කතෝලික පියතුමෙකු වෙනුවෙන් ගමේ විහාරයේ හත්දොහේ දානයක්......

. Wednesday, December 2, 2009
3 comments

මෙතෙක් කතාව


පසුදින එනම් නොවැම්බර් 11 දින පියතුමාගේ මරණය සම්බන්ධව මරණ පරීක්ෂණය පැවැත් විණි.

පූජකවරුන් ඇතුළු වගකිව යුත්තන් ගණනාවකගේ මැදිහත්වීමෙන් පියතුමාගේ දේහය මරණ පරීක්ෂණයෙන් පසු එදිනම බණ්ඩාරවෙල දේවස්ථානයට ගෙන එන ලදී. මේ අවස්ථාවේදි පියතුමා වෙනුවෙන් කතාවක් පැවැත්වූයේ පියතුමා ළඟින් ඇසුරු කරන ලද භික්ෂූන් වහන්සේ නමක විසිනි.

එදිනම බණ්ඩාරවෙල පූජකවරුන් පුහුණු කරන මධ්‍යස්ථානයට පියතුමාගේ දේහය ගෙන යන ලදුව 12 දින කොළඹ බොරැල්ලේ  රේමන්ඩ් මල් ශාලාවට ගෙන එන ලද්දේ යළි එම්බාම් කටයුතු කර වෙනත් පෙට්ටියකට දේහය මාරු කරනු පිණිසය.

පසුව මයිකල් පියතුමා ඉපදී හැදී වැඩුනු ගම වූ දෙහිවල ශාන්ත මේරි දේවස්ථානය වෙත දේහය ගෙන ගොස් එහි පැය කිහිපයක් දේහය තබා තිබිණි. එදින එනම් 12 දා රාත්‍රී එය මයිකල් පියතුමාගේ සොයුරා වූ සෑම් මහතාගේ නිවස පිහිටි දෙහිවල, ඉනීෂියස් පාරේ නො. 18 දරණ තැනට ගෙනෙන ලදී.

13 දා උදේ සෑම් රුද්‍රිගූ මහතාගේ නිවසින් ගෙනෙන ලද පියතුමාගේ දේහය කොළඹ මරදානේ පිහිටි සමාජීය හා සාමයික කේන්ද්‍රයේ තැන්පත් කෙරිණි. සමාජීය හා සාමයික කේන්ද්‍රය බිහි කිරීමෙහිලා පුරෝගාමී වූවන් අතර මයිකල් පියතුමා ද එක් අයෙක් විය.

නොවැම්බර් 13 දා සවස් යාමයේ මරදානේ සාමයික කේන්ද්‍රය පිහිටි ඩීන්ස් පාරේ සිට බොරැල්ල කනත්ත දක්වා වැටී ඇති මාවත් වල වෙනදාට වඩා වැඩි වාහන තදබදයක් විය. ඉන් දින දෙකකට පෙර මොලොවින් සදහටම සමුගෙන සිටි මයිකල් පෝල් රුද්‍රිගු පියතුමා බොරැල්ල කනත්ත වෙත සිය අවසන් ගමන යමින් තිබිණි. පොලිස් නිලධාරීන් සෑහෙන පිරිසක් පාරේ ගමන් කරමින් තිබූ වාහන සහ දේහය සමඟ ඇදෙමින් තිබූ දහස් සංඛ්‍යාත ජනකායක් ගමන් කළ අවමංගල පෙරහැර හසුරුවන්නට වූහ. නොයෙකුත් පාඨක වලින් යුත් බැනර් මෙම පෙරහැරේ ගමන් කරමින් හුන් අය අත රැදී තිබිණි. ඔවුන් සෑම දෙනාගේම දෙනෙත් කඳුළු වලින් පිරී ගොසිනි.

දුකින් හඬන ගිහි පිරිසත්, සුදෝසුදු අඳුමින් සැරසුණු පූජක පිරිසත් මෙසේ සන්සුන් ගමනින් ගියේ බොරැල්ල කනත්ත දෙසටය. මළ හිරු බැස යමින් පැවති එම සැන්දෑයාමයේ දහස් ගණන් ජනයාගේ හදවත් කකියවමින් දෙනෙත් කඳුළින් පුරවාලමින් මයිකල් පියතුමාගෙ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කෙරිණි.

------ 105 ------

පියතුමාගේ අවසන් කටයුතු එසේ කොළඹදී සිදු කළත් පියතුමාගෙ සිරුරේ උතුම්ම කොටස වූ මොළය සහ ඇස දේහයත් සමඟ කොළඹ රැගෙන ගොස් තිබුණේ නැත. වෙඩි තැබීමේදි හිස පුපුරායාම මතින් පසෙකට විසිවූ එය අළුකළවිට ප්‍රදේශයේම භූමදාන කරනු ලැබිණි. ඒ පිළිබඳව අළුකළවිට ගමේ තරුණයෙක් මෙසේ පවසා තිබිණි.

"සුවාමිගේ මිනිය කොළඹ අරන් ගියත් එතුමාගේ මොළයයි ඇහැකුයි අතන ළිඳට එහායින් වල දමලා තියෙනවා. තමන්ගේ මොළයයි ඇසුයි අපි වෙනුවෙන් කැප කරපු සුවාමි අපි වෙනුවෙන්ම ජීවිතය බිලි දීලා කොළඹ ගියේ ඒ මොළයයි ඇසුයි අපිටම භාර දීලා"

මයිකල් පියතුමාගේ මෙ හදිසි මරණය මුළු බුත්තල ප්‍රදේශයේම ගිහි පැවදි භේදයක් නැතිවම දහස් ගණන් පිරිසකගේ සිත් කම්පාවට පත් කිරීමට සමත් විය. බොදු කිතුනු සම්බන්ධය මතින් මයිකල් පියතුමා ඇසුරු කරන ලද බුත්තල ප්‍රදේශයේ විහාරස්ථාන කිහිපයකම සංඝයා වහන්සේලා වැඩම කරවා බෞද්ධ පිළිවෙත්වලට අනුව ගමේ විහාරස්ථානයේ හත් දවසේ දානයක් දී එතුමාට පින් අනුමෝදන් කරනු ලැබීණි.

එහිදී පූජ්‍ය අළුත්වෙල සුමනසිරි හිමියෝ මෙසේ පැවසූ සේක. "බුද්ධාගමේ විතරක් නෙමේ ක්‍රිස්තියානි ආගමෙත් මුස්ලිම් ආගමෙත් උගන්වනවා දානය ගැන. සමහරු හිතනවා බෞද්ධයො විතරයි දානෙ දෙන්නෙ කියලා. ඒක වැරදි මතයක්. හැම ආගමකම උගන්වනවා දානය දීම පරිත්‍යාගයක් බව. ඒකෙන් වෙන්නෙ තමන්ගෙ හිතේ තියෙන තෘෂ්ණාව ටිකෙන් ටික අඩුවීම.

මීට දවස් හතකට ඉහතදී අපෙන් සදහටම වියෝ වුණු මයිකල් පෝල් රුද්‍රිගු පියතුමාට මේ පින් ඒකාන්තයෙන්ම අනුමෝදන් වේවා! එතුමා බලාපොරොත්තු වුණු හැටියට ස්වර්ග සම්පත්තිය කොට ඇති පරම ශාන්ත නිවන් සැප ලබා ගැනීම සඳහා මේ පින්කම ඒකාන්තයෙන්ම හේතු වේවා!"

නිමි.

------ 106 ------

පියතුමාව ඝාතනය කරයි......

. Tuesday, December 1, 2009
2 comments

මෙතෙක් කතාව

......"අපි අනුගමනය කරන ක්‍රිස්තුන් වහන්සේ දිළිඳු කෙනෙක්. මේ ගමේ මිනිස්සුන්ට කරදරකදී යන්න තැනක්වත්, අරගෙන යන්න දෙයක්වත් නෑ. කරදරයක් වුනාම අපි මේ මිනිස්සුන්ට අත හරිනවා කියන්නේ දුක් විඳින ක්‍රිස්තු දේහය අත හරිනවා කියන එකයි. මේ ඔවුන්ට අපිව අවශ්‍ය වන වෙලාව. සැපේදි අපි ලඟ හිටපු අයව දුකේදි දාල යන්න මම කැමති නෑ. මම දැන් වයසට ගිහිල්ලා. මගේ ඇටකටුත් දැන් සැහැල්ලුයි. ඒවා මේ බුත්තල ප්‍රදේශයට පස් වුනාට කමක් නෑ. ඒත් අනෙක් අයගේ යහපත සඳහා මෙහෙන් යන්න තීරණය කළොත්, ඒක දේව කැමැත්තනම් මම එයාලට එකතු වෙනවා."

