comments

මෙතෙක් කතාව


හැමෝම මනුෂ්‍යයෝ. ඒත් මනුෂ්‍යයො අතර මේ වගේ විශාල පරතරයක් තියෙන්න හේතුව මොකක්ද? කියලා ඇහුවොත් හිතන්නේ ' මේ නම් කොමියුනිස්ට්කාරයෙක්' කියලා. ඒ අපේම පාලකයො ඔවුන්ගේම වාසිය තකා මිනිස්සුන්ව හුරුකරලා තියෙන විදිය. ජේසුස් වහන්සේ මේ වගේ දිළින්දන්ට අනුකම්පා කළා. ඔවුන්ගේ දුක වෙනුවෙන්  එතුමාගෙ පපුව උණු වුණා. බුදුන්වහන්සේ මෙත් වැඩීම කියලා කීවෙත් ඔන්න ඕකටම තමයි. නමුත් දැන් හුඟ දෙනෙක් ඒක පිළිගන්නේ නැහැ. සමහරු ඇත්ත දැන දැනත් යටපත් කරනවා තමන්ගේ වාසිය තකා."

එලෙස තර්කානූකූල අයුරින් කරුණු වටහා දෙන්නටත්, ඒ අනුව සාමාන්‍ය මිනිසුන් පිළිබඳ මෛත්‍රී වඩන්නටත්, ඔවුන්ට ජාති ආගම් භේදයකින් තොරව පිහිට වන්නටත් මයිකල් පියතුමා තම සිසුන් හුරුකරවමින් සිටියේය.

මෙය කටවචනයෙන් පමණක් කළ හැක්කක් නොවේ. එසේම දුක් විඳින ජනතාව අතරට ගොස් ඔවුන්ව අධ්‍යනය කිරීම පමණක්ද ප්‍රමාණවත් නැත. ගුරුවරයෙකු වශයෙන් තමන් ආදර්ශයෙන්ද එය සිසුන්ට පෙන්විය යුතු බව  මයිකල් පියතුමා තරයේ විශ්වාස කළේය.

පියතුමා නවාතැන් ගෙන සිටියේ සේවක සෙවනෙහිම ඔහු වෙනුවෙන් වෙන්ව තිබූ කුඩා නවාතැනෙහිය. පවුලේ සොයුරු සොයුරියන් ඇතුළු අනෙකුත් ඥාතීන් මෙන්ම හිතවතුන්ද ඉඳහිට දිනෙක සේවක සෙවනට පැමිණ පියතුමා හමුවීම සිරිතක් කරගෙන තිබිණි.

බෙහෙවින්ම සාමාන්‍ය ජිවිතයකට හුරුව සිටි ඔහු තමන්ගේ ආහාරය පවා තමන්ම පිසගත්තේය. ඒ සඳහා කැරට්, ලීක්ස්, වැනි එම ප්‍රදෙශයේ වැවෙන නොයෙකුත් එළවළු වර්ග ඔහු වත්තෙහි පසෙක වවා තිබිණි.

වරක් පාප්වහන්සේගේ මෙරට නියෝජිතයෙකු මයිකල් පියතුමා හමුවන්නට සේවක සෙවනට පැමිණියේය.

ආගිය තොරතුරු කතා කල මයිකල් පියතුමා සිටි තැනින් නැගිට්ටේය. අමුත්තාට දිවා ආහරය පිළියල කරදිය යුතුය. නිවසින් එළියට බට පියතුමා තවත් විනාඩි කිහිපයකට පසු නැවත එනු පෙනිණි. ඔහුගේ අතෙහි අල සහිත කැරට් ගස් කිහිපයක් සහ ලීක්ස් ගස්ද විය.

------ 41 ------

ඊලඟ පිටුවට

මේ රටේ නොදියුණු ගම් ප්‍රදේශම තියෙනවා විසිහතරදාහක් විතර ප්‍රමාණයක්......

.
0 comments

මෙතෙක් කතාව


ඉගැන්වීම යනු දේශන පැවැත්වීම පමණක් යැයි මයිකල් පියතුමා කිසිවිටක විශ්වාස කළේ නැත. ඔහු සෑම සති අන්තයකම තම සිසුන් සමග බදුල්ල, බණ්ඩාරවෙල ආදී ප්‍රදේශවලට ගොස් වතු කම්කරුවන් හමුවිය. මොණරාගල, බුත්තල, වැල්ලවාය වැනි ප්‍රදේශවලට ගොස් එහි ගොවි ජනතාවද හමුවිය. එසේ ගොස් වතු කම්කරුවන්, වතු පාලකයින් විසින් විඳින දුක් ගැහැට මේ සියල්ල අධ්‍යනය කරමින් තම සිසුන්ටද ඒවා මනාව අවබෝධ කරවීය. වැල්ලවාය, බුත්තල වැනි ප්‍රදේශවල ගොවීන් විඳින්නේද සුළු පටු දුකක් නොවේ. වසරේ වැඩි කාලයක් පවත්නා නියඟය සොබා දහමෙන් ඔවුන් ලද උරුමයක් වැන්න. ජලය හිඟකමද එසේමය. වරින්වර පැමිණෙන කුරිරු වසංගත රෝගවලින්ද අඩුවක් නැත.

පියතුමා එපරිද්දෙන් තම සිසුන්ට එම ජන ජීවිතවල කටුකබව පිළිබඳ න්‍යායික දැනුම පමණක් නොව ප්‍රායෝගික දැනුමද බෙදා හදා දුන්නේ ඔවුන් කවදාහෝ පූජකවරුන් වූ පසු මේ දිළින්දන්ට කළ යුතු සේවය පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබාගත යුතු බැවිනි.

"මේ රටේ නොදියුණු ගම් ප්‍රදේශම තියෙනවා විසිහතරදාහක් විතර ප්‍රමාණයක්. මේවා මොනතරම් නොදියුණුද කිව්වොත් ඒවයෙ ජීවත්වන මිනිස්සුන්ට අවශ්‍ය මූලික පහසුකම් කිසිවක් නෑ. රෝහල් නෑ. පාසල් නෑ. හැතැක්ම ගානක් කැලෑවල් මැද්දෙන් ඇවිදගෙන දරුවො පාසලකට යන්නෙ. ඒත් ඒවායේ හරිහැටි පහසුකම් නෑ. බොහෝ විට ගුරුවරුන්වත් අවශ්‍ය ප්‍රමාණයට නෑ. දරුවන්ගේ ඉගෙනීම මේ සියළු අපහසුකම් මැද්දේ අතරමගදි ඇණ හිටිනවා. රෝහලකට යන එකත් ඊට නොදෙවෙනි දුෂ්කර ක්‍රියාවක්. සමහරවිට ඒවායේ අවශ්‍ය කරන බෙහෙත් හේත් පවා නෑ. ගම්වල මිනිස්සුන්ට විදුලි බලය තියෙන්නෙ කීයෙන් කී දෙනාටද?"

"මේ මිනිස්සු හිතන්නේ ඒ ඔවුන්ගේ 'කරුමෙ' කියලා.එච්චරයි. ඉන් එහාට හිතන්නේ නෑ. කලාතුරකින් හරි දේශපාලනඥයෙක්, ඒත් නැත්තම් සත්ගුණවත් දානපතියෙක් මොනවහරි දෙයක් දුන්නොත් පින් දීලා බාරගන්නවා. ඇති නැති දෙකේ පරතරය මේ තරම් විශාල වෙලා තියෙන්නේ කර්මය එහෙමත් නැත්තම් පින පව දෙකෙන් කියලා මිනිස්සු හිතනවා.


------ 40 ------

මම පැරිසියට නොයමි. ඌව වෙල්ලස්ස්ට ගොස් ජනතාවට සේවය කරමි......

. Thursday, October 22, 2009
0 comments

මෙතෙක් කතාව


මයිකල් පියතුමා එහි සිටියදි ඔහුගේ සිසුන්ට මිනිසුන්ගේ ප්‍රශ්න ගැන, ඔවුන්ට සේවය කළ යුතු ආකාරය ආදිය පැහැදිලිව වටහා දුන්නේය. එහෙත් මෙවන් නව ආකල්ප හේතුවෙන් එතුමාට එහි දොර වැසිනි. එපමණක් නොව නිල සභාවෙහිද තහංචි පැනවී ඇත. එහෙත් ලියෝ නානායක්කාර බිෂොප්තුමා මයිකල් පියතුමාගේ පිළිවෙත් බෙහෙවින් අගය කළා සේම, ඔහු හා නිරතුරු එකට එකතු වී වැඩ කළේය.

  මේ වනවිට ලියෝ නානායක්කාර බිෂොප්තුමාට දෙව්සත්හලේ පුහුණුව ලබන තමන්ගේ සිසුන් එයින් ඉවත් කරගෙන වෙනමම පූජක පුහුණු හලක් ඇරඹීමේ අවශ්‍යතාවය ඇතිවී තිබිණි. සිසුන් මිනිසුන්ගේ ප්‍රශ්න වලින් දුරස් කරමින් විදේශීය සිතිවිලිවලින් ඔවුන්ගේ මනස් පුරවන දෙව්සත්හලේ පුහුණු කටයුතු පිළිබඳව ලියෝ නානායක්කාර බිෂොප්තුමා තුළ කිසිදු පැහැදීමක් නොවිණි.

මෙ අනුව බදුල්ල ප්‍රදේශයේ නව පූජක පුහුණු හලක් ඇරඹීමට අදහස් කළ බිෂොප්තුමා එම කටයුත්ත මෙහෙයවීම භාරගන්න ලෙස මයිකල් පියතුමාගෙන් ඉල්ලා සිටියේය.

මේ වන විට මයිකල් පියතුමාට පමණක් නොව  නානායක්කාර බිෂොප්තුමාටත් නිල සභාවෙන් එල්ල වී තිබුනේ මහත් විරෝධයකි. එය කොතෙක් වැඩි දියුණු වී පැවතියේද කිවහොත් රෝමය තෙක්ම දිග්ගැස්සී තිබිණි. මෙ ඒ දෙදෙනාම දැන සිටියහ. එබැවින් මෙවන් තත්වයක් මත  ලියෝ නානායක්කාර බිෂොප්තුමා ගේ කාර්යය කෙතරම් අවංක හා අව්‍යාජ වුවද කොතෙක් කල් එය සාර්ථකව කරගෙන යා හැකිද යන්න ගැටළුවකි.

මයිකල් පියතුමා මේ පිළිබඳව කල්පනා කළේය. රාත්‍රි කිහිපයක් ම යාච්ඥාවෙහි යෙදුනේය.

අවසානයේ ඔහු දෙවියන්ගේ හඬට කන් දුන්නේය. මම පැරිසියට නොයමි. ඌව වෙල්ලස්ස්ට ගොස් ජනතාවට සේවය කරමි.

පැරිස් විශ්ව විද්‍යාලයෙන් හිමිවූ කථිකාචාර්ය පදවිය ප්‍රතික්ෂේප කොට රදගුරු  ලියෝ නානායක්කාරගේ උපදෙස් මත මයිකල් පියතුමා බණ්ඩාරවෙල "සේවක සෙවන" නමැති පූජකවරුන් පුහුණු කරවන ආයතනයෙහි ආචාර්ය පදවිය භාර ගත්තේය. ඒ 1975 වසරය.

------ 39 ------

තම උසස් වීම් සඳහා උපකරණයක් ලෙස මිනිසුන්ව යොදා ගන්නවා......

.
0 comments

මෙතෙක් කතාව


මෙහිදී මයිකල් පියතුමා ඔවුන් දැනුවත් කිරීම සඳහා සාමාන්‍ය මිනිසුන් අතර ගැවසී තමා ලද අද්දැකීම් පහදා දුන්නේය. ඔවුන් එදිනෙදා ජීවිතය තුළ අත්විඳින කටුක වේදනා සවිස්තරව දැක්වූ පියතුමා " ඒ සාමාන්‍ය මිනිස්සුන්ට සමීප වුණාම ජේසුගේ හඬ ඔය අයට ඇසේවි." යි වැඩි දුරටත් කීවේය.