මෙසේ පැවසූ පියතුමා ඉන්පසු දිව්‍ය පූජාව ආරම්භ කරමින් ගීතාවලියෙහි 130 වන ගීතය ගායනා කරන්නට විය.

"සමිඳුනී දුක් සයුරේ සිට මම ඔබට මොර ගසමි. මගේ හඬට සවන් දුන මැන. මගේ කන්නලව්වට ඔබේ සවන් යොමු කළ මැන. සමිඳුනි ඔබ අපේ අයුතුකම්සටහන් කර තබ සේක් නම් විනිශ්චයෙන් බේරෙන්න පුළුවන් කවරෙකුටද? එහෙත් ඔබ කෙරෙහි ගරු බියෙන් සිටිනු පිණිස ඔබ අපට කමාව දෙන සේක."

මෙසේ ආරම්භ කර එතුමා දිව්‍ය පූජාව කරගෙන යන්නට විය. ඉන්පසු එවකට රටේ පැවති තත්වය පිළිබඳවද විස්තරයක් කළේය.

දිව්‍ය පූජාව අවසානයේ සුපුරුදු පරිදිමගේ ආත්මය ඔබ වහන්සේගේ හස්තයට බාර කරමි." යනුවෙන් පැවසූ පියතුමා දෙවියන්ට ප්‍රාණ භාර කිරීමෙන් පසු අනෙක් තිදෙනාටද ආසිරි ගැන්වීම සඳහා සිය සුරත එසවීය. ඒ සමඟම එතෙක් හුන් ඉරියව්ව මඳක් වෙනස් කරමින් අන්තිම ආශිර්වාදය දමන්නට එස වූ අතින් එම ආශිර්වාදය දමන්නට සැරසුණා පමණි.

එකවරම කන් බිහිර කරවන විශාල ශබ්දයක් සමඟ රස්නයක් සහ කුණාටුවක් පිටුපස ජනේලය දෙස සිට කන්‍යා සොයුරියන් හරහා පියතුමා වෙත එක් ක්ෂණයකින් හඹා ගියේය. ජනේලයෙන් එසේ එල්ල වී තිබුණේ සාහසිකයෙකුගේ වෙඩි පහරකි.

ඒ ශබ්දය කුමක්ද? වුණේ කුමක්දැයි කිසිවෙකුටත් සිතාගත හැකි වූයේ නැත. ඔවුන් සතර දෙනාම බිම පතිත විණි.

------ 101 ------
සිහිසුන්ව නොසිටි බෙන්ඩික්ටා සොයුරිය සහ පියතුමාගේ සිසුවියද සිතාගෙන සිටියේ ඒ ශබ්දය බෝම්බයක් පිපිරීම මතින් ඇති වූවක් යනුවෙනි. දෑස් පියාගත් ඔවුහු දෙවියන් වහන්සේ මෙනෙහි කළහ. තවත් සුළු මොහොතකින් එළැඹිය හැකි මරණයට ඔවුහු සූදානම් වූහ.  

ඒ 1987 නොවැම්බර් 10 දාය. වෙලාව රාත්‍රී 7.45 පමණ වී තිබිණි. කෙසේ හෝ යලිත් එවන් බිහිසුණු ශබ්දයක් ඇසුනේ නැත. එසේම එය බෝම්බයක් නොව වෙඩි පහරක් බව පසුව දැනගන්නට ලැබිණි. එහෙත් වෙඩි තැබූ තැනැත්තෙක් නොවීය. අනතුර සිදු වී හමාරය. යාන්තමින් දෑස් ඇර ගත් කන්‍යා සොයුරියක් නැගිටින්නට උත්සහ කළාය. අසීරුවෙන් නැගිට ගත් ඈ මයිකල් පියතුමා හුන් දෙස බැලුවේය. අයට ඉහලට ගත් හුස්ම පහත හෙළීමට පවා අමතක වූයේය. ඕ කෑ ගසන්නට වූවාය.

දිළිදු ගොවි ජනතාව තම ජීවිතය හා සමාන සැළකූ ඔවුන්ට වන අසාධාරණයන් වෙනුවෙන් හැම විටම ඉදිරිපත්ව හඬ නැගූ ඔවුන්ගේ දුක නැති කර ඔවුන්ට තමා උපන් පොළව මත දෙපයින් නැගී සිටීම සඳහා අවිහිංසාව ඔස්සේ මාර්ගයක් සොයමින් වසර 7ක් තිස්සේ බුත්තල අළුකළවිට ගමේ පදිංචිව හිඳ ඔවුන් හා සමානාත්වතාවයෙන් දිවි ගෙවූ මයිකල් පියතුමා අල්තාරය ඉදිරිපස බිම වැටී සිටියේය. නිකන් නොවේ. ප්‍රකෘති සිහිය අහිමිවද නොවේ. මයිකල් පියතුමා සදහටම මෙලොව හැර ගොස් තිබිණි.

එතුමාගෙ අසමාන වූ මිල කළ නොහැකි වූ මොළය හිසින් වෙන්වී කන්‍යා සොයුරියන් ඉදිරිපස බිම පතිතව ඇත. දිළිඳුන් දෙස සේම සියළු මිනිස් වර්ගයා කෙරෙහිම සානුකම්පිතව බැලූ දෙඇසින් එක් ඇසක් එම කාමරයේ තවත් තැනකට විසි වී තිබිණි. පියතුමාගේ සිරුර වැටී තිබුණේ හිස පැත්ත බිත්තියට හේත්තු වන පරිදිය. එම හිසෙන් ඉතිරිව තිබුණේ සුළු කොටසක් පමණි. එතුමා ජීවත්ව සිටි සමයේ අසාධාරණය හමුවේ නිරන්තරයෙන් රත්වන රුධිරය එම වෙඩි පහරින් කුඩුවී විනාශ වී ගිය හිසෙන් උතුරා යමින් තිබිණි. එවා වේගයෙන් සිමෙන්ති පොළව මත ගලාගෙන ගියේය. කාමරය පුරාම පියතුමාගේ සිරුරෙන් විසිවී ගිය මස් වැදැලි විය. අල්තාරය වෙන් කර තිබුණේ සුදු පැහැති තිර රෙද්දකිනි. එය පුරාම විශාල ලේ පැල්ලම් වැටී තිබිණි.

 ------ 102 ------
බාගෙට තිබූ හිසෙන් කැඩී ගිය කොටසක් මුහුණ ලඟින්ම එල්ලෙයි. "මුන්නැහෙට අඩු සිවුරක් විතරයි. නැත්තම් මහණකමට අවශ්‍ය අනික් හැම් අංගයක්ම තියෙනවා."

වරක් ගමේ පන්සලේ භික්ෂූන් වහන්සේ නමක් කීවේ මයිකල් පියතුමා සතු බුදු දහම සම්බන්ධ දැනුම් සම්භාරය සිහිපත් කරමිනි. ඒ දැනුම පිරී තිබූ මොළය සහිත හිසම කුඩු වන්නට සාහසිකයා ඉලක්කය අල්ලා වෙඩි තබන්නට ඇත.

බිම අඩියක් තියන්නට තැනක් පවා නොමැති තරම්ය. එපමණටම පියතුමාගේ හිසේ කැබලි සහ රුධිරය කාමරය පුරාම විසිර තිබිණි. බිම පමණක් නොවේ බිත්තිවලට වහලට පවා සිරුරින් ලේ විද තිබිණි.

කාටවත් කිසි දෙයක් වටහා ගන්නට පවා නොහැකි බවක් පළ වුණි. සිද්ධියෙන් මිල්බර්ගා කන්‍යා සොයුරියත් තුවාල ලබා තිබිණි. මඳ වෙලාවකින් එතැනට පැමිණ හුන් එක් අයෙක් පොලිසියට දිව ගියේය. හමුදා නිලධාරීන් කිහිපදෙනෙකු මිල්බර්ගා කන්‍යා සොයුරියව රෝහලට ගෙන ගියහ.