මයිකල් පියතුමාගේ මෙම ක්‍රියාකලාපය නිල සභාව රිස්සුවේ නැත. ඒ අනුව මයිකල් පියතුමාව වද්දා නොගන්නා ලෙස දන්වා එක් එක් මීසම්වලට සහ කන්‍යාරාමවලට අණක් නිකුත් කෙරිණි. සාමාන්‍ය මිනිසෙකු ලෙස සැරසී සාමාන්‍ය මිනිසුන් අතර ගැවෙසෙමින් සිටි මයිකල් පියතුමාට මේ ආකාරයට නිල නොවන තහංචි පනවන ලදී.

මුළු සභාවක් විසින්ම තමා මෙසේ පිටමං කෙරෙද්දී ඒ පිළිබඳ අල්ප මාත්‍රයක් හෝ දුක් වූයේ හෝ සැලුනේ මයිකල් පියතුමා නොවේ. එ වෙනුවට කළේ තව දුරටත් ජනතාව වෙතට සමීප වීමය.

" අප දැල්වෙන ඉටිපන්දමක් වගේ දියවීම අන් අයට ආලෝකයක් නම් එය ඉතාම වැදගත්. දියවී අවසානයේ අපට ඉතිරි වන දෙයක් නෑ. නමුත් අපේ මුළු ජීවිතයම මේ අයුරින් අන් අය වෙනුවෙන් වැයවිය යුතුයි. එසේ වැය වීම වැරදි ආකාරයට වටහාගත් අය තම උසස් වීම් සඳහා උපකරණයක් ලෙස මිනිසුන්ව යොදා ගන්නවා. ඊට අපි එරෙහි විය යුතුයි." පියතුමා නිතර නිතර කීවේ එලෙසිනි.

ඉගැන්වීම, ඕනෑම දෙයක් මැනවින් පැහැදිලි කර දීම පිළිබඳව මයිකල් පියතුමා දැක්වූයේ දැඩි ශූර බවකි. මෙ පිළිබඳව දැන සිටි ප්‍රංශයේ පැරිස් නුවර විශ්ව විද්‍යාලයකින් මයිකල් පියතුමාට ආරාධනාවක් ලැබිණි. ඒ සියළු පහසුකම්, විශාල වැටුපක්ද සමඟ එම විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය ධුරයක් සඳහායි. ඔහු හැදුනු වැඩුණු නිල සභාව ඔහුව ප්‍රතික්ෂේප කර සිටියදී මෙවන් අගනා තනතුරක් විදේශ විශ්ව විද්‍යාලයකින් හිමිවීම පියතුමාගේ මහත් භාග්‍යක් බව ඔහුගේ හිත මිතුරෝ කීහ. එහෙත් පියතුමා එක්වරම  ඒ පිළිබඳව තීරණයක් ගත්තේ නැත.

මේ සමයේදි මයිකල් පියතුමා සමග ජනතාව අතර හිඳිමින් ඔවුන්ගේ ප්‍රශ්න දෙස සානුකම්පිතව බැලූ තවත් අයෙක් විය. ඒ ලියෝ නානායක්කාර බිෂොප්තුමාය. මහනුවර දෙව්සත්හලේ පූජක සිසුන් පුහුණු කරවන ආකාරය පිළිබඳව ලියෝ නානායක්කාර බිෂොප්තුමා සිටියේ මහත් වූ කලකිරීමෙනි.


------ 38 ------

ඊලඟ පිටුවට

මනුස්සයෝ වෙලා ඉපදිලා අපි කරුම ගෙවනවා......

. Wednesday, October 21, 2009
0 comments

මෙතෙක් කතාව


දරිද්‍රතාවය සමඟ අත්වල්බැඳගෙන එන මෙ සියළුම අපහසුකම් තුලින් මිනිස් සාරධර්ම පවා ඔවුන් වෙතින් ගිලිහී යාම අරුමයක් නොවන බව මයිකල් පියතුමාට පැහැදිලිවම පෙනිණි.

මෙ සඳහන් කරන වකවානුව වූ 1974, 75, 76 යන කාලය තුළ මෙරට පැවතියේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ නායකත්වයෙන් යුත් සමඟි පෙරමුණු රජයයි. එකල මෙරට සාමාන්‍ය ජනතාව දරිද්‍රතාවයෙන් පමණක් නොව ආහාර පාන හිඟකමින්ද මහත්සේ පීඩා වින්දහ. සමූපකාර ඉදිරියෙහි දැකිය හැකි වූ අග මුල නොපෙනෙන පෝලිම් ක්‍රමය මෙකල බෙහෙවින්ම කැපී පෙනුණු අංගයක් බවට පත්ව තිබිණි. සහල් සලාකය, වියළි ආහාර සලාකය, භූමිතෙල් සලාකය ආදී වශයෙන් සලාක පොත් රැගෙන සමූපකාර පෝලිමේ වරු ගණන් ගත කරමින් මහජනයා වින්දේ සුවිසල් දුකකි.

කෙසේ වුවද පූජකවරුන් ඇතුළු පැවිදි පිරිස් මේ පෝලිම්වල රැදී සිටීමක් සිදු නොවේ. ඒ වෙනුවට සිදු වන්නේ වෙනත් කවුරුන් හෝ තම අතවැසියෙකු යැවීමය. එහෙත් මයිකල් පියතුමා ඊටද එකඟ වූයේ නැත. ඔහු තම සලාක පොතද රැගෙන මෙ සමූපකාර පෝලිමේ වරුගණන් ගත කළේය. ඒ අතර තමා දෙපස සිටි කවුරු සමඟ වුවද කතාවට වැටී ඔවුන්ගේ තොරතුරු පිළිබඳව සොයා බැලීමට උනන්දු විය. එදා වේල අමාරුවෙන් ගැට ගසා ගන්නා එම බොහොමයක් මිනිසුන්ගේ දුක්බර තතු අසා ඔහුගේ පපුව වේදනාවෙන් රිදුම් දුනි.

"කරුමෙ තමයි සුවාමි, වෙන මොකක්ද? මනුස්සාත්මයක් ලබන එකත් ලොකු පිනක්ලු. ඒත් මටනම් ඒක කොහොමටවත් විශ්වාස ගන්න බෑ. මනුස්සයෝ වෙලා ඉපදිලා අපි කරුම ගෙවනවා. "

ඒ ඔවුන්ගේ ජීවිතය පිළිබඳ දුක්බර කතාවේ සාරංශයයි. මයිකල් පියතුමා එක් එක් මීසම්වල හිඳින තමන්ට හිතවත් පුජකවරුන් හමුවී ඔවුන්ගේ මාර්ගයෙන් කිතුනු ජනතාව හමුවිය. එසේ හමුවී මෙ රටේ මිනිසුන් දැවෙන ප්‍රශ්න ගැන කතා කළේය. එම ප්‍රශ්න වලදී යුක්තිය සත්‍යයට සාක්ෂි දැරුවේය. එතෙකින් නොනැවතී පැවිදි සොයුරු සොයුරියන් හමුවී මිනිසුන්ගේ ජීවිත වලට සමීප වන ලෙස ඉල්ලා සිටියේය.


------ 37 ------


සියළු ආගම් සමාන ලෙසින් සැළකීම කෙසේවත්......

.
0 comments

මෙතෙක් කතාව


ළමා වියේදි ඔවුන්ගේම නිවසේ පදිංචිව සිටි නැන්දා සමග සෑම පුර පෝ දිනම පන්සල් යාමට පුරුදුව සිටි එතුමා එසේ ගිය හැම විටෙකම පන්සලේ බුදුගෙය වටා ඇවිදීමට අමතක කළේ නැත. එහි තිබූ බුදු පිළිම සහ අනෙකුත් පිළිම සේම චිත්‍රද දැඩි ආශාවකින් නැරඹූ පුංචි මයිකල් ඒ සෑම චිත්‍රයක් දෙසටම ඇඟිල්ල දිගුකොට එයින් නිරූපනය වන චරිත පිළිබඳවත් ඒ අයට සම්බන්ධ කතා පිළිබඳවත් නැන්දාගෙන් අසා දැන ගත්තේය. නැන්දා කියාදෙන කතා සාවධානව අසා සිටින ඔහුගේ මුහුණින් පළවනුයේ ගැඹුරු හැඟීමකි. එබඳු පරිසරයක් තුළ හැදී වැඩුණු ඔහු සියළු ආගම් සමාන ලෙසින් සැළකීම කෙසේවත් අරුමයක් වන්නේ නැත. කුඩාකල සිටම ආගම් දෙකෙන්ම ලබා තිබූ යහපත් ශික්ෂණය නිසාම වියපත් වූ පසුවද ඔහුගේ ඒ ගුණාංග වැනසී ගොස් නොතිබිණි. ඒ නිසාම මයිකල් පියතුමා සංඝයා වහන්සේලාට දණගසා වඳින්නට කිසිවිටෙකත් පසුබට වූයේ නැත. මෙමඟින් ඔහු ජේසුස් වහන්සේ තුළ වූ උදාරත්වයත් තම දිවි පෙවෙතෙහි වූ චාම් බවත් පළ කළා විය හැක.

කතෝලික සභාවෙහි ඇතැමුන් මයිකල් පියතුමා මිථ්‍යා දෘෂ්ටිකයන් ඇසුරු කරන බවට චෝදනා කළේ එම හේතුවෙනි. එතුමාට දෙව්සත්හලේ දොරටු වැසෙන්නට මේ සියලු මතිමතාන්තර හේතු වෙන්නට ඇත.

මෙසේ දෙව්සත්හලෙන් පිටමන් වූ මයිකල් පියතුමා කොළඹ පැමිණියේය.

මෙ කාලයේ පියතුමා වැඩියෙන් කළේ පැල්පත්, මුඩුක්කුවල සිටින දිළින්දන් හමුවීමට යාමය. හමුවී ඔවුන්ගේ ජීවිත ගත වන අයුරු පිළිබඳ පියතුමා ගැඹුරින් අධ්‍යයනය කරන්නට පටන් ගත්තේය. එදා වේල සොයා ගන්නට ඔවූහූ මොන මොනවා හෝ කරති. ඒ අතරින් යහපත් රැකියාවල යෙදෙන්නන් අල්පය. නමුත් කරන කුමක් හෝ දෙයක් වෙනුවෙන් ඔවුන් කූට මුදලාලිලාගෙන් අපමණ බැටකති. ඒ පැල්පත් තුළ සේම පැල්පත් අවට පවා කිසිදු පිරිසිදුකමක් නැත. නගරයේ පවුරුවලින් වටව ඉදිවී ඇති අලංකාර මන්දීර හා සුවිසල් ගොඩනැහිලි අතර ලෑලිවලින් වටවූ ඔවුන්ගේ අපිරිසිදු කුඩා පැල්පත වේ.

මේවායෙහි වසන මිනිසුන්ට, මනුෂ්‍යයන් සඳහා උරුම මූලික පහසුකම් තබා පිරිසිඳු හුලන් පොදක්වත් නැත.


------ 36 ------


සුවාමි ලෝගුව ඇඳගෙනම බුද්ධාගම ප්‍රචාරය කරනවා......

. Tuesday, October 20, 2009
0 comments

මෙතෙක් කතාව

ඒ අනුව 1971 වසරේ ඔහු ප්‍රංශයේ කතෝලික ආයතනයට ගොස් වැඩි දුර අධ්‍යාපනයෙහි නියැලෙන්නට විය.

බුදු දහම ඇතුළු ආසියාතික ආගම්වල මූලාරම්භය දක්වාම ගැඹුරු ලෙස කරුණු සෙවූ පියතුමාට මේවායේ පොදු අරමුණ මිනිසා වහල් බවින් නිවහල් බව වෙත ගෙන යාම බව සනාථ විය. ඒ අනුව ඔහු කිතුනු ආගම හා වෙනත් ආසියාතික ආගම්වල ඉගැන්වෙන එතෙරවීම යනුවෙන් ශාස්ත්‍රීය ග්‍රන්ථයක්ද ලිවීය. එපමණකින් නොනැවතුණු මයිකල් පියතුමා යළි ග්‍රෙගෝරියන් විශ්වවිද්‍යාලයට ඇතුලත්ව බෞද්ධ දර්ශණය පිළිබඳව ඉතාමත් ගැඹුරු හැදෑරීමක් කළේය. බුදුරජානන්වහන්සේ බුද්ධත්වය ලැබීම යනු මුළුමනින්ම ආත්මාර්ථයෙන් පරාර්ථය කරා යෑමක් බව හොඳින් වටහාගත් පියතුමා "බුදුන්වහන්සේ බුදුවීම" යනුවෙන් තවත් ශාස්ත්‍රීය ග්‍රන්ථයක් ලිවීය. ඒ වෙනුවෙන් එතුමාට ආචාර්ය උපාධියක් පිරිනැමිණි. එසේම "බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වය" යන විෂය සම්බන්ධයෙන් පර්යේෂණයක්කොට ආචාර්ය උපාධිලත් එකම ශ්‍රීලාංකිකයාද මෙතුමාම විය හැක.
මෙසේ එතෙර ගොස් වැඩි දුර අධ්‍යාපනය ලබාගත් පසු ගිහියන් පමණක් නොව පැවිද්දන් පවා ඊලඟට අපේක්ෂා කරනුයේ තම තනතුරෙන් උසස් වීමකි. එහෙත්, මයිකල් පියතුමාට එබඳු අවශ්‍යතාවයක් නොදැනිණ. ඔහු වැඩිදුර අධ්‍යාපනය ලැබීමේ එකම අරමුණ වූයේ ජාති හෝ ආගම් භේදයකින් තොරව මෙරට පොදු ජනතාවට වැඩි යහපතක් ඉටු කිරීමය.

එහෙත් 1974 පියතුමා යළි මෙරටට එනවිට දෙව්සත්හල තුළ ඔහුට තිබූ ඉඩකඩ සියල්ල ඇහිරී ගොසිනි. ඔහුගේ පොත් පත් ඇතුළු පරිහරණය කළ අනිකුත් සියළු දෑ පරණ බඩු ගබඩාවක මුල්ලට ඇද දමා තිබිණි.

"මයිකල් සුවාමි ලෝගුව ඇඳගෙනම බුද්ධාගම ප්‍රචාරය කරනවා. ඒක හරිම භයානක දෙයක්" පියතුමාගේ ක්‍රියාකලාපය දෙව්සත්හලේ ඇතැමුන්ගේ විවේචනයට ලක්වූයේ එලෙසිනි.

පියතුමා විදේශගත වන්නට පෙර මෙරට හුන් කාලයේදී පන්සල්වලට යෑමටත්, සංඝයා වහන්සේලා ඇසුරු කිරීමටත් පුරුදුව සිටියේය. සැබැවින්ම ඔහු උපන් කතෝලිකයෙකු වුවද ඔහුගේ නැන්දා ඇතුළු පියාගේ පරපුරේ අය බෞද්ධයෝ වූහ. ඒ අනුව මෙ ආගම් දෙකෙන්ම යුත් පරිසරයක් තුළ මයිකල් පියතුමා මැනවින් පෝෂණය ලැබීය.

------ 35 ------

පියතුමා මිත්‍යාදෘෂ්ටිකයෙකු බවත් ඔහු බුද්ධාගම්කාරයෙකු වී......

.
0 comments

මෙතෙක් කතාව


එම භීෂණ සමය පසුගිය එජාප සමයේ භීෂණය තරම් ව්‍යාප්ත නොවූවද එකලද තරුණ තරුණියන්ගේ මළ කඳන් ගංගාවල පාවෙනු දැකීම අතිශයින් සුලභ දසුනක් විය. තරුණයන් අවි අතට ගත් නිසා රටේ සාමය ඇතිකිරීමේ අරමුණින් අවි ගත්තවුන් මරා දැමූ බව එකල වගකිව යුත්තෝ පැවසූහ. එහෙත් මේ රටේ අපේ තරුණ දූ දරුවන් එහෙම වුණේ ඇයි? යන්නට කාගෙන්වත් උත්තර ලැබුණේ නැත.

"තරුණ පරපුර මේ විදියට හිංසාවට යොමු වෙන්නේ, හිංසාවට ඔවුන්ගේ තියෙන කැමැත්ත හින්දා නෙවෙයි. රටේ බලවතුන්ට කරුණු වටහාදීමට යොදාගත හැකි එකම භාෂාව ඒක හින්දයි." ඒ පිළිබඳ මයිකල් පියතුමා කීය.

මේ රටේ ප්‍රධාන වශයෙන් බුද්ධාගම, ක්‍රිස්තියානි, මුස්ලිම්, හින්දු වශයෙන් ආගම් හතරක් පවතී. එම ආගම හතර තුළින් පවා මේ රටේ තරුණ පිරිසට පිළිතුරු හෝ ගැලවීමක් නොමැත්තේ ඇයි? දෙව්සත්හලේ තම සිසුන් සමඟ මයිකල් පියතුමා මේ පිළිබඳව ගැඹුරින් සාකච්ඡා කළේය.

මේ ආගම් හතරේ තිබෙන මූලික හරය පිළිබඳව ගැඹුරින් සොයන්නට මයිකල් පියතුමා තුළ අදහසක් පැන නැඟුණි. තම ආගමේ මෙන්ම සෙසු ආගම් වලද හරයන් ගැඹුරින් වටහා ගෙන ඒවා ජනතාවට ඉදිරිපත් කිරීමට පියතුමාට අවශ්‍ය විණි. කෙසේ හෝ මේ කාලය වන විට මේ පියතුමාට විරුද්ධවාදී බලවේග කතෝලික සභාවෙන් මතු වෙන්නට විය. ඔහු තම පූජක සිසුන්ට නිරතුරු සැබෑ දේ සෙවීම සඳහා ඉගැන්වීමේ නියුතුව සිටි මුත් මෙය බොහෝ දෙනෙකු රිස්සුවේ නැත. පියතුමා මිත්‍යාදෘෂ්ටිකයෙකු බවත් ඔහු බුද්ධාගම්කාරයෙකු වී තම පූජක සිසුන් නොමඟ යවන්නේය යන අදහසක් ඔවුන් තුළ ජනිත වන්නට ඇත. සැබැවින්ම පියතුමාගේ දර්ශනයේ ගැඹුරු බව නොදත් ඔවුන් එසේ සැක කිරීමේ අරුමයක් නැත.

නමුත් මේ කිසිම හැඟීමකින් මයිකල් පියතුමා නොසැලුණි. එසේම බෞද්ධ දර්ශනය ඇතුළු අන්‍යාගම් පිළිබඳවද ගැඹුරින් අධ්‍යනයක නියැලීමේ අදහසක් පියතුමා තුල විය.


------ 34 ------

දූ දරුවන්ගේ උසස් අධ්‍යාපනය හමාර කරන විට ඔවුන්ගේ දෙමාපියෝ ණය බරින් මිරිකී හිඳිති......

. Monday, October 19, 2009
0 comments

මෙතෙක් කතාව


එසේම හැකි සෑම අවස්ථාවකම එහි වත් පිළිවෙත් ඉටු කෙරුනේද සිංහලයෙනි. පියතුමා තමන්ගේ ඒ කාර්යය දෙව්සත්හලට පමණක් සීමා කළේ නැත. අවට ක්‍රිස්තියානි ගම්වල තම සිසුන් සමඟ යමින් සිංහලයෙන් යාච්ඤා පවත්වන්නටද පටන් ගත්තේය.

පියතුමාගේ මේ වැඩ නොරිස්සු පිරිසක්ද මේ අතර විය. " මේ රට අවුරුදු දෙදාස් ගාණක් තිස්සේ බුද්ධාගමින් පෝෂණය වුණේ. මොන ආගමෙන් කිව්වත් කරන්නෙ යහපත ගැන. අපි කිතුනුවන් විදියට අගය කරන්න ඕනා ඒ යහපත ගැනයි. එහෙම නැතිව ආගම කියන්නේ ක්‍රිස්තියානි ආගම විතරක් නෙවෙයි. අපි හැම ආගමකටම ගරු කරන්න ඕනෙ."

පියතුමා හැම විටකම තමන්ගේ ක්‍රියාවන් පිළිබඳව කරනු ලැබෙන විවේචන වලදී එසේ පිළිතුරු දෙන්නට අමතක කළේ නැත.

නිරතුරු ගම් දනව්වල සැරිසරමින් මහජනයා හමුවෙන තරුණ මයිකල් පියතුමාට මෙරට තරුණ පරපුර විඳින පීඩාව හොඳින් අවබෝධ විණි. ඒ වන විට සිංහල භාෂාව මෙරට රාජ්‍ය භාෂාව වී තිබිණි. නිදහස් අධ්‍යාපනය ජනතාවට ලැබුණේ ඊටත් පෙර සිටමය. එසේ වුවද තරුණ තරුණියන්ගේ ප්‍රශ්නවලට කිසිදු පිළිතුරක් නැත. ඔවුන් අධ්‍යාපනය ලැබුවත් අධ්‍යාපනයට සරිලන රැකියා නොතිබිණි. දූ දරුවන්ගේ උසස් අධ්‍යාපනය හමාර කරන විට ඔවුන්ගේ දෙමාපියෝ ණය බරින් මිරිකී හිඳිති. මෙය මෙරට බොහෝ විටම දැකිය හැකි වූ පොදු තත්වයයි. රට සකස් වී තිබුණේ දේශපාලඥයන් ඇතුළු ධනපතියන්ට සරිලන අයුරින් මිස පොදු ජනතාවට යහපත් වන ආකාරයට නොවේ. උගත් දරුවන්ට රැකියා නොමැතිව වසර ගණන් ගත වෙද්දී ඔවුන්ට උගන්වන්නට අපමණ දුක් විඳි දෙමාපියෝ ණය බරින්ම පීඩිතව අසරණව මිය යති. ඊට කිසිඳු විසඳුමක් නැත. ඒ වනවිට මෙරටට නිදහස ලැබී වසර විස්සක්ද ඉකුත්ව ගොස් තිබුණත් ඒ දක්වාමත් මේ රටේ තරුණ පරපුර පීඩා විඳි පොදු ගැටළුව වූයේ එයයි. එම පීඩාවෙහි උච්චතම අවස්ථාව වූයේ 1971 කැරැල්ලයි. එම කැරැල්ල හේතුවෙන් එවකට මෙරට පැවති සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ නායකත්වයෙන් යුතු සමඟි පෙරමුණ රජය විසින් අමු අමුවේ මරාදමන ලද තරුණ තරුණියන්ගේ සංඛ්‍යාව නිලවශයෙන් දහතුන්දහසක් වුවද, නිල නොවන වාර්තාවලට අනුව එය ඊට වඩා බෙහෙවින්ම වැඩි බව පැවසේ.


------ 33 ------

ආගම තිබිය යුත්තේ මිනිසුන් සඳහාය. එසේ නැතිව මිනිසුන් පවතින්නේ ආගම සඳහා නොවේ.

.
0 comments

පූජකවරුන්ට අයත් නීති අකුරටම පිළිපදිමින්, පූජකවරයා සතු කාර්යභාරය හොඳින් හඳුනාගෙන සිටි එතුමා සමාජයට හිතදායී පූජකවරුන් පුහුණු කිරීම සම්බන්ධයෙන් එම වගකීම භාර ගත්තේ මහත් කැමැත්තෙනි.

මේ කාලය වනවිට මෙරට සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන මහා පංචවේද බලවේගයන්ගෙන් සැදි දෙශියත්වයට සිංහල භාෂාවට මුල් තැන දෙන ව්‍යාපාරයක් එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරණායක මැතිතුමාගේ නායකත්වයෙන් දියත් වෙමින් තිබිණි. ඒ වන විට මෙරට නිදහස ලබා වසර 7ක් පමණ ගත්වී තිබුණද සිංහලයට තැනක් තිබුණේ නැත. සියල්ල සිදුවූයේ ඉංග්‍රීසි භාෂාවෙන්මය. සුද්දන් අපේ රට හැරගොස් තිබිණි. අපට නිදහස ලැබී තිබුණද ඉංග්‍රීසි උගත්කම අවශ්‍ය දෙයක් සේ සළකන්නට මිනිසුන් පුරුදුව තිබිණි.