මේ මයිකල් පියතුමා පැතූ මරණයම විය. පාන්දර දෙක පමණ වන විට පියතුමගේ පණ නල රහිත සිරුර කහ පාට වෙමින් පැවතියේය. ඒ වන විට සිරුරේ අධික රුධිරය පිටවී හමාර වී තිබූ නිසා වන්නට ඇත. සිරුරේ මස් වැදලි අතරේ ලේ කැටි ගැසී එහි වතුර පමණක් ඒ වනවිට පොළවෙහි හැම තැනම ඉතිරිව තිබිණි.

දෙවියන් වහන්සේ මෙලොවට හිමි කර දුන් දිළිඳුන්ගේ ප්‍රාණපරිත්‍යාගීවරයා දෙවියන් වහන්සේ විසින්ම යළි කැඳවාගෙන ඇත.

මුළු ගමම බුත්තල ප්‍රදේශයම එකසේ හඬා වැළපෙන්නට වූහ. එතුමාව නිසි ලෙස හඳුනාගෙන සිටියේ ගමේ එතුමා සමඟ එකට බත්පත බෙදාගෙන කෑ එකට දුක සැප බෙදාගත් දිළිඳන්මය. එතුමාට ආගමික වශයෙන් හෝ වෙන කුමන ආකාරයකින් හෝ කඳවුරක් තිබුණේ නැත. තිබුණේ කිසිම කෙනෙකුට ගැති නොවූ නිදහස් චින්තනයක් පමණි.

------ 103 ------
බුදුන්වහන්සේ තුළ ද පැවතියේ මෙවැනිම වූ දර්ශනයකි. පසුකාලීනව සංඝයා වහන්සේලා විසින් නොයෙකුත් කඳවුරු ඇති කර ගත්තත් බුදුරජාණන්වහන්සේ කඳවුරු මුළුමනින්ම ප්‍රතික්ෂේප කළ අයෙකි. නිදහසේ සිතීම, නිදහසේ ජීවත්වීම පිළිබඳව බුදුන්වහන්සේ දෙසූ සේක. මයිකල් පියතුමාද බෞද්ධයෙකු නොවූවත් එම චින්තනට ගරු කළේය.

මෙවැනි චින්තනයක් පිළිබඳව වටහා ගන්නෝ සමාජයේ විරල වෙති. මිනිසුන් එක් එක් ආකාරයට ප්‍රභේද කිරීම පක්ෂ වශයෙන් වෙන් කිරීම සමාජයේ ලක්ෂණයයි. මේ දෙකටම අයත් නැති නිදහස් පුද්ගලයෙකු කෙරෙහි අනෙක් දෙපිරිසම තුළම බල පවත්නේ සැකයකි.

පියතුමා ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ යැයි ද කැරළිකරුවන්ට උදවු උපකාර කරන්නේ යැයිද හමුදාව මයිකල් පියතුමාව සැක කළහ. පැවති රජයේ ඇතැම් දේශපාලනඥයන්ගේ අකටයුතුකම් නොරිස්සු පියතුමා දිළිඳුන්ගේ පැත්ත ගනිමින් ඊට එරෙහි විය. දිළිඳුන්ට පක්ෂයක් නැත. දේශපාලනය ගැන හැඟීමක් නැත. ඔවුන් සටන් කළේ දරිද්‍රතාවය දුරු කර ගැනීම සඳහාය. මෙසේ ඔවුන්ට පිහිට වන්නට ගිය හෙයින් මයිකල් පියතුමා රජයටත් හමුදාවටත් පෙනුනේ ජනතා විමුක්ති පෙරමුණේ කැරළිකරුවන්ට සහාය දෙන ඔවුන්ට ආරක්ෂාව දෙන කෙනෙකු වශයෙනි. ඒ එක් පැත්තකි.

අනෙක් පැත්ත ඊට වඩා වෙනස්ය. නොරාඩ් සංවිධානයේ ආධාර ගෙන ගමේ දිළින්දන්ට නිවාස, වැසිකිළි සාදා දීමේදිත් ඊට විරුද්ධ වූ පිරිසක් වූහ. මයිකල් පියතුමා පැලවත්ත සීනී කම්හලේ කම්කරුවන්ට වන අසාධාරණ වෙනුවෙන් අනේක වාරයක් මොනරාගල දිසාපතිවරයා වෙත ගොස් පැමිණිලි ඉදිරිපත් කර ඔවුන්ට සහනයක් සලසා දීමට යාමේදීත් ඊට විරුද්ධ පිරිසක් සිටියහ. ප්‍රදෙශයේ කැරළිකාර තරුණයන්ගේ අදහස වූයේ පවතින ක්‍රමය මුළුමනින්ම වෙනස් කර අළුත් ක්‍රමයක් ඇති කළ යුතු බවයි. පියතුමා මෙ කරනු ලබන සේවය
"පැලැස්තර දැමීමක්" ලෙස සැළකූ තරුණ කොටස් පියතුමා පවතින රජයට ගැතිකම් කරන්නෙකු සේ සළකන්නට ඇත.

කෙසේ හෝ දෙපැත්තෙන් දෙපිරිසක් පියතුමාට එරෙහි වූහ. එහි අවසන් ප්‍රතිඵලය වූයේ කවුරුන් හෝ සාහසිකයෙකු වෙතින් සිදුවූ මයිකල් පියතුමාගේ මරණයයි.

------ 104 ------

ඝාතනයට පැය 1 1/2 කට පෙර......

. Monday, November 30, 2009
0 comments

මෙතෙක් කතාව

      ......එහෙත් මයිකල් පියතුමා එය ගණනකට ගත් බවක් නොපෙනිණි.

      "දෙවියන් වහන්සේ නොදැන කිසි දෙයක් සිද්ධ වෙන්න බෑ. ඒ හින්දා ඔයා අනවශ්‍ය දෙවල් හොයන්න කාලෙ ගත කරන්නෙ  නැතිව එ වෙලාවෙ යාච්ඥාවක් කර ගන්න එක හොඳයි නේද?"

      මයිකල් පියතුමා එය ගණනකට නොගෙන පැවසූ විට ඊට ඉහලින් යම්ක් කියන්නට කන්‍යා සොයුරියන් උත්සහ නොකළත් ඔවුන්ගේ සිත් භීතියෙන් හා සැකයෙන් ඇලලී ගොස් තිබිණි.

      එදින සැන්දෑවෙහි මයිකල් පියතුමා මහත් උවමනාවකින් ලතින් ඇමෙරිකානු රටවල් වල දිළිඳු ජනතාව සම්බන්ධ ලිපියක් කියවනු පෙනිණි. එම දිළිඳු ජනයා වෙනුවෙන් කිතුනු පූජක වරුන් සහ කන්‍යා සොයුරියන් කරන ලද කැපවීම ඔවුන්ට වෙඩි තබා මරා දමන ලද අන්දම මේ ආදී බොහෝ දේවල් එම ලිපියෙහි ඇතුළත්ව තිබිණි. එය අවසන් වී ඔහු හිස් කඩදාසි කිහිපයක් ගෙන කුමක්දෝ ලියන්නට විය.

      අද රෑට අපූරු වැඩක් සිද්ධ වෙනවා බලන්නකො පූජාව වෙලාවෙදි" තමා අසලින් ඒ මොහොතේ යන්නට ආ සුසිල් සෙවනේ හි සිසුවියක් සමඟ පියතුමා පැවසීය. වෙනදාට සුබසෙත් ගෙදර දිව්‍ය පූජාව පැවැත්වීම ආරම්භ වන්නෙ රාත්‍රී 7.00ට පමණය. එහෙත් එදින එය ඊට වඩා වේලාසනින් ආරම්භ කිරීමට පියතුමාට වුවමනා වී තිබිණි. සැන්දෑවේ 6.00 ආසන්න වන විට දිව්‍ය පූජාව සඳහා අවශ්‍ය සියළුම දේ සූදානම් කරගත් පියතුමා කන්‍යා සොයුරියන් ඇතුළු අන් අයටද ආරාධනා කළේය. එහෙත් ඒ අය පැමිණෙන්නට මඳක් පමා වූ බැවින් පියතුමා උස් හඬින් ගීතිකාවක් ගයන්නට විය.