මයිකල් පියතුමා මෙ පිළිබඳව ගැඹුරින් සිතා බලන්නට විය. තමන්ගෙන් පුහුණුව ලබන පූජක සිසුන් අනාගතයේ සේවය කළ යුත්තේ සිංහල දෙමළ වශයෙන් වන මේ රටේ ජනතාවයටය. එහෙත් පල්ලියේ සියළු වත් පිළිවෙත් පැවැත්වෙන්නේ ලතින් භාෂාවෙනි. ජේසුස් වහන්සේ පවා තමන් විසූ රටේ ජනතාවට ආගම අවබෝධය ලබා දුන්නේ එම ජනතාවගේ භාෂාවෙනි. එබැවින් ලතින් බසින් පල්ලියේ වත් පිළිවෙත් ගීතිකා ආදිය පැවැත්වීම වෙනස් කළ යුතු යැයි මයිකල් පියතුමා කල්පනා කළේය. ආගම තිබිය යුත්තේ මිනිසුන් සඳහාය. එසේ නැතිව මිනිසුන් පවතින්නේ ආගම සඳහා නොවේ.

හැමවිටම තමන්ට සිතෙන දේ කරන්නට මයිකල් පියතුමා පසුබැස්සේ නැත. මෙහිදී ඔහු හැම විටම සෑම දෙයක් පිළිබඳවම ගැඹුරින් සිතා බැලුවේ පොදු ජනතාවගේ පැත්තේ හිඳගෙනය. ඒ අනුව නිවැරදි යනුවෙන් සිතට නැගෙන දේ කළේය.

"ඔය ගොල්ලන් අද මෙහේ පුහුණුව ලබලා අනාගතයේදි සේවය කරන්නේ මේ රටේ ඉන්න සිංහල දෙමළ ජනතාවට. හැමවෙලාවෙම මිනිසුන්ට යමක් කියාදෙන්නට ඕනෙ ඒගොල්ලන්ට තෙරෙන භාෂාවෙන්. එතකොටයි ඒ අයගේ හිතට ඒවා කාවදින්නේ.

මයිකල් පියතුමා තම ශිෂ්‍යන්ට නිතර නිතර පැවසීය. දෙව්සත්හල තුළ ඉගැන්වීම් කටයුතු කිරීමේදි ලතින් ගීතිකා ඔහු සිංහල භාෂාවට නැගුවේය.


------ 32 ------

ඈ පුතේ උඹ මාවත් ආගමට ගන්නවද?......

. Friday, October 16, 2009
2 comments

මෙතෙක් කතාව


තරුණ මයිකල් තුල තිබූ දක්ෂතාවය, කැපවීම, ආගම් භක්තිය මේ ආදී සියළුම ගුණාංග හේතුවෙන් ඔහුට පූජකවරයෙකු වීම සඳහා කැඳවීමක් ලැබිණි. මේ සඳහා වැඩිපුරම ඔහුට බලපෑවේ ශාන්ත පීතර විද්‍යාලයේ රණසිංහ පියතුමාගේ අදහස්ය.
ඒ 1948 වසරය.

මයිකල් පෝල් රුද්‍රිගු පූජකවරයෙකු වීමේ අදහසින් නිමල මරිය නිකායට බැඳුනි. ඉන්පසු රෝමයේ ග්‍රෙගෝරියන් විශ්ව විද්‍යාලයට ඇතුලත්ව දර්ශනය හා දේව ධර්මය පිළිබඳ අධ්‍යාපනය ලබා උපාධියක්ද හිමිකරගත් ඔහු 1954 දී නිල පූජකවරය ලැබීය.

තමා ආදරයෙන් හැදූ වැඩූ සුරතල් කළ පුතු පූජකවරයෙකු වශයෙන් පූජාත්‍රය ලබා මුලින්ම නිවසට පැමිණි දවසේ නැන්දාගේ මුහුණේ කිසියම් සතුටක් සේම දුකක්ද ඇතුව තිබිණි. මේ තමාගේ අත එල්ලී කුඩා කල පුන් පෝ දිනයේ පන්සල් ගිය දරුවා නොවේද? යන්න සිතන විට ඇගේ සිතේ කඳුලක් ඉපිද තිබිණි.

"ඈ මයිකල් පුතේ උඹ මාවත් ආගමට ගන්නවද?" ඒ දුක මතින්ම ඈ ඇසුවාය.

" නැන්දා බුද්ධාගමේම ඉන්න. මං කවදාවත් නැන්දාව ආගමට ගන්නේ නැහැ. ක්‍රිස්තියානි විතරක් නෙවෙයි බුද්ධාගමත් උතුම් ආගමක්...ආගම් කීපයකම වෙනස් විදියට කතා කළත් හැම ආගමකම කියන්නේ මනුෂ්‍යයන්ගේ සත්තුන්ගේ විතරක් නෙමේ මුළු ලෝකෙම යහපත ගැනයි..."

නැන්දා මයිකල් පියතුමා දෙස බලා සිටියේ සතුටු කඳුළු වගුරුවමිනි.

මයිකල් පෝල් රුද්‍රිගු පූජකවරයෙකු වීමේ අදිටනින් නිමල මරිය නිකායට ඇතුළු වන විට ඔහුගේ වයස අවුරුදු විස්ස පසුවූවා පමණි.

ඔහු පූජකවරයකු වූයේ නිකමට හෝ හදිසියේ හිතට ඇතුළු වූ හැඟීමක් මතින් නොවේ. ඊට වඩා බොහෝ පරමාර්ථයන් පියතුමාගේ සිත තුළ තිබිණ. ඒ අනුව මෙරටට පැමිණි මුල් කාලයේදීම මයිකල් පියතුමාට පූජකවරුන් පුහුණු කරවන ආයතනයක් වූ මහනුවර අම්පිටියේ ජාතික දෙව්සත් හලේ කථිකාචාර්ය පදවියක් හිමිවිය.

------ 31 ------

ඒ ගොල්ලන් මට කවියක් කියන්නවත් කිව්වේ නෑනේ......

.
0 comments

මෙතෙක් කතාව


එසේ නොවුණු තැන හිත ඇතුලේ පිරෙන දුක ඔහු පිට කළේ ආපසු එන අතරමඟ මහපාරේදිය. මවගේ, පියාගේ හෝ සොයුරියකගේ අතක එල්ලී ඒ මුහුණට එබී බලන මයිකල් " ඒ ගොල්ලන් මට කවියක් කියන්නවත් කිව්වේ නෑනේ" යි පවසන්නේ දුක්මුසුවය.

මෙවන් සුරතල් දඟකාර දරුවකු වුවද මයිකල් තම ආගම පිළිබඳවත්, ජේසුතුමා පිළිබඳවත් දැක්වූයේ අපමණ වූ භක්ත්‍යාදරයකි. මව ඔහුට ජේසුතුමා සම්බන්ධ නොයෙකුත් කතන්දර කියා තිබිණි. එපමණක් නොව පාසලේදීද ඔහු ඒවා උගත්තේය. සෑම පාසල් නිවාඩුවක් අවසානයේම එක් දිනයකදී දරුවන් පස් දෙනාටම අරළු තම්බා බොන්නට දීම මයිකල්ගේ මවගේ සිරිතය. ඉන් සිරුරට සෞඛ්‍ය සම්පන්න බවක් ලැබෙන බවට ඔවූහු විශ්වාස කළහ. එහෙත් තිත්ත රස පිරි අරළු බොන්නට බෙහෙවින් අකමැත්තක් පළ කළ මයිකල් ඒවා ඉවතට වීසි කිරීමට තැත් කළේය.

"හා හා මල්ලි ඕවා විසි කරන්න එපා. ජේසුස් වහන්සේට මිය යන්නට ටික වෙලාවට කලිනුත් අරළු බොන්න දුන්නා." යි එක් අක්කා කෙනෙක් වහා මයිකල්ට පැවසුවාය. මඳක් කල්පනා කළ පුංචි දරුවාගේ සිත අධිෂ්ඨාන ශක්තියෙන් පිරී යන්නට විය. අරළු කෝප්පය කටට තබා ඔහු එක හුස්මට ඒක පානය කළේය.

කෙමෙන් වැඩෙත්ම මීසමේ පල්ලියේ දේව පූජාවට උදව් උපකාර කළ මයිකල් හැම ඉරිදාවකම පල්ලියට යෑම වැරැද්දුවේ නැත.
මයිකල්ගේ පවුල කතෝලික වුවද ඔහුගේ පිය පාර්ශවයේ අය බෞද්ධයෝ වූහ. මයිකල්ගේ අවිවාහක නැන්දා කෙනෙකු ඔවුන්ගේ නිවසේ පදිංචිව සිටි අතර සෑම පසළොස්වක පෝයටම නොවරදවා පන්සල් යන ඇය තමන්ගේ තනියට එක්කරගෙන ගියේ මයිකල්වය.

එනිසාම ඔහුට ළමා කල සිටම බුදුදහමේ ඇසුර, සංඝයා වහන්සේලාගේ ඇසුර අඩුපාඩුවක් නැතිවම ලැබිණි. ඒ සෑම දෙයක් තුළින්ම අළුත් යමක් අවබෝධ කර ගන්නට තරම් මයිකල්ගේ මනස හොඳින් වැඩී තිබිණි.

දෙහිවල ශාන්ත මරියා විදුහලෙන් පසු වැල්ලවත්ත ශාන්ත පීතර විද්‍යාලයෙන් ඉගෙනීම අවසන් කළ ඔහුට ඉගෙනීම කෙරෙහි දැක්වූ අපමණ දක්ෂතාවය මත එම විදුහලේම ගුරු තනතුරක් හිමිවිය.



මං පාන් කාරයෙක් වෙනවා.

. Thursday, October 15, 2009
1 comments

මෙතෙක් කතාව


"මං පාන් කාරයෙක් වෙනවා." යි ඔහු එකවරම මහ හඬින් කීවේය.

මවත්, අක්කලාත්, අයියාත් පමණක් නොව පියා පවා තමන්ගේ ඒ පිළිතුර අසා හඬනගා හිනැහෙද්දි පුංචි මයිකල් කිසිත් වටහාගත නොහැකිව මාරුවෙන් මාරුවට ඔවුන්ගේ මුහුණු දෙස බැලුවේය.
"ඒ මොකෝ පුතා පාන්කාරයෙක් වෙන්න හදන්නේ?" සිනාව යන්තමින් මැඩගත්පසු පියා ඇසීය.
"පාන්කාරයා ගාව ජෑම් පාන්,  කේක්, සීනි බනිස් හෙම තියෙනවනෙ. මට හැමදාම එවා කන්න පුලුවන්නෙ පප්පේ......"

සුරතල් අවිහිංසක හඬින් මයිකල් දුන් පිළිතුර අසා අනෙක් අය තව දුරටත් හඬ නගා හිනැහෙද්දී ඔහු කිසිවක් තේරුම්ගත නොහැකිව නිරුත්තරව බලා සිටියේය.

ඔහු මුලින්ම අකුරු කරවූයේ දෙහිවල ශාන්ත මරියා විදුහලෙනි. ළමයින් අතර සේම ගුරුවරියන් අතරද ඔහු බෙහෙවින් ජනප්‍රියත්වයට පත්ව තිබිණි. විශේෂයෙන් කුඩා මයිකල් නොයෙකුත් ගීතිකා සහ ළදරු ගීත ඉතා සුරතල් ලෙසත් දක්ෂ ලෙසත් ගායනා කරන අයුරු අසන්නට ගුරුවරියන් තුල වූයේ මහත් වූ ආශාවකි. හැමදෙනාම ආදරය කළත් එක් ගුරුවරියක් දිනක් පුංචි මයිකල්ට සුළු තරවටුවක් කළාය. එය ඔහුගේ සිතට ඔරොත්තු නොදෙන තරම් බරක් විණි. දරාගත නොහැකි දුකිනුත්, කෝපයෙනුත් අඳුරු වූ මුහුණින් යුතුව පාසල නිමවී නිවසට පැමිණි මයිකල්, වැට අද්දරට ගොස් මහ හඩින් කෑගැසුවේය.