සෑම සිරි ගලා එනා
එකම උල්පත වනා
ත්‍රි එක් සුරිඳුන්ගේ ගුණා
වනත්වා ලෝ සැම දෙනා

      කෙසේ හෝ සැන්දෑවේ 6.00 වන විට දිව්‍ය පූජාව ඇරඹිනි. "දෙවියන් වහන්සේ වෙනුවෙන් අපට ඕන තරම් කාල වේලාව තියෙනවා." එසේ කී මයිකල් පියතුමා වෙනදාට වඩා වැඩි වේලාවක් අද දින පූජාව සඳහා යොදා ගන්නට තීරණය කර ඇති බව පැවසීය.

------ 99 ------

      මේ වන විට බුත්තල ප්‍රදේශය තුළ උද්ගත වී තිබූ තත්වය මත බොහෝ දෙනෙකුගේ අදහස වූයේ ටික කලකට හෝ බුත්තල හැර දමා කොළඹට පැමිණීම සුදුසු බවයි. පියතුමා සැම විටම දිළිඳුන්ගේ පැත්ත ගැනීම නිසා මෙ වන විට එතුමා වෙත බලවතුන්ගේ දැඩි තර්ජන එල්ල වෙමින් තිබිණි. එපමණක් නොව එම ප්‍රදේශයේ සිදුවන සෑම සිදුවීමක් සම්බන්ධයෙන්ම සුබසෙත් ගෙදර පරීක්ෂාවට ලක් කිරීමද ආරක්ෂක හමුදාවන් වෙතින් නොකඩවාම සිදු විය.

      මේ සියළු හේතූන් අනුව සළකා බැලූ කල මෙහි රැඳි සිටිය යුතුද නැද්ද යන්න අළුතින් සිතා බැලීම කළයුතු විණි. මේ මොහොතේ කන්‍යා සොයුරියන් දෙදෙනා සහ සිසුවියක්ද දිව්‍ය පූජාව සඳහා පැමිණ සිටියහ. මයිකල් පියතුමා යමක් ලියූ කඩදාසි කැබලි තුනක් තිදෙනා අත තැබීය. ඔහු මින් ස්වල්ප වෙලාවකට පෙර මොනවාදෝ ලියමින් සිටියේ මේ කොළ කැබලිවල විය යුතුය.

      අප මෙහි රැදී සිටිය යුතුද? යා යුතුද? එම කඩදාසි කැබලිවල උඩින්ම එසේ සඳහන් කර තිබිණි. "යාමට හේතු හා නොයාමට හේතු" යන්න ඊලඟ පේලි දෙකක සටහන් විය. ඔවුන් තිදෙනා තම තමන්ගේ පෞද්ගලික මතය එහි සටහන් කළ යුතු විය.

      මෙහිදි තම අදහස් එහි ලිවීමට එකඟ නොවූ එක් කන්‍යා සොයුරියක් එය අනෙක් අය ඉදිරියේ පළ කිරීමට එකඟ වූවාය.

      "මේ ගමෙන් යන්න ඕනා කියන අදහසට මං කොහෙත්ම එකඟ නෑ." ඇය පවසත්ම අනෙක් කන්‍යා සොයුරිය ඊට එකඟ නැති තමන්ගේ මතය ඉදිරිපත් කරන්නට සැරසුනාය.

      "එයාට බාධා කරන්න එපා කතා කරන්න ඉඩ දෙන්න.ඊට පස්සෙ කතා කරන්න. මයිකල් පියතුමා අනෙක් කන්‍යා සොයුරියව නිශ්ශබ්ද කළේය.

      දෙවෙනුව කතා කළ කන්‍යා සොයුරිය කියා සිටියේ "ගමේ ත්තවය අපට කොහෙත්ම ඔරොත්තු දෙන්නෙ නෑ" යන්නයි.
      සිසුවිය ඔවුන් ඉදිරියේ තම අදහස් දැක්වීමට මඳක් පසු බෑවාය. එහෙත් "සාක්ෂි දැරීම යනු පැන දිවීම නොවේ. ජනතාවට අපිව ඕන නම් අප යා යුතු නැත" යන්න කොළ කැබැල්ලේ සටහන් කළ ඇය එය පියතුමා අත තැබුවාය.

      තම සිසුවිය පිළිබඳව පියතුමාට ආඩම්බර සිතිණි. ඔහු ඇගේ අදහස් අනෙක් දෙදෙනාටද ඇසෙන සේ කියවීය. එසේ තිදෙනාගේම අදහස් විමසීමෙන් පසුව පියතුමා කතා කරන්නට විය.

------ 100 ------

ඊලඟ පිටුවට

මරණයේ දූතයාගේ පැමිණීම......

. Friday, November 27, 2009
0 comments

මෙතෙක් කතාව


7 වන පරිච්ඡේදය 


ජනතාව උදෙසා දිවි පුදති

බොහෝ සවස් කාලවල ඉඩක් ලැබුණු විට මයිකල් පියතුමා තමන් විසින් සුරතලයට ඇති දැඩි කළ අවිහිංසක මුව පොව්වා සමග ගත කළේය. ඌත් සමග වත්තේ දුවන්නට, ඌ වේගයෙන් හුස්ම ඉහල පහළ හෙලන රිද්මයකට ඌ අනුව හුස්ම ඉහළ පහල හෙලන්නට පියතුමා දැක්වූයේ මහත් වූ ආසාවකි.

එම 1987 නොවැම්බර් 10 දින සැන්දෑ යාමයෙහිද මයිකල් පියතුමා මුව පොව්වා සමග වත්තේ සෙල්ලම් කරන්නට විය. පියතුමාගේ සිතට අමුතුම සැහැල්ලුවක් දැනී තිබිණි. මුව පොව්වාද පසු වූයේ සතුටිනි. අහිංසක තිරිසන් සතෙකුගේ ක්‍රියාකාරකම් දෙස බලා ඒ මතින් මහත් වූ මානසික වින්දනයක් ලබන්නට තරම් මයිකල් පියතුමාගේ සිත සංවේදි විය. දෙදෙනා වෙතින්ම මහත් සුහද මිත්‍රශීලී බවක් පළ විණි.

මේ අතර හිතවත් අසල්වැසියෙකු සුබසෙත් ගෙදරට පැමිණියේ මයිකල් පියතුමා හමුවන්නටය. එහෙත් පියතුමා පෙනෙන්නට නොසිටි අතර ඔහුට ඉන් මඳක් එහා සුසිල් සෙවනේ හුන් කන්‍යා සොයුරියන් හමු විණි.

අසල්වැසියා සැළ කළ රහස් පණිවිඩයෙන් ඔවුහු තැති ගත්හ. වහා ඔවුන් පියතුමා සොයා ගියේ මේ පුවත සැළ කරන්නටය.

පියතුමා මුව පොව්වා සමඟ ගත කරනු පෙනේ. මුව පොව්වාට කතා කරන්නට බැරිය. එහෙත් පියතුමා කියන දේවල් ඌ කීකරු දරුවෙකු මෙන් අසා හිඳියි. උගේ සියළු ඉරියව් තුළින් පළවූයේ හාම්පුතා කෙරෙහි වූ ළබැඳියාවයි.

සුදුසු වෙලාවක් බලා කන්‍යා සොයුරියෝ මයිකල් පියතුමා වෙත පැමිණියහ.

" මේ ළඟ ගෙදරක දාමරිකයො කට්ටියක් ඉන්නවා. අද ටිකක් විශේෂයෙන් පරිස්සම් වෙන්න කියලා දැන් ටිකකට කලින් මේ ළඟ ගේක එක්කෙනෙක් පණිවිඩය කියලා ගියා" එක් කන්‍යා සොයුරියක් පවසා සිටියාය.

------ 98 ------

ඊලඟ පිටුවට

බෙදාගෙන කන්න මිනිස්සු පුරුදු වෙනව නම් ප්‍රශ්න ඇතිවෙන්නෙ නෑනේ......