"ශීලා....ශීලා මං උඹට ගහනවා" යනුවෙන් මේ සිඟිත්තා හඬ නගා කෑ ගැසුවේ තමන්ට තරවටු කළ ගුරුවරියටය. ශීලා නැමැති එම ගුරුවරියගේ නිවස ඊට වඩා සෑහෙන දුරකින් පිහිටි අතර මේ කුඩා දරුවාගේ කෑගැසීම එපමණ ඈතකට ඇසෙන්නේ නැත. එහෙත් පුංචි මයිකල්ට හැඟුනේ එය ඇයට ඇසෙන්නට ඇතැයි කියා විය හැක. ඇසුනත් නැතත් ඔහුගේ හිසේ බර අඩුවිය. ඔහු ඉන් සෑහිමකට පත්විය.

කවියක්, ගීතයක් ගයන්නට පාසල් වේදිකාවේ රඟපාන්නට පුංචි මයිකල් කිසිවිටකත් පස්ස්ට ගියේ නැත. නත්තලට දෙමාපියන් හා අනිකුත් සොයුරු සොයුරියන් සමඟ නෑදෑ ගෙවල් වලට ගිය විට මයිකල් ගේ හිතේ තිබුණේම ගීතයක් හෝ කවියක් ගයන්නට කවුරු හෝ වැඩිහිටියකු තමන්ට ආරාධනා කරාවි යන පුංචි අහිංසක බලාපොරොත්තුවය.



------ 29 ------

  
ඊලඟ පිටුවට

පුතා ලොකු වුණාම මොනවද කරන්නේ......

. Wednesday, October 14, 2009
4 comments

මෙතෙක් කතාව


රිචඩ් සහ ජෝර්ජියානා රුද්‍රිගු යුවලගේ පස්වැනි දරුවා ලෙස මයිකල් පෝල් රුද්‍රිගූ මෙලොවට බිහිවුණි. පවුලේ බාලයා ලෙසින් බෙහෙවින් දඟකාර එමෙන්, දුටුවන් සිත් ඇදගන්නා පෙනුමකින් යුතුවූ පුංචි මයිකල්, හිල්ඩා, පෙට්‍රොනෙලා, බියට්‍රිස් යන අක්කලාගේත් එකම අයියා වූ සෑම්ගේත් සුරතලා බවට පත්විණි. එහෙත් මයිකල් මල්ලිව බලාකියා ගැනීමේ කටයුත්ත වැඩිපුර කරට අරගෙන තිබුණේ පෙට්‍රොනෙලා අක්කාය. ඔහුට වඩා දසවසරකින් පමණ වැඩිමහලු වුවද ඔහුව දෙකකුල්වල දමා නලවා නිදි ගැන්වූයේද මේ අක්කාමය. මල්ලී නිදිකරවීම මේ පුංචි අක්කාට පහසු කටයුත්තක් නොවූවත් ඇය ඊට පසුබෑවේද නැත. කුමක් හෝ කුඩා සෙල්ලම් බඩුවක් වැනි දෙයක් පුංචි මයිකල් මල්ලීගේ අතට දෙන මේ අක්කා මල්ලීට තදින් නින්ද ගොස් ඇති බව දැනගන්නේ එය නින්දේදී ඔහු අතින් බිම වැටුණු විටය. ඉන්පසු ඔහු ඇඳ මත තබන්නට පෙට්‍රොනෙලා අක්කා දැන සිටියාය.

පුංචි මයිකල් පැණි රස කැවිලි කන්නට බෙහෙවින් ආශා කළේය. දෙහිවල ගල්වල පාරේ ඔවුන් සිටි නිවස පසුකොට පාන්කාරයා යන අයුරු වැටේ එල්ලී ඔහු බලා සිටියේ දිදුලන දෑසින් යුතුවය. පාන්කාරයා දෙස බලාගෙන ඔහු නානාවිධ රස සිහින මැව්වේය.  සමහර දිනෙක මව රස සීනි බනිසයක්, ජෑම් පාන් වැනි එකක් වැනි දෙයක් පාන්කරුගෙන් රැගෙන දෙයි. එදාට පුංචි මයිකල්ගේ සිත සතුටින් පිම්බෙයි.

හැන්දාවේ පියා රැකියාව නිමවී නිවසට එන්නේ තම බෑගයේ පාන් ගෙඩියක්ද දමාගෙනය. ගෙට ඇතුළු වූ විගසම ඔහු කළේ තමන් ඉදිරියට දිව එන පුංචි මයිකල් පුතුව වඩාගෙන කුප්පි ලාම්පුව වටා නැටීමයි. "පප්පයි පුතයි කොළඹ යන්නේ  ජෑම් පාන් ගේන්ඩ යන්නේ......" පියා හැමදාම නැටුවේ ඒ ගීතය තාලයට ගනිමිනි. අනතුරුව මයිකල් බිම තබන පියා ඔහු සුරතල් කරමින් නොයෙකුත් ප්‍රශ්න අසයි.

"මගේ පුතා දවල්ට මොනවාද කෑවෙ......?"
"මගේ පුතා අද මොනවද කළේ......?" මේ ආදී වශයෙන් පියා විමසන සෑම ගැටළුවකටම පුංචි මයිකල් හුරුබුහුටි ලෙස කුමක් හො පිළිතුරක් දෙයි.

"පුතා ලොකු වුණාම මොනවද කරන්නේ?" යනුවෙන්ද දිනක් පියා පුංචි මයිකල්ගෙන් විමසා සිටියේය.

------ 28 ------


දිළිදුන් මැද ලැඟුම් ගනියි.....

. Tuesday, October 13, 2009
0 comments



මෙතෙක් කතාව

දුර්වර්ණ කහ පැහැයට හැරී ගිය සුදු පාසල් නිල ඇඳුමෙන් සැරසී ගත් දැරු දැරියෝ පාසල නිමවී "සුබසෙත් ගෙදර" පියමන් කරමින් මහ පාරේ යනු පෙනේ. එවන් කිලිටි දුර්වර්ණ වූ යුනිෆෝමයක් මිස, ඔවුන්ගේ දෙපාවලට සුදු පැහැති සපත්තු මේස් තබා රබර් සෙරෙප්පු යුවලක්වත් නැත. මද්දහන අව්වට හොඳ හැටි රත්වී ගිනියම් වී තිබූ පොළවෙහි රස්නයට ඔවුන්ගේ පා පොඩි හොඳින් හුරු පුරුදුව තිබිණි. ගතට දැනෙන විඩාව තුළින් ඔවුන්ගේ මුහුණු මැළවී ඇත. උනුන් අතර කිසිදු කතාවක් බහක් නැතිව නිහඬවම ගෙවල් දොරවල් කරා ඇදෙන මෙම දරුවන්ට ගිනි අව්වෙන් හිස ආවරණය කර ගන්නට කුඩයක් තබා මග දෙපස ගහ කොලක්වත් නොවිණි. පිට කවර ඉරී තැනින් තැන කිලිටි වී ගිය පොත් කිහිපය "සිරි සිරි" බෑගයක දමා හෝ නැතිව ඔවුන් හිස මත තබාගෙන යන්නේ අව්වේ පීඩාවෙන් මඳකට හෝ මිදෙනු පිණිසය.

ඒ මුහුණුවල සැඟවී ඇත්තේ මහා දොම්නසක කතාවය. කුඩා උන්ට වෙන ගැටළු නැත. එහෙත් බඩගින්නේ නිවසට ගිය කල බොහෝවිට කන්නට කෑමක් නොමැත.

බොන්නට ගන්නා වතුර කළය පවා වැඩිහිටියන් ගේන්නේ සෑහෙන දුරක් මඟ ගෙවාගෙන ගොස්ය. සංතාපයෙන් පිරීගත් ඒ දරු දැරියන්ගේ සිත් තුළ ඇත්තේ "අද දවල්ටවත් කන්න මොනවහරි තියෙයිද දන්නේ නෑ" යන සිතුවිල්ල බව නිසැකය.

ශෝකයෙන් ඇලලී ගත් හදින් යුතු මයිකල් පියතුමා ගෙතුළ පුරා එහෙ මෙහෙ සක්මන් කළේය. මොවුන් වෙනුවෙන් කළයුතු දෑ තවත් කොතෙක් වේද? මේ සිඟිති දරු දැරියන්ගේ ළමා වියෙහි සුන්දරත්වය පවා අදිසි හස්තයකින් උදුරාගෙන ඇතිසේය.

පියතුමාට තම ළමා විය සිහිවුණි.
සැබවින්ම 1980 වැනි වසරක සිට බලන කල එය වසර පනහකටද වඩා ඈතට දිව ගිය එකකි. ඒ 1927 ජුනි 30 දාය.

------ 27 ------

හරි දැන් මම නිදහස්

. Monday, October 12, 2009
2 comments

මෙතෙක් කතාව


මුලදී ඔහු සුබසෙත් ගෙදරට පැමිණියේ මයිකල් පියතුමා පිළිබඳ තොරතුරු කනින් කොනින් අසා තිබූ බැවිනි. මඳ වෙලාවක් කථා කරමින් පසුවෙද්දී තමා ඇසූදේ වඩාත් සත්‍ය නොවේදැයි රන්කොන්දාට වැටහී ගියේය. නහින දෙහින කාලයේ කාත් කවුරුවත් නැති අසරණයෙකු බවට පත්ව සිටි රන්කොන්දාට ජීවිතයේ මතක ඇති කාලයකදී නොදැනුණ අන්දමේ සහනදායී බවක් හැඟී ගියේය. ඔහු ඒ ගමට එන සෑම දිනෙකම හවස් යාමයට සුබසෙත් ගෙදරට ඇවිත් යන්නට පටන් ගත්තේය. ඒ එන සෑම වතාවකම රන්කොන්දාට තේ කෝප්පයක් පිරි නමන්නට මයිකල් පියතුමා අමතක කළේ නැත. තමා පිළිබඳ මෙවන් සැලකිල්ලක් ඒ ගමේ වෙනත් කෙනෙකුගෙන් මින් පෙර ලැබී නැති බව රන්කොන්දා දනී. ඒ සැළකිල්ලට අසරණ ඔහුගේ සිත කොතරම් ලොබවූයේද කිවහොත් දිනපතාම එහි යාම රන්කොන්දාගේ සිරිතක් බවට පත්විය. අවසානයේ සුබසෙත් ගෙදර රන්කොන්දා වෙනුවෙන්ම තේ පැන් සංග්‍රහයක් වෙන්වීමට තරම් ඔහු එහි සාමාජිකයෙකු තත්වයටම පැමිණ තිබිණ.

කැළයේ අතරමංව හිඳ ගම්මුන් කිහිප දෙනෙක් විසින් ගෙනෙන ලද මුව පැටවකුද අහළ පහළ සිට නිකමට මෙන් පැමිණ අවසානයේ සිය කැමැත්තෙන්ම නිවසේ සාමාජිකයෙකු බවට පත්වූ බළලෙකුද සුබසෙත් ගෙදර මයිකල් පියතුමා සමඟ සහයෝගයෙන් විසූහ. මිනිසුන්ට මෙන්ම මෙම අවිහිංසක තිරිසන් සතුන්ටද පියතුමා දැක්වූයේ අසමාන වූ දයාවකි. නිරතුරු උණුසුමට කැමති බළලා පියතුමාගේ සේවක සෝමදාසට වඩා පියතුමාට ප්‍රිය කළේය. සෝමදාස ළඟ උණුසුම් වන්නට නොහැකිය. ඔහුගෙන් පියතුමාගෙන් තරම් කරුණාවක් තමන්ට ලැබෙන්නේ නැත. එබැවින් පියතුමා අසල ඔහුගේ සිරුර ස්පර්ශ වනසේ හිඳ උණුසුම් වන්නට බළලා ආශා කළේය. වරක් මෙසේ මේසය අසල වාඩිවී කිසියම් ලියකියවිලි කිහිපයක නිරතව සිටි මයිකල් පියතුමාගේ උකුල මතට බළලා පැන ගත්තේය. ඒ පිළිබඳව තැකීමක් නොකළ පියතුමා තම කාරියෙහිම නිරත විණි. තමන් බෙහෙවින් ප්‍රිය කරන උණුසුමට ගුලිවී හුන් බළලාට නින්ද ගියේය.