.
2 comments

මෙතෙක් කතාව

......"සිස්‍ටර් මගේ මාර්ගයෙනයින් වෙන්න. මට බාධා කරන්න එපා. මට ඉස්සරහට යන්න දෙන්න." අධිෂ්ඨානනපූර්වක ලෙස සෘජු හඬින් මයිකල් පියතුමා පවසද්දී කන්‍යා සොයුරිය නිහඬ වූවාය. එදින සවස හතරට පමණ පියතුමා සුසිල් සෙවනට පැමිණියේ පේස්ට්‍රි කිහිපයක්ද රැගෙනය. එය ඒ හතර දෙනාට බෙදාගෙන කන ලෙස පවසා යළි ඔවුන් එකිනෙකාගෙන් කුඩා කැබැල්ල බැගින් පියතුමා ඉල්ලා සිටියේය.

"ම්ං මේ විදියට ඉල්ලන්නෙ බඩිගිනි හැදිලවත් පේස්ට්‍රීස් කන්න අමුතු ආසාවක් දැනිලවත් නෙමේ. බෙදාගෙන කන්න මිනිස්සු පුරුදු වෙනව නම් ප්‍රශ්න ඇතිවෙන්නෙ නෑනේ. මං නැති කාලෙක හරි ඔයාලට මේවා ප්‍රයෝජනවත් වේවි. තමන් ගැන විතරක් හිතන්න එපා කොයි වෙලාවකවත්. තමන් ගැන හිතනවා වගේම අනුන් ගැනත් හිතන්න. තමන්ට නැතුව හරි අනුන්ට බෙදලා දෙන්න පුරුදු වෙන්න. ඒ වගේ දේකින් හිතට ලැබෙන සැනසීම හරි විශාලයි.

මයිකල් පියතුමා තම සිසුවියන් දෙදෙනාට සහ කන්‍යා සොයුරියන් වෙත පැවසුවේ අපමණ කරුණාව පෙරදැරි කර ගත් ගුරුවරයෙකු විලසිනි.
 

 ------ 97 ------

ඊලඟ පිටුවට

පාකිස්තානයේ පුහුණුව ලැබූ හමුදාවේ අය හරිම භයානකයි......

. Thursday, November 26, 2009
4 comments

මෙතෙක් කතාව


      "ඉක්මනට ඉගෙන ගන්න ළමයිනේ. තව වැඩි කාලයක් නෑ කොයිදේටවත්. කොයි මොහොතේ දෙවියන් වහන්සේ ටොක්කක් ඇනලා එන්න කියයිද දන්නෙ නෑ." විහිළුවක ස්වරූපයෙන් මුත් පියතුමා පළ කළේ ගැඹුරි හඬකි. සැබවින්ම මයිකල් පියතුමාගේ මුහුණෙන් පළවූයේද ගැඹුරු පෙනුමකි.

      පාඩම කරන අතරේ වුවද ඉන් ටික වෙලාවකට පෙර තමා සාකච්ඡා කරමින් සිටි පාකිස්තානයේ පුහුණුව ලද බව කී හමුදා කර්නල්වරයා පියතුමාගේ මතකයට නැගිනි.

      "ඔය පාකිස්තානයේ පුහුණු වුණු අය හරි දරුණුයි. කොහොමටවත් විශ්වාස කරන්න බෑ. දවල්ට බොහොම මිතුරු විදියට පෙනී ඉඳලා රෑට ඇවිත් මරලා දාලා යනව මිනිස්සුන්ව. ඒ විදියට මරලා දාල නිකන් ඉන්නෙත් නෑ. උදේට ආයෙත් ඒ මළගෙදරට ඇවිත් අනිත් අයත් එක්ක එකතු වෙලා මරණය ගැන දුක් වෙනවා. එතකොට මිනිස්සු ඒ අය ගැන කොහොමටවත් සැක හිතන්නෙ නෑනේ. සතුරු කඳවුරු වල ඔය අය මිතුරු වෙසින් ඉන්නවා. ඊට පස්සෙ රෑට ගිහින් ඒ සේරගෙම බෙලි කපනවා. අන්තිමේ උදේට ඒ හමුදාව රැස් කරන්න නලාව පිඹින කොටයි දන්නෙ සේරම මැරිලා. අන්න ඒ වගේ හරිම භයානක පිරිසක් ඔය."

      පියතුමා එසේ විස්තර කරද්දි තරුණියෝ භ්‍රාන්ත වී බලා උන්හ. ඔවුන්ගේ සමේ රෝම කූප පවා භීතිය නිසාම කෙලින් වී සමේ හිරි ගඩු නැංවී තිබිණි. තරුණියන් දෙදෙන අසලින් හුන් කන්‍යා සොයුරියන් දෙදෙනාද විස්මයෙන් ඇලලී බලා සිටියහ.

      "අනේ ෆාදර් අපිටනම් හරිම බයයි" ඔවුහු වෙව්ලන හඬින් පැවසූහ.

      "ම්ං අද එයාට මේ ගම ගැන හොඳට පහදලා දුන්නනේ. ආයෙත් නම් ඉතින් මට විරුද්ධව දාලා තියෙන ඔය බොරු පෙත්සම් පස්සේ එන එකක් නෑ. මම කුරුසිය අතේ තියාගෙනමයි කතා කළේ. මට කතා කරන්න කුරුසියේ හයිය හොඳටම ලැබුනා." පියතුමා පැවසුවේ තෘප්තිමත් ස්වරයකිනි.

      "ඒ කොහොම වුනත් ෆාදර් පරිස්සම් වෙන එක හොඳයි. මිනිස්සුන්ට තව දුරටත් ෆාදර්ගෙ සේවය අවශ්‍යයි. ඒ හින්දා ප්‍රවේශම් වෙන්න" කන්‍යා සොයුරියක් මයිකල් පියතුමා වෙත කරුණාවන්ත හඬින් කියා සිටියාය.


------ 96 ------


 

ජිවිතය සහ මරණය පිළිබඳ සිතුවිලි......

.
0 comments

මෙතෙක් කතාව



      ...... කන්න දෙයක් නැතුව, අඳින්න හරි හමන් වස්ත්‍රයක් නැතුව, ගිනි ගහන අව්වට පිච්චෙනවට කකුලට දාගන්න රබර් සෙරෙප්පු දෙකක් තරම්වත්, කොටින්ම ඉන්න හරි හමන් ගේ පැලක් වත් නැතුව දුක් විඳින මිනිස්සු මේ පළාතේ හුඟක් ඉන්නවා. ඇයි මේ මිනිස්සු මේ තරම් දුක් විඳින්නේ? අපේ රටේ ස්වභාවික සම්පත් බහුජාතික සමාගම්වලට බදු දීලා නැත්තම්,  උන් ඒ විදියට අපේ රටේ සාරය උරාගන්නෙ නැත්තම් ඔය විදිහට මේ ඌව වෙල්ලස්ස ප්‍රදේශයේ මිනිස්සුන්ට දුල් විඳින්න වෙන්නෙ නැහැ.

      පියතුමා කර්නල්වරයා සමඟ එම පලාතේ දුක් විඳින මිනිසුන් පිළිබඳව තවත් බොහෝ දේ කීවේය. මේ සියල්ල කියාගත් පසු මයිකල් පියතුමාගේ මුහුණෙහි තෘප්තිමත් සිනාවක් ඇඳිණි. එමෙන්ම එතුමාගේ සිතට සැහැල්ලුවක්ද ලැබී තිබූ බවක් පෙනෙන්නට විය. කතාබහ අවසානයේ කර්නල්වරයා පළ කළේ මහත් ලෙන්ගතු බවකි. සෑහෙන වෙලාවකට පසු තමා හුන් අසුනින් නැගී සිටි කර්නල්වරයා "හෙට අනිද්දා දිහාවෙ කතරගමට යන ගමන් ආයෙත් ඇවිල්ලා යන්න එන්නම්කො මට ෆාදර් එක්ක ටිකක් නිදහසේ කතා කර කර ඉන්නත් ඕනෙ" යි පැවසීය. පියතුමා වෙතින් පළවූයේ කෘතඥතාපූර්වක බවකි.

      එම නොවැම්බර් 10 වෙනිදා දහවල් 2.00 ට පමණ කන්‍යා සොයුරියන් සමීපයේ හුන් තරුණියන් දෙදෙනාට  පියතුමා එතෙක් උගන්වමින් හුන් පාඩම් පෙලේ අලුත් පාඩම කියා දීම ආරම්භ කළේය.

      ටික කලක සිට පියතුමාට ඉන් පෙර හිතට නොදැනුනු අන්දමේ අමුතු අමුතු දේවල් සිය ජිවිතය සහ මරණය සම්බන්ධයෙන් දැනී තිබුණු බව අපි මීට ඉහතද සඳහන් කළෙමු. මේ අමුතු සිතිවිලි මතින් පියතුමා වෙතින් දිස්වූයේ වෙනදා නොමැති කාර්යබහුල බවක් හා කඩිසර බවකි. තමා විසින් කළ යුතුව ඇති වැඩ කොටස් ඉක්මනින් ඉවරකර නොදැම්මොත් යළි ඊට අවස්ථාවක් නොලැබේය යන හැඟීමක් පියතුමාගේ යටි සිතෙහි හෝ පහළව තිබුණා විය හැක. එබැවින් මේ තරුණියන් දෙදෙනාට කරනු ලබන ඉගැන්වීමේ කාර්යය වුවද ඉතා ඉක්මනින් කරගෙන යාමේ තදබල අවශ්‍යතාවයක් මෑතකදී පියතුමා තුළ පැවතිණි.

------ 95 ------

ගෙදර කට්ටිය කව්පි කොළ තම්බල වතුර බීලා වේල පිරිමහ ගන්නවා......

. Wednesday, November 25, 2009
0 comments

මෙතෙක් කතාව


මයිකල් පියතුමාට සාවදානව සවන් යොමු කළත් කර්නල්වරයා නම් බුත්තල ප්‍රදේශය පිළිබඳව කිසිදු පැහැදීමකින් කතා කළේ නැත.

      "මට තොරතුරු වගයක් ලැබිලා තියෙනව ෆාදර් මේ ගමේ ජේ. වී. පී. එකට සම්බන්ධ සැක කටයුතු එක්තරා පිරිසක් ගැන.යනුවෙන් පැවසූ කර්නල්වරයා ඒ සම්බන්ධයෙන් මයිකල් පියතුමා වෙතින් කරුණු විමසන්නට පටන් ගත්තේය.

      "මං දන්නා තරමින් නම් ඔය කියන විදිහේ කට්ටියක් මෙහෙ නෑ මහත්තයෝ. අසූතුනේ අවුරුද්දට කලින් නම් ඔය කියන පක්ෂයේ අය මේ පැත්තෙ හිටියා. මේ ගමේ ඉන්න අහිංසක දුප්පත් ගොවියො. ඒ මිනිස්සු ජීවත් වෙන්න හුඟාක් දුක් විඳිනවා. අපි කරන්නේ ඒ ගොල්ලන්ට ඒ අවාසනාවන්ත තත්වයෙන් ගොඩ එන්න උදව් කරන එක. ඒත් ගමේ ඉන්න කීප දෙනෙක් ඒකට කැමති නෑ. ඒ හින්දා ඒකට නොයෙක් විදිහෙ බාධා විරුද්දකම් කරනවා. ඒ විතරක් නෙමේ. වරින්වර නොයෙක් විදිහේ පෙත්සම් යවනවා කියලත් ආරංචියි. ඔය ලඟදි වෙඩි වැදුන මනුස්සයත් කීප වාරයක්ම මටත් තර්ජනය කරලා තියෙනවා. එ විතරක් නෙමේ, මහා නරක චෝදනාවල් වගයක් පොලිසියට ඉදිරිපත් කරලා මාව එක වතාවකදි පොලිසියටත් අරගෙන ගියා"

      සියල්ල කර්නල්වරයා හොඳින් අසා සිටියේය. ඒවා අනුමත කළ බවක්ද පෙනුණි. සැබැවින්ම නිතර නිතර මේ ගමට කඩාවදින මේ හමුදා නිලධාරීන්ට සත්‍ය පහදා දෙන්නට පියතුමාට මහත් ඕනෑකමක් දින ගණනාවක සිටම පැවතිණි. ඒ මොහොතේම පියතුමා ගමේ හොඳින් දන්නා හඳුනන දිළිඳු පවුලක කුඩා දැරියක් පාරේ ගමන් කරනු පෙනිණි. ඇය ඇඳ සිටි ගවුම තැනින් තැන ඉරී කෑලි එල්ලෙමින් පැවතියේය. එය බෙහෙවින් දුර්වර්ණවද ගිසිනි.

      "මහත්තයා, අර පාරේ යන පොඩි දරුවව පේනව නේද? ඔය ළමයින්ට කන්න අඳින්න තියා හරියට ඉන්න හිටින්නවත් තැනක් නෑ. මං හොදටම දන්නව සමහර දවස් වලට ඔය ගෙදර කට්ටිය කව්පි කොළ තම්බල වතුර බීලා වේල පිරිමහ ගන්නවා. ඔය එක පවුලක් විතරයි. ඒත් ඔච්චර විතරක් නෙමේ, තවත් ඔය වගේ පවුල් විශාල ප්‍රමාණයක් මේ ප්‍රදේශයේ ඉන්නවා.

------ 94 ------


ඊලඟ පිටුවට

හමුදා නිලධාරීන් ඉල්ලා සිටියේ ඇගේ සැක කටයුතු පුතුවය......

.
0 comments

මෙතෙක් කතාව


ඔහුගේ ළය වේදනාවෙන් බරව ඇති අයුරු ඔහු යාච්ඥා කරන ආකාරයෙනුත්, වදන් පිටකරන ආකාරයෙනුත් පැහැදිලිව පෙනේ. එම මහළු කාන්තාවට නොයෙකුත් ආකාරයට තර්ජනය කරමින් හමුදා නිලධාරීන් ඉල්ලා සිටියේ ඇගේ සැක කටයුතු පුතුවය. පුතාව වහාම හමුදාවට භාර නොදුන්නොත් ඇයට පමුණුවනවාය කී වධ හිංසා පිළිබඳව ඇසූ කාගේ වුවද සිතක මොවුන් මව්වරුන්ගේ දරුවන්දැයි යනුවෙන් සැකයක් නොසිතුණොත් එය මහත් පුදුමයකි. දහ දුක් විඳ පුතුන් වදා හදා ගන්නේ මෙලෙස මානසික හා කායික වධ හිංසා වලට ලක්වීමට නම් ඒ මව් කමේ ඇති ඵලය කුමක් දැයි කවුරුන් හෝ ගැහැණියකට හැඟී ගියහොත් එහි පුදුම විය යුතු දෙයක් නැත. ඉකුත් භීෂණ සමයේ තරුණ තරුණියන් කායික වධහිංසා විඳිද්දී ඊට දස දහස් ගුණයකින් අධික වූ මානසික වධ හිංසාවක් ඔවුන්ගේ මව්වරුන් විඳින්නට ඇත.

      මෙසේ එම මහළු කාන්තාවගේ නිවසින් නික්මුණු හමුදා නිලධාරීන් ඊලඟට කෙලින්ම පැමිණියේ සුබසෙත් ගෙදරටය.

      මයිකල් පියතුමා ඔවුන් ඉදිරියට පැමිණියේය. පැමිණ සිටි පිරිස අතර නුපුරුදු කර්නල් වරයෙක්ද විය. ඡ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙකුද වන ඔහු අලුතින් ඒ පලාතට පත්වී ආ අයකු විය යුතුය.

      කර්නල් වරයා ඇතුළු පිරිස සුබසෙත් ගෙදර සේම ගෙවත්තද හොඳින් පරීක්ෂා කර බැලූහ. ඔවුන්ගේ රාජකාරිය කර ගන්නට ඉඩ සලසා දී පියතුමා පැත්තකට වී බලා සිටියේය.

      අවසානයේ කර්නල්වරයා පැමිණ සුබසෙත් ගෙදර ඉදිරිපස වූ අසුනක වාඩි වී පියතුමා හා කතාවට වැටිණි.
      "මහත්තයා ලඟකදී වෙන්න ඇති මේ පලාතට ආවෙ?" පියතුමා විමසීය.