තමන්ගේ කාර්ය නිමකළ මයිකල් පියතුමා බළලා දෙස බැලීය. ඌ තම උකුළේ සුවසේ නිදයි. තිරිසන් සතෙකුගේ වුවද සුවබර නින්දට බාධා කිරීම නොකළ යුතු දෙයකැයි පියතුමාට හැඟිණි.

------ 25 ------

දයාවෙන් පියතුමාගේ හදවත තෙත්විය. සුවබර ලෙස දිගු නින්දක් ලැබූ බළලා සෑහෙන වෙලාවකට පසු පිබිද තම දිවෙන් සිරුර දොවන්නට විය. "හරි දැන් මම නිදහස්" හීන් සීරුවේ බළලාට කියා ඌව බිම තැබූ පියතුමා එතැනින් නැගිට්ටේය.

------ 26 ------


මං කරන දේවල් පිළිබඳව හරි අවබෝධයක් ඇති කර ගත්තොත් ඇති......

. Saturday, October 10, 2009
0 comments

මෙතෙක් කතාව



කෙසේ වුවද පියතුමාගේ සැබෑ පූජකත්වය නිසි පරිදි අවබෝධ කරගත් කිහිපදෙනෙක් ද වූහ. ඒ අනුව මිල්බර්ගා හා බෙනඩික්ටා යන කන්‍යා සොයුරියන් දෙදෙනා අළුකළවිට පැමිණ පියතුමාගේ මෙම උදාර ක්‍රියාවට අතහිත දෙමින් එහි දිළිඳු ජනතාව වෙනුවෙන් තම ජීවිත කැප කරන්නට තීරණය කර තිබිණි. මින් බෙනඩික්ටා සොයුරිය හෙද සහ පවුල් සෞඛ්‍ය සේවය පිළිබඳව විදේශ රටක උසස් අධ්‍යාපනයක් ලැබූ අයෙකි. එය අළුකළවිට ගැමියන්ට අත්වන මහත් වාසනාවක් බව එතුමාට වැටහිණි.

ඒ දෙදෙනා සමඟ ප්‍රියන්ති හා ජූන් නැමැති තරුණියන් දෙදෙනෙකුද අළුකළවිට පැමිණියහ. සුබසෙත් ගෙදරට නොදුරින් වූ ඔවුන්ගේ කුඩා නිවහන "සුසිල් සෙවන" නම් විය.

"සුවාමි මෙච්චර ඉගෙන ගෙන තියෙද්දි මොන තරම් සැප විඳින්න තිබුණද? ඒත් සුවාමි ඒ හැමදේම දාලා අපේ ගමට ඇවිත් මේ කරන උපකාර අපට ලොකු හයියක්, අපේ හිත්වලට කතා කරන්න පුළුවන් කෙනෙක් අපට හම්බ වුණා." වරින් වර සුබසෙත් ගෙදරට පැමිණි ගමේ තරුණයින් සේම වැඩිහිටියන්ද පැවසූහ.

එහෙත් මේ අසිරිමත් මිනිසාගේ උදාර පරමාර්ථයන් ගැඹුරින් අවබෝධ කර ගන්නට හැකියාවක් අළුකළවිට දිළිඳු ගැමියන්ට නොවිණි. තම සිත් තුළට පියතුමා සවියක් වී ඇති බව පමණක් ඔවුන්ට වැටහිණි.

පියතුමා සියල්ල හැර දමා මෙහි පැමිණීම ඔවුන්ගේ පැත්තෙන් බලන විට කෙසේවත් ඇදහිය නොහැක්කකි.

" මේ මිනිස්සු මාව තේරුම් නොගත්තට කමක් නැහැ. මං කරන දේවල් පිළිබඳව හරි අවබෝධයක් ඇති කර ගත්තොත් ඇති. ඒකෙන් ඒ අයට යහපතක් සැලසෙන කොට මගේ උත්සහයේ ප්‍රතිඵල ඉබේම ලැබෙනවා.

සුන්දර ළමා වියේ පටන්ම සැබෑ පූජකයකු වීමට මැවූ සිහිනය පියතුමාට මතකය. සම්මත පූජකයකු වීමට නොමැති උග්‍ර අසීරුවක් සැබෑ පූජකයකු වීම සඳහා දැරිය යුතුය.

සුබසෙත් ගෙදර සාමාන්‍ය ගැමියන්ට පමණක් නොව වැඩිකල් නොගොස් කාත් කවුරුවත් නැති වයස්ගත පුද්ගලයන්ට, රෝගීන්ට පවා නිබඳවූ අස්වැසිල්ලක් හිමිකර දුන් ස්ථානයක් බවට පත්විණි.
රන්කොන්දා එබඳු, බුත්තල ප්‍රදේශයේ විසූ අනූවියද ඉක්මවූ එහෙත් දෙපයින් ඇවිද යා හැකි තත්වයේ පසුවූ කාත් කවුරුත්නොමැති පුද්ගලයෙකි.


------ 24 ------


ඊලඟ පිටුවට

වර්තමානයේ පැවිද්දන්ද සුඛ විහරණයට පෙරට වඩා ලොල් බව......

. Friday, October 9, 2009
0 comments

මෙතෙක් කතාව



ඔවුන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය වූ ගොවිතැන් කටයුතු දියුණු කළ හැකි ක්‍රම, නිරෝගී සෞඛ්‍යක් සඳහා උපදෙස්, ළදරු පාසලක්, නාට්‍ය කලාව වැනි කිසියම් විනෝදාත්මක ක්‍රියාවලියක යෙදීම සඳහා පුහුණුවක් මේ ආදී වශයෙන් මේ ගම්මුන්ගේ ජීවිතයේ කටුක නීරස බව යටපත් කළ හැකි ක්‍රම බොහෝය. ඒවා වර්ධනය කිරීමෙන් ඔවුන්ගේ ආත්ම විශ්වාසය ගොඩනැගීමට පුළුවන.

එහෙත් එය පියතුමාට තනිව කළ හැක්කේ නොවේ. විශේෂයෙන් ගැමි කාන්තාවන්ගේ සුබ සාධනය උදෙසා කාන්තාවන්ගේම මෙහෙය හා මඟ පෙන්වීමක් අවශ්‍ය වේ. ඒ සඳහා මනා අවබෝධයක් ඇති කන්‍යා සොයුරියන් කිහිප දෙනෙකු අවශ්‍යය.

ප්‍රධාන ගැටළුව පැන නැඟුණේ එතැන් සිටය. මූලික වශයෙන්ම අළුකළවිට පදිංචියට පැමිණෙන කවුරුන් වුවද ජනතා සේවයට කැපවීමේ අදහස මතම පැමිණිය යුතුය. ඒ සඳහා සියළු සුඛ විහරණයක් අත්හැර දැමිය යුතුය. කොටින්ම අගනුවර සිට අළුකලවිට පැමිණීම සුරලොවක් අතහැර නරකාදියට පැමිණීමක් සේ බොහෝ දෙනා සළකනු නියතය.

එවන් දුෂ්කර කර්තව්‍යයක් වෙනුවෙන් කැපවිය හැකි කන්‍යා සොයුරියන් පිළිබඳ සෙවීමේ දී ඒ ඒ නිකායවල්වල ප්‍රධාන කන්‍යා සොයුරියන් හමුවීමට මයිකල් පියතුමාට සිදුවිය. ආගම කුමක් වේවා වර්තමානයේ පැවිද්දන්ද සුඛ විහරණයට පෙරට වඩා ලොල් බව එතුමා දනී.

" කොහොමද ඉඳුම් හිටුම්" වරක් එක් ප්‍රධාන කන්‍යා සොයුරියක් විමසා සිටියාය.

"වෙනමම ගෙයක් තියනවා නවතින්න" පියතුමා සංසුන් ස්වරයෙන් පැවසීය.

" එතකොට නාන කාමර පහසුකම් එහෙම කොහොමද?"

එය ඇසූ පියතුමාගේ යටි සිතට උපහාසාත්මක සිනාවක් නැගුණුමුත් එය එතුමා මුවින් පළ නොකළේය.

" කිට්ටුව පාත පුංචි ඔයක් තියෙනවා...... ඒ පැත්තේ හැමෝම නාන්නේ ඔයෙන් තමයි. එම සංසුන් හඬින්ම පියතුමා පැවසුවේ කන්‍යා සොයුරිය විශ්මයෙන් ඇලලී බලා සිටිද්දීමය.


------ 23 ------


ඊලඟ පිටුවට

මිනිස්සු අතර මාත් නිකන්ම නිකන් මනුස්සයෙක් විතරනේ......

. Thursday, October 8, 2009
0 comments

මෙතෙක් කතාව



" ඒකට කමක් නෑ මහත්තයා පොලිසියට ඕනෑ හින්දනේ මාව අල්ලගෙන ආවේ. ඒ ගැන මගේ අමනාපයක් නෑ." පියතුමා සුපුරුදු නිර්ව්‍යාජ  මෘදු ස්වරයෙන් කීය.

" ෆාදර් කෙනෙක් කියලවත් අඳුනගන්න බෑනේ ෆාදර්ව. සාමන්‍ය මනුස්සයෙක් විදියටනේ ඉන්නේ......" පොලිස් නිලධාරියා තමන් නොදැන කළ වරද පිළිබඳව තවදුරටත් පැහැදිලි  කරමින් පැවසුවේය.

" මිනිස්සු අතර මාත් නිකන්ම නිකන් මනුස්සයෙක් විතරනේ මහත්තයො. මිනිස්සුන්ට සේවය කරන්න කලින් අපි ඒ මිනිස්සුන්ට ආගන්තුක නොවී සමීප වෙන්න ඕනෑ. ඒකට පූජක ලෝගුව ඕනෑ වෙන්නෙ නෑ."

පසුතැවිල්ලත් ශෝකයත් කැටි වූ සමාව යදින බැල්මෙන් පොලිස් නිලධාරියා පියතුමා දෙස බලා සිටියේය.

වසරේ වැඩි කාලයක් දරුණු නියඟයට බිලිවීම මතින් මළාණික වූ ගහකොළත්, දූවිල්ලෙන් පිරී ගත් පරිසරයත් මතින් ගම්වැසි කිසිවෙකුටත් සැනසිල්ලක් අත් නොවිණි. එවන් දුක්ඛිත පරිසරයක උපන් මිනිසුන් තුළ ආත්ම විශ්වාසයක් ගොඩනැගීම, ලේසි පහසු කටයුත්තක් නොවේ. එහෙත් එම අභියෝගයට මුහුණු දීමට තරම් ප්‍රබල සවිමත් මානසිකත්වයක් මයිකල් පියතුමා සතුව තිබිණි.

අළුයම හතරට අවදිව  දිව්‍ය පූජාව තැබූ පසුවත්  සැන්දෑවේ 7.00 ට දිව්‍ය පූජාව තැබූ පසුවත් භාවනා කිරීම මයිකල් පියතුමාගේ දින චරියාවේ අංගයකි. හිරු බැස ගිය පසු  අඳුර මකන්නට අළුකළවිට ගම්ප්‍රදේශයට කුප්පි ලාම්පු මිස විදුලි එළිය තිබුණේ නැත. සෑම ගැමි නිවෙසකම දැල්වෙන ලද්දේ දුබල එලියක් විහිදුවන කුප්පි ලාම්පු පමණි. බොහෝ රාත්‍රි කාලවලට අහසේ තරුමෙන් නිහඬ අඳුරු පරිසරය පුරා එළිය විහිදුවන කණාමැදිරියන්ය. නිවි නිවී දැල්වෙමින් රිදී පහන් මෙන් දිදුලන කණාමැදිරි එළි දැකීමෙන් මයිකල් පියතුමාගේ සංවේදි සිත ලැබුවේ මහත්වූ අස්වැසිල්ලකි.