      "ඔව් මං පාකිස්ථානයේ හිටියා කාලයක් තිස්සේ. එහිදි හමුදා පුහුණුව ලැබුවා. ෆාදර්ස්ල හුඟ දෙනෙක්වම ආශ්‍රය කරලත් තියෙනවා. මං බුද්ධාගමේ. ඒත් මට ආගම් භේදයක් නෑ. කොයි ආගමටත් ගරු කරනවා.

      "ඒක හොඳයි. ඇත්තටම එහෙම තමයි වෙන්න ඕනා." යනුවෙන් මයිකල් පියතුමා අළුකළවිට ගම ඇතුළු බුත්තල ප්‍රදේශය පිළිබදවත්, තමන් ගම්මුන් හා ඇති කළ බොදු කිතුනු හවුල පිළිබඳවත් කර්නල්වරයාට මඳක් විස්තර කළේය.

------ 93 ------

දෙවියනි ගන්න මාව ඒ වෙනුවට......

. Tuesday, November 24, 2009
0 comments

මෙතෙක් කතාව


...... නමුත් සැකකාර තරුණයා නිවසේ හිඳින බවක් නොපෙනිණි. ඒ වෙනුවට ඔහුගේ මහළු මව බලවත් වේදනාවෙන් යුතුව මහා හඬින් හඬමින් හමුදා නිලධාරීන් වේගයෙන් මහ පොළවේ අඩි හප්පමින් නගන ප්‍රශ්න වලට පිළිතුරු දෙනු පෙනිණි.

      "අනේ බුදු මහත්තයෝ ඌ මට කියලා නිමෙයි කොයිදේ උනත් කරන්නේ. බුදු සර්, මගේ මේ ඇස් දෙක පල්ල මං කියන්නේ ඇත්තයි. මගේ දරුවෝ තුන් දෙනා තුන් පොලේ. එක් පුතෙක්ගේ ගේ පුච්චලා දාලා මේ ඊයේ පෙරේදා දොහකදි. උන් කොහේ ගිහින්ද මං දන්නේ නෑ. උන් මට කියන්නෙත් නෑ. මේ නාකි මාව උන් මායිං කරන්නේ නෑ. උන්ට ඕනා දේවල් උන් කරනවා මිසක්. මං කියන්නේ ඇත්ත. මගෙන් අහන්න එපා බුදු සර් මගේ දරුවෝ ගැන. ම්ං කිසි දෙයක් දන්නේ නෑ. අයියෝ දෙයියනේ ඇයි මේ මාව මැරෙන්නේ නැත්තේ?"

      එම මහළු මව විලාප නගයි. ඇගේ විලාපය අසන කාගේ වුවද හදවත් මව්වරුන්ගේ නාමයෙන් වත් කකියන්නේ නැත්තම් සැබවෙන්ම පුදුමසහගතය. නුදුරු නිවෙස්වල වසන කාට වුවද එම විලාපය පැහැදිලි ලෙසම ඇසෙන්නට ඇති බව නිසැකය.

      සුසිල් සෙවනේ හුන් කන්‍යා සොයුරියන් දෙදෙනා සේන තරුණියන් දෙදෙනාද මයිකල් පියතුමා අනුවම මෙම විලාපය අසා සිටියහ. ඔවුන්ගේ දෙනෙත් මුල් කඳුළින් බරව තිබිණි.

      පියතුමාගේ හදවතද උසුලාගත නොහැකි තරමට කකියන්නට විය. අවසානයේ ඔහු වේදනාවෙන් කෑ ගසන  ආකාරයකින් යුතුව වේගවත් වදන් පිට කරන්නට වුණි.

      "ඇයි ඔයගොල්ලොත් තවත් ඒ අහිංසක අම්මා කෑගහන හැටි අහගෙන සද්ද නොකර ඉන්නේ? ඔය විදියට බලන් හිටියට වැඩක් නෑ. ගිහින් කියන්න දෙවියන් වහන්සේට මෙ අහිංසක මනුස්සයාගෙ දුක් ගින්දර නිවන්න කියලා."

      පියතුමා කීවේ එපමණි. තවත් මොහොතකින් එතුමා දිව්‍යසත්ප්‍රසාදය අභියස දණගසාගෙන දෑත් දෙපසට විහිදා දෙවියන් වහන්සේට යාච්ඥා කරණු පෙනිණි.

      "ඇයි ඔබ වහන්සේ අර මහලු කාන්තාවට අරතරම් කරදර දෙන්න ඉඩ දෙන්නේ? දෙවියනි ඒක නතර කරන්න. දෙවියනි ගන්න මාව ඒ වෙනුවට. ගන්න මාව" මයිකල් පියතුමාගේ වදන් ශෝකයෙන් බරය. වේගවත්ය.

------ 92 ------


ඔවුන් පැමිණ සිටියේ බලවතාට වෙඩි තැබුවේ යැයි සැක කරනු ලබන තරුණයාගේ නිවසටය......

.
0 comments

මෙතෙක් කතාව

......මෙහිදී ඔවුන් "මල්ලි" යනුවෙන් සඳහන් කළේ මයිකල් පියතුමා පිළිබඳවය.

      1987 නොවැම්බර් 10 වෙනි දිනටද පහන් විණි. කවදාවත් නොවූ තරම් ප්‍රසන්න පෙනුමක් පියතුමාගේ මුහුණේ දිස්විය. උදේ සිට මධ්‍යාහ්නය දක්වාම මයිකල් පියතුමා එදිනට නියමිතව තිබූ කාර්යයන් කිහිපයක්ම නිම කළේය. පියතුමාගේ මුහුණේ වෙහෙසක් නොපෙනිණි. ඔහුට වෙහෙස වෙනුවට දැනී තිබුණේ තෘප්තිමත් හැඟීමකි.

      දහවල් 12.00 ඉකුත්ව වැඩි වෙලාවක් ගතව නොතිබිණි. මේ දිනවල අළුකළවිට ගමට දිනපතාම වාගේ ආරක්ෂක හමුදාවන්ගේ පැමිණීම සිදුවිය. මින් දින කිහිපයකට ඉහත සිදුවූ එක්තරා බලවතෙකුට තබන ලද වෙඩි තැබීමකට අදාලව ආරක්ෂක හමුදාවන්ගේ පරීක්ෂණ කටයුතු මෙසේ සිදුවෙමින් පැවතියේය. වෙඩි වැදීමට ලක්වූ එම පුද්ගලයා මයිකල් පියතුමාට විරුද්ධකම් කළ අයෙකි. ඔහුට වෙඩි වැදුණු මොහොතේ ඒ කාලයේ රටේ තිබූ වාතාවරණයට අනුව කිසිවෙකු හෝ ළං වූයේවත් නැත. වෙඩි තැබීම සම්බන්ධයෙන් සැක කර තිබුණේ ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන්වය. ප්‍රදේශයේ අහිංසක මිනිසුන් වෙඩි වැදුණු පුද්ගලයා රෝහලට ගෙන යාමට හෝ ඉදිරිපත් නොවූයේ  එකල තිබූ භීෂණකාරී වාතාවරණයට අනුව ජනතා විමුක්ති පෙරමුණ කෙරෙහි දැක්වූ අසීමිත බිය නිසාමය. කෙසේ හෝ මේ කිසිවක් නොතැකූ මයිකල් පියතුමා ඔහුගේ නිවසට දිවගියේ ඔහු වෙනුවෙන් කළ හැකි දෙයක් කිරීම පිණිසය. ඔහු රෝහලට ගෙන යන ලදී. මයිකල් පියතුමා ඒ මොහොතේම තම නිවහනට පැමිණ කුරුසිය අභියස දණගසා ගෙන මෙම පුද්ගලයාගේ සුවපත්වීම උදෙසා යාච්ඥා කළේය. කෙසේ වුවද එම පුද්ගලයා මිය ගියේ නැත. පසුව ඔහු සුවපත් වී ඇත. එහෙත් ඒ දවස් ගණනකට පසුවය. ඒ අතරතුර කාලයේදී බොහෝ දෑ සිදුවිණි.