සැන්දායාමේ මේ කණාමැදිරි එළි දෙස නෙත් දල්වා බලා හිඳිමින් සිත එක්තැන් කරගෙන භාවනා කරන්නට පියතුමා පුරුදු විය. ඔහු නිරතුරුව බලාපොරොත්තු වූයේ මේ ගමේ දිළිඳු ජනතාවට සේවය කළ හැකි ආකාරය පිළිබඳවය. පිරිමින්ට සේම කාන්තාවන්ටද නිදුකින් ජීවත් වීමේ ක්‍රමයක් කියා දිය යුතුය. ඔවුන් මෙම දරුණු සාගින්නෙන් මුදවා ගත හැක්කේ එවිටය.


------ 22 ------

පොලිසියට කුදලාගෙන යයි......

. Wednesday, October 7, 2009
4 comments

මෙතෙක් කතාව


මිනිසුන් පොදුවේ එය හැඳින්වූයේ ෆාදර්ලගේ ගෙදර, එසේ නැතහොත් සුවාමිගේ ගෙදර යන සමීප නාමයකිනි.

එහෙත් පිටතින් පැමිණ පදිංචි වූ අයෙකු සාමන්‍ය මිනිසෙකු පරිදි හැසිරෙමින් ගමේ මෙතරම් ජනප්‍රියත්වයට පත්ව හිඳීම නොරිස්සූ පිරිස්ද නොසිටියා නොවේ.

මෙබඳු කිසියම් පිරිසක් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව සුබසෙත් ගෙදරට හිටි හැටියේම පොලිස් නිලධාරීන් කිහිප දෙනෙක් පැමිණියහ. මයිකල් පියතුමා කිසියම් කරුණක් මත සැකපිට පොලිස් නිලධාරීන්ට අවශ්‍ය විය.

පියතුමා අත් අඩංගුවට ගැනීමට හේතුව වශයෙන් පොලීසිය සඳහන් කළේ ගංජා වැවීමක් පිළිබඳව ලැබී තිබූ ඔත්තුවකි.

එහෙත් තමන් කතෝලික පූජකවරයෙකු බව පොලීසියේදි කියා සිටින්නට මයිකල් පියතුමාට අවශ්‍ය නොවීය. එතුමාට අවශ්‍ය වූයේ තමන් නිවැරදි කරු බව සනාථ කරවීමට පමණි.

" මිනිස්සුන්ට තියා තිරිසන් සතෙකුටවත් අහිතකර වෙන කිසිම දෙයක් මං කරන්නෙ නෑ මහත්තයා. අනික් අයගේ යහපත වෙනුවෙන් නම් කරන්න පුළුවන් හැම දෙයක්ම මං කරනවා"

මේ ගැමියා කතා බහෙන් සේම හැසිරීමෙන්ද ගමේ අනික් මිනිස්සුන්ට වඩා වෙනස් බව, පොලිස් ස්ථානාධිපතිට වැටහිණ. එහෙත් එසේ වූ පමණින් එක් වරටම ඔහු විශ්වාස කරන්නට පොලිස් නිලධාරියා පෙළඹුනේ නැත. නොයෙකුත් මිනිසුන් පිළිබඳ මහත් වූ අද්දැකීම් ඇති පොලිස් නිලධාරියා මේ පුද්ගලයා පිළිබඳව විශ්වාස කිරීමට මැලිව තවදුරටත් නොයෙකුත් ප්‍රශ්න විමසීය.

එහෙත් මයිකල් පියතුමා පිළිබඳ හොඳ හැටි අසා පුරුදු වරක් පමණක් යාන්තමට ඔහු දැක තිබූ එක් පොලිස් නිලධාරියෙකු මේ අවිහිංසක බවක් පළ කරන තැනැත්තා දෙස හොඳින් බැලීය.

"දෙයියනේ මේ අර මයිකල් සුවාමිනේ?" ඔහුට ඉබේටම කියවිණි.

වහාම පොලිස් ස්ථානාධිපතිවරයා වෙත ගිය හෙතෙම ඔහුගේ කනට කොඳුරා මේ බව සැල කළේය.

" සමාවෙන්න ෆාදර් මං කිසි දෙයක් දැන ගෙන හිටියේ නැහැ." ඔහු අතිශය බැගෑපත් ලෙස පවසා සිටියේය.


------ 21 ------


තේ කහට බොන්නේ ආසාවට නෙමේ. බඩ රවට්ටන්න......

. Tuesday, October 6, 2009
0 comments

මෙතෙක් කතාව



දෑතින් දරුවා ඔසවාගත් පියතුමා ඔහු තම උකුල මත තබා ගත්තේය. දරුවාගේ සිරුරේ තැවරී තිබූ දුවිලි පියතුමාගේ සරම සහ කමිසයේ වැදුණත් ඔහුගේ අතවැසියා වන සෝමදාස කිසිවක් නොකීවේ පියතුමාගේ ගති ස්වභාවය හොඳින්ම හඳුනාගෙන සිටි බැවිනි.

"රටක් රාජ්‍යයක් පාලනය කරන්න තරම් සහජ බුද්ධියක් මේ දරුවා තුළ තියෙන්න පුළුවන්. ඒත් ඒකට වාසනාව මේ දරුවා තුළ නැහැ. ඒකට තියෙන්නේ එකම එක හේතුවයි. මේ වගේ අසරණ දරුවන්ට හිමි වාසනාවත් සමාජයේ වරප්‍රසාද ලත් අය විසින් උදුරා ගැනීම, අපි ඉගෙන තියෙන ප්‍රමාණය වුණත් කොයි තරම් සුළුද කියලා හිතෙනවා සෝමදාස, මේ මිනිස්සු අතර ගැවසිලා ඉගෙන ගන්න ලැබෙන දේවල් ගැන හිතෙන කොට....." පියතුමා කීයේ  දිගු සුසුමක් හෙළමිනි.

" මෙහේ මිනිස්සුන්ට තියෙන ලොකුම ප්‍රශ්නෙ කුසගින්න. මේ අය මේ හැම දුකක්ම විඳින්නේ හාමතෙන් නොමැරී ජීවත්වෙන්නයි. මම කීප දෙනෙකුටම කිව්වා බීඩී, සිගරැට් සුරුට්ටු බොන්න එපා. බුලත් විට කන්න එපා. ඒවා එක එක විදියේ භයානක රෝගවලට මුල කියලා. ඒත් මිනිස්සු ඒ ඒ වෙලාවට පිළිගන්නවා විතරයි පිළිපදින්නේ නෑ."

" මෙහේ මිනිස්සු ඒවට ඇබ්බැහි වෙලා සුවාමි. අත් අරවන්න අමාරු ඇති." සෝමදාස තමාට හැඟෙන දේ පිළිතුරු වශයෙන් පැවසීය.

"ඒකම නෙමේ සෝමදාස, මිනිස්සු හරියකට කන්න නැතිව දුක් විඳිනවා. බුලත් විට කන්නේ, දුම් බොන්නෙ, තේ කහට බොන්නේ ආසාවට නෙමේ. බඩ රවට්ටන්න. ඒ හින්දා එවා ශරීරෙට අහිතකරයි කිව්වට විතරක් වැඩක් වෙන්නෙ නෑ. බඩිගින්නට ප්‍රමාණවත් විදියට ආහාර දෙන්නේ නැත්තම්."

අළුකළවිට ප්‍රදේශයේ ගම්මුන් වැඩි දෙනෙක් ලියන්න කියවන්නට පවා දැන සිටියේ නෑ. ඔවුන් නගා සිටුවීමට නම් කුසට මෙන්ම මනසටද ආහාර දිය යුතුය. ඒ සඳහා ඉක්මණින්ම වැඩ පිළිවෙලක් ආරම්භ කළ යුතුයැයි පියතුමා දැඩිව අදිටන් කර ගත්තේය. ඒ අනුව ගත යුතු මූලික පියවර වහාම ගනු ලැබිණි.

වැඩි කලක් යාමට මත්තෙන් පියතුමාගේ සුබසෙත් ගෙදර තම සමීපතම ඥාතියෙකුගේ නිවසක් තරමටම අළුකළවිට සේම නුදුරු ගම්වලද මිනිසුන් අතර මහත් ජනප්‍රියත්වයට පත්ව තිබිණි.

------ 20 ------



ඒත් මං ආවෙ මෙහෙ ඉන්න බෞද්ධයන්ව අපේ ආගමට......

. Monday, October 5, 2009
0 comments

මෙතෙක් කතාව


අපි හය හතර තේරිච්ච දා ඉඳලා අමුඩකෙටිය ගහගෙන මහ පොළව මත්තෙම නැහුණ මිසක් ඉන් එහාට දෙයක් දන්නේ නෑ. ඒක වෙන්න ඇති සුවාමි ගැන, සුවාමි ආපු කාරනේ ගැන අපිටත් හරි හැටි වැටහෙන්නෙ නැත්තේ" ගැමියා යටහත් පහත් ලෙසින් කීය.

මේ මිනිසුන් අවංකය. හිතේ ඇති දේ ඍජුවම පවසයි. මයිකල් පියතුමාගේ සිතට මහත් සතුටක් දැනිණ. ඔහු ප්‍රසන්න සිනාවක් පෑවේ වඩාත් ලෙන්ගතු අයුරිනි.

" මම ක්‍රිස්තියානි තමයි. ඒත් මං ආවෙ මෙහෙ ඉන්න බෞද්ධයන්ව අපේ ආගමට ගාල් කරන්න නෙමේ. මුන්නැහේලගේ බුද්ධාගමටත් මම හුඟක් ගරු කරනවා.  අනික මේ වගේ ගම්වල මිනිස්සු විඳින්නේ පුදුම දුකක්. මට පුළුවන් හැම විදියෙන්ම මේ ගමේ අයට උදව් උපකාර කරගෙන ඔයගොල්ල එක්ක දුක සැප බෙදාගෙන මැරෙන කල් ඉන්නයි මං මේ ආවේ. මුන්නැහේලා වගේ අය දුක් විඳිද්දි කොළඹ මහා මන්දිරවලට වෙලා සැප විඳින්න මගේ හිත ඉඩ දෙන්නේ නැහැ. " ගැමියා "එහෙමයි සුවාමි" යි...... මහත් වූ ගෞරවයකින් යුතුව පැවසීය.

දූවිල්ල සහ තද අව් රශ්මියට එකසේ මුහුණ දීම නිසා දැඩි දුර්වර්ණ පැහැයක් ගත් අපිරිසිදු පෙනුමින් යුත් අවුරුදු තුන හතරක් තරම් වූ නිරුවත් පිරිමි දරුවෙකු පියතුමා ඉදිරියට පැමිණ මඳක් ඈතින් හිඳ අමුතු සතෙකු දෙස බලන අයුරින් මහත් වූ විශ්මයෙන් යුතුව බලා සිටියේය.

දුටු පමණින් එම අවිහිංසක දරුවා කෙරෙහි පියතුමාගෙ සිතෙහි උපන්නේ මහත් වූ දයාවකි. ඔහු දරුවා වෙත මෘදු සිනාවක් පෑවේය. එහෙත් අමුත්තා පිළිබඳ කුහුල කෙසේවත් අඩු නොවූයෙන් දරුවා පිළිතුරු සිනා පෑවේ නැත.

"මෙහෙට එන්න පුතා" පියතුමා කාරුණිකව පැවසීය.
" මගේ බාල කොළුවා සුවාමි ඔය" එවර ගැමියාද දරුවා දෙස බලා සතුටින් පිළිතුරු දුන්නේය.

අමුත්තා කවුරුන් වුවද හේ තමාට කිසියම් ලැදියාවක් දක්වන බව වටහාගන්නට පුංචි දරුවාට අපහසු වූයේ නැත. ඔහු පිල්කණ්ඩිය දිගේ තැනින් තැන අත තබමින් සැකමුසු බැල්මක් හෙළමින් මඳින් මඳ මෙ පුද්ගලයා වෙත ළං විය.


------ 19 ------


අපේ ගමේ හැමෝම බුද්ධාගංකාරයො. එහෙව් එකේ සුවාමි මෙහෙ ආ එක............

. Friday, October 2, 2009
2 comments

මෙතෙක් කතාව



ඉලුක් හෙවිලි කොට කටු මැටි බිත්තිවලින් වටවූ පුංචි 'සුබසෙත් ගෙදර' ඒ සඳහා කැපවී  තිබිණ. එහි මයිකල් පියතුමාට තිබුණේ වුවමනාවටත් වඩා සිසිලකි. අළුයම 4.00 ට අවදි වන පියතුමා මුලින්ම කරනුයේ දිව්‍ය පූජාව තැබීමය. උදේට සහ සවසට දිව්‍ය පූජාව තැබීමේදි පමණක් ඔහු පූජක ලෝගුව ඇන්දේය.

සුබසෙත් ගෙදර අත්‍යවශ්‍ය බඩු කිහිපයක් හැරුණු විට වෙනත් කිසිවක් තිබුණේ නැත. අඩුම වශයෙන් නිදා ගන්නට ඇඳක් පවා නොතිබිණි. ඒ සියළු සුඛ විහරණයන් පියතුමා ප්‍රතික්ෂේප කළේය. සැප පහසුවට මෙට්ටයක් පවා රහිත කොහොඹ ලෑල්ල පියතුමාට සුවබර නින්දක් ලබා දුනි.

ගමේ පන්සලේ හාමුදුරුවන් සේම ගම්මුන්ද වැඩි දෙනෙකුම මිතුරු වූවත්, තවත් බොහෝ අය එතුමා පිළිබඳව සැක පහළ කළහ. ගමේ මිනිසුන්ව නගා සිටුවීමට නම් මුලින්ම ඔවුන්ගේ සිත් තුළ ඇති සැකයන් දුරු කළ යුතු බව පියතුමාට හැඟිණි.

සමහර විටක තම අතවැසි සෝමදාස කැටුවත් තනිවමත් මයිකල් පියතුමා ගමේ කටු මැටි ගෙවල් වලට යන්නට පටන් ගත්තේ ඒ අදහසිනි.

මේ අසරණ මිනිසුන්ට තමා පිළිබඳව නිවැරදි අවබෝධයක් ඇති කරවීමට පියතුමාට අවශ්‍ය විය.

"ඉඳගන්න දෙන්නවත් හරි හමන් පුටුවක්වත් නැහැ සුවාමි" කරේ වූ කහට බැදි දුර්වර්ණ තුවායෙන් බාගෙට කැඩී ගිය පුටුවේ දූවිලි පිස දමමින් වරක් එක් ගැමියෙකු පැවසුවේ මහත් වූ බයාදු ස්වරයකිනි.

"අපොයි අපොයි මේක මට ඕනෑවටත් වඩා වැඩියි, අර කොහොඹ ගහ නිසා මෙතන ඉඳගත්තම අමුතුම සනීපයක් දැනෙනවා." පියතුමා කීයේ මහත් අස්වැසුමකිනි.

සුවාමි බොහෝම අමුතු විදිහේ කෙනෙක් කියලා ගමේ එක් එක්කෙනා කතා වෙනවා මගේ මේ කන් දෙකටත් ඇහිලා තියෙනව නම් තමා............ඒත් මටත් හිතාගන්න බෑ හරියටම. අපේ ගමේ හැමෝම බුද්දාගංකාරයො. එහෙව් එකේ සුවාමි මෙහෙ ආ එක............මෙහෙ ඇබිත්තං පැලක පදිංචි වෙච්ච එක....... අනේ මන්දා සුවාමි.


------ 18 ------


ඊලඟ පිටුවට

ඉතින් ස්වාමි මේ ගමේ පල්ලියක් හෙමත් හදන්න බලාපොරොත්තු වෙනවද?

.
2 comments

මෙතෙක් කතාව



පළමු දවසේ වූ කතා බහෙන්ම හාමුදුරුවන් තුළ මෙම පූජකවරයා පිළිබඳව මහත් පැහැදීමක් ඇතිවිය.

ඉන් මඳ කලකට පසු මයිකල් පියතුමා ඉන්දියාවේ චාරිකාවක යෙදුණි. මේ ගමනේදී බුදුන් වහන්සේ උපන් ප්‍රදේශයේ සිද්ධස්ථාන නැරඹීමට යාමටද පියතුමා අමතක කළේ නැත. එහිදි ඔහුට තමන් වෙසෙන ගමේ පන්සල මතක් වූයේ නිමේෂයකිනි.

එහි වැඩ වසන හාමුදුරුවන් හට බුදු පිළිම කිහිපයක් ගෙනගොස් ත්‍යාගයක් වශයෙන් දීම මැනවයි පියතුමාට හැඟිණි. ඒ අනුව යළි අළුකළවිට පැමිණි මයිකල් පියතුමා හාමුදුරුවන් හමුවන්නට ගියේය.

තමන්ට පියතුමා දුන් මෙම උතුම් ආගමික තිළිණය දුටු පසු හාමුදුරුවන්ගේ විශ්මය තව දුරටත් අතිමහත් විණි.

" මම දැනගත්තු විදියට සුවාමි හුඟක් උගත් කෙනෙක්. ඉතින් මොන තරම් සැප පහසු ජීවිතයක් ගත කරන්න තිබුණද? එහෙව් එකේ මේ වගේ අන්ත පිටිසර ගමකට ඇවිත් දුක් විඳින එක අපට හරි පුදුමයි ස්වාමි."

"මාත් පැවිද්දෙක්නේ හාමුදුරුවනේ. පැවිද්දන්ට සැපවිඳින එක අකැපයි. මං මේ ගමට ආවේ මේ ගමේ මිනිස්සු විඳින දුක දැකලා ඒ දුක බෙදා ගන්නයි." ඔහු සංසුන් ස්වරයෙන් පැවසීය.

" ඉතින් ස්වාමි මේ ගමේ පල්ලියක් හෙමත් හදන්න බලාපොරොත්තු වෙනවද?" හාමුදුරුවන් විමසුවේ මඳ සැකයෙන් මෙනි.

"අනේ මගේ එහෙම බලාපොරොත්තුවක් නෑ හාමුදුරුවනේ. ක්‍රොන්ක්‍රීට් පල්ලි විතරක් හදාගෙන ඇති වැඩේ මොකක්ද? ඒ නිසා මගේ කාරියට අර මගේ පැල්පත හොඳටම ඇති" ඒ ප්‍රසන්න මුහුණේ මඳ සිනාව ඒ අයුරින්ම රැඳී තිබිණි.

බුත්තල ප්‍රදේශයට හිරු පායන්නේ අප රටේ අන් බොහෝ ප්‍රදේශවලට වඩා වේලාසනින් දැයි යමෙකුට සිතෙන්නට පුළුවන. එපමණට එහි උදෑසන පටන් අව් රශ්මිය දැඩිව පවතී. අළුකළවිට ගමේ විසුවෝ හේන් ගොවිතැනින් යැපුණු ගොවීහුය. පීඩාවක් වුවද ඔවුන්ට ඒ අව් රශ්මිය හොඳ හැටි පුරුදුව තිබිණි. ඒ ජීවිත තුළ 'සැප' යන්න මිරිඟු දියක් තරමට බොඳ වූ සිහිනයක් විය.

පැවිද්දෙකුගේ යුතුකම තම ආගම කියාදීම හා ආගම ව්‍යාප්ත කිරීමම නොවේ. මිනිසුන් අතර හිඳ මිනිසුන්ට පිහිට වීමය. ඒ සඳහා මෙපමණටම දුෂ්කර පෙදෙසක් තෝරා ගන්නට මයිකල් පියතුමා පෙළඹුනේ එබැවිනි.

------ 17 ------

ඊලඟ පිටුවට

කතෝලික පියතුමාට බෞද්ධ දර්ශනය පිළිබඳ උපාධියක්?

. Thursday, October 1, 2009
0 comments

මෙතෙක් කතාව


හාමුදුරුවන්ගේ සාධාරණ සැකය පිළිබඳව මයිකල් පියතුමා තම අදහස් එසේ දක්වා තිබිණි.

" අනේ මන්දා ඒ මොන විදියක මනුස්සයෙක්ද කියන්න" හිමිවරු එසේ තම විශ්මය පළ කලහ.

සාමාන්‍ය ගැමියෙකු පරිද්දෙන් සිටියද තමා කතෝලික පූජකවරයෙකු බව දන්නා බැවින් පන්සලේ හාමුදුරුවන් තමා කෙරෙහි සැක පහළ කිරීම බෙහෙවින් සාධාරණ බව මයිකල් පියතුමා දැන සිටියේය. එහෙයින් ගමේ පන්සලට ගොස් හාමුදුරුවන් මුණ ගැසීමට එතුමා තීරණය කර ගත්තේය.

එතරම් පැහැදීමක් සේම  විශ්වාසයක් නොතිබුණද තම පන්සලට පැමිණ හිඳින මෙම ආගන්තුකයාට අසුනක් පෙන්වා හාමුදුරුවන් ඔහු හා කතාවට වැටිණි. ඔවුහු බොහෝ දේ කතා කළහ. අනතුරුව මාතෘකාව බණදහම් පැත්තට නැඹුරු විය. ආර්ය අෂ්ටාංගික මාර්ගය, පටිච්ච සමුප්පාදය, ධම්ම පදය වැනි මේ දේවල්  පිළිබඳව අතිශූර ලෙස පියතුමා දැක්වූ කරුණු පිළිඹඳව අසා හාමුදුරුවන් මවිතයෙන් මවිතයට පතිවිය. සැබැවින්ම මේ නම් අපූරු මිනිසෙකි.

" සුවාමි ඉතාම ගැඹුරු විදියට බුද්ධාගම ඉගෙන ගෙන තියෙනවනේ. කලින් මහණවෙලාවත් හිටියද? හාමුදුරුවන් සිය විශ්මය අතරින්ම ඇසීය.

'බුද්ධ දර්ශනයත් ටිකක් විතර දන්නවා හාමුදුරුවනේ............"
පියතුමා පිළිවදන් දුන්නේය.

එහෙත් මේ සාමාන්‍ය දැනුමක් නොවන බව හිමියන්ට ඉඳුරාම පැහැදිලිය. එසේ වුවද මේ පූජකවරයා ඒ පිළිබඳ හෙළි කළේද නැත. පසුව හාමුදුරුවන්ට දැන ගත හැකි වූයේ මයිකල් පියතුමා යනු එසේ මෙසේ කෙනෙක් නොව ආචාර්ය උපාධි (PHD) දෙකක් සහිත ඉතා ඉහල මට්ටමේ අධ්‍යාපනයක් ලැබුවෙකු බවයි. එහි වඩාත් පුදුමය වූයේ ඉන් එකක් බුද්ධාගම හා බෞද්ධ දර්ශනය පිළිබඳව උපාධියක් වීමය. බෞද්ධ දර්ශනය පිළිබඳව ආචාර්ය උපාධියලත් බෞද්ධ ගිහි හා පැවදි පක්ෂය බැලුවත් සිටින්නේ අතලොස්සක් පමණි. එවන් අවදියක මෙම කතෝලික පූජකවරයා බෞද්ධ දර්ශනය පිළිබඳව ආචාර්ය උපාධියක් පවා ලබා ගෙන ඇත.

එහෙත් ඔහු කිසිවිටකත් ඒ බව අන්‍යන්ට නොදැක්වීමට තරම්ම නිහතමානීය.

------ 16 ------

ඊලඟ පිටුවට