      මයිකල් පියතුමාගේ නිවස වරින්වර හමුදා පරීක්ෂණවලට ලක්වූයේ මේ කාලයේ තුළදීමය.

      පෙර සඳහන් කළ දවස, එනම් නොවැම්බර් 10 දා මධ්‍යාහ්නය ඉක්ම වැඩි වෙලාවක් යන්නට මත්තෙන් සුබසෙත් ගෙදරට නුදුරින් පිහිටි එක්තරා නිවසකට හමුදා නිලධාරින් 25 - 30 ත් අතර ප්‍රමාණයක් පැමිණ හිදිනු දක්නා ලදී. ඔවුන් පැමිණ සිටියේ පෙර කී බලවතාට වෙඩි තැබුවේ යැයි සැක කරනු ලබන තරුණයාගේ නිවසටය.

------ 91 ------

බොහෝ දෙනෙකු මරණය අත්වින්ඳේ වැරදි කළ නිසාම නොවේ......

. Monday, November 23, 2009
0 comments

මෙතෙක් කතාව



එබඳු මරණයක් කිසියම් පූජකවරයෙකුට හිමිවේ නම් එය ඉතාමත් භාග්‍යයක් බවට ඔවුහූ සළකති. මයිකල් පියතුමාද කිනම් දිනයක හෝ තමන්ට මෙවන් මරණයක් අත්වේ නම් එය තම වාසනාවක් ලෙස සිතීය.

      මරණය පිළිබඳව මයිකල් පියතුමාගේ සිතට වැඩි වැඩියෙන් දැනෙන්නට හේතු බොහෝ විය. එකක්, මෙකල පැවති භීෂණ වාතාවරණයයි. ඒ මතින් බොහෝ දෙනෙකු මරණය අත්වින්ඳේ වැරදි කළ නිසාම නොවේ. එක්කෝ ඔවුන් වැරදි කළ වුන් බවට ආරක්ෂක හමුදාවන් හෝ වගකිව යුත්තන් සැක කළ නිසාය. නැතහොත් තවත් කාගේ හෝ තරහක් පිරිමසා ගැනීම උදෙසාය. මේ නිසා "මිනීමැරීම" යනු එදිනෙදා ඇසිය හැකි අතිශය සාමාන්‍ය සිදුවීමක් බවට එකල පත්ව තිබිණි. පියතුමාද මෙසේ ආරක්ෂක හමුදාවේ සහ මෙරට ඉහල පෙලේ තවත් කිහිප දෙනෙකුගේ හෝ සැකයට භාජනයව තිබූ බව එතුමාම පැහැදිලිවම දැන සිටියේය. නොකඩවා සුබසෙත් ගෙදර සිදුවූ හමුදා වැටලීම් වල අරුත එය නොවේද?

      එපමණක් නොවේ. පියතුමාට වරින් වර ලැබෙන තර්ජනවලින්ද අඩුවක් නොතිබිණි. මෙසේ තර්ජන කළවුන් අතර එවකට එ. ජා. ප. රජයේ ඇමති වරයෙක්ද විය.

      පැලවත්ත සීනි කම්හලේ සේවකයන් හිටිහැටියේ රැකියාවෙන් නෙරපීම, උක් ගොවීන්ගේ ප්‍රශ්න සේම නීති විරෝධි ලෙස එම ප්‍රදේශයේ කැලෑ වල ගස් කැපීම වැනි දේවල් සම්බන්ධයෙන්ද එකල ජනාධිපතිව සිටි ජේ. ආර්. ජයවර්ධන මහතාට මයිකල් පියතුමා විසින් පෙත්සම් පවා යවා තිබිණි. පෙරකී ඇමතිවරයා වෙතින් වරින් වර නොයෙකුත් ආකාරයේ තර්ජන ලැබීමට මෙයද හේතුවක් විය.

      වරක් සුසිල් සෙවනේ පදිංචිව හුන් මිල්බර්ගා සහ බෙනඩික්ටා යන කන්‍යා සොයුරියන් මයිකල් පියතුමාගේ එකම සොහොයුරා වූ සෑම් රුද්‍රිගු මහතා හමු වූ විටෙකත් පියතුමාට වරින් වර ලැබෙන මරණ තර්ජන පිළිබඳව පවසා තිබිණි.

      "මල්ලිට නම් හොඳ මදි වගේ මේ කාලෙ." ඔවුන් කතාව පටන් ගත්තේ ඒ අයුරිනි.

------ 90 ------

ධනවතෙකුට ස්වර්ග රාජ්‍යට ඇතුළුවීම ඔටුවෙකුට ඉඳිකටු තුඩකින් රිංගනවාටත් වඩා අසීරු කාර්යයකි......

.
1 comments





6 වන පරිච්ඡේදය

භීෂණ සමයේ ජීවිතාවදානමක්.

සුබසෙත් ගෙදර මයිකල් පියතුමා විසූ පුංචි කාමරය පුරා තැන තැන විසිරී තිබූ කඩදාසි කැබලිය. ඒ කොල කැබළි වල පියතුමා බොහෝ දෑ ලියා තිබිණි. අතට අසුවුණු කුමක් හෝ හිස් කඩදාසියක කුමක් හෝ දෙයක් ලිවීම පියතුමාගේ සිරිතය. එපමණක් නොව චිත්‍ර අඳින්නට මහත් දක්ෂතාවයක් දැක්වූ පියතුමා පෝස්ටර් විශාල ප්‍රමාණයක්ද ඇඳ තිබිණි. ඒ සෑම දෙයකම සඳහන් කර තිබුණේ දිළිඳන්ගේ ජීවිත අරගලය සහ ඔවුන් ඒ සඳහා විඳින වධ වේදනා පිළිබඳවය. එහි වූ එක් පෝස්ටරයක එක් බයිබල් පාඨයක් මෙසේ සඳහන්ව තිබිණි.

           "ධනවතෙකුට ස්වර්ග රාජ්‍යට ඇතුළුවීම ඔටුවෙකුට ඉඳිකටු තුඩකින් රිංගනවාටත් වඩා අසීරු කාර්යයකි." එසේ සඳහන් කළ පෝස්ටරයෙහි පුළුන්වලින් ඔටුවෙකු සාදා ඒ අසලින් දිග ඉඳිකටුවක් එල්ලා තබන්නට පියතුමා අමතක කළේ නැත. සදාතනික සැනසීම හිමිවන්නේ අසරණ පීඩිතයන්ට බව කීවද, දැහැමි ජීවිත ගත කරන ධනවතුන් පිළිබඳ පියතුමා කිසිවිටෙකත් අහිතකින් කතා කළේ නැත.

      කාමරය පුරා විසිරී තිබු ලොකු කුඩා කඩදාසි කැබලි එහා මෙහා වේය යන බියෙන් කිසිවෙකුටත් මේ කුඩා කාමරය අතු ගාන්නට අස්පස් කරන්නට පවා පියතුමා ඉඩ දුන්නේ නැත.

      මරණය සම්බන්ධ බොහෝ දේවල් පවා ලියා තිබුණේත් මේ ලිපි අතරමය. යාච්ඥාවේදී යොදා ගනු ලබන පූපය ජේසුස්වහන්සේගේ ශරීරය ලෙසත්, වයින් ජේසුස්වහන්සේගේ රුධිරය ලෙසත් යාච්ඥාවේ බලයෙන් පත්වෙන බව කිතුනු විශ්වාසයයි. එබැවින් කිසියම් පූජක වරයෙකු දිව්‍ය පූජාවෙහි නිරත වන අවස්ථාවේදි ඝාතනයට ලක්වී එම ඝාතනය නිසා එම පූජකවරයාගේ සිරුරින් නිකුත්වෙන රුධිරය වයින් හා මුසුවුව හොත් එය ජේසුන්වහන්සේගේ රුධිරය හා පූජකවරයාගේ රුධිරය හා මුසුවීමක් බව ලොව පුරා කිතුනුවෝ තරයේම විශ්වාස කරති.

------ 89 ------



ඊලඟ පිටුවට

මිනිස්සු දහස් ගණනක් ආහාරයක් නැතිව දුක් විඳිද්දි ඇයි අපට බැරි සතියකට එක දවසක් යහපත් පරමාර්ථයක් වෙනුවෙන් නිරාහාරව ඉන්න......

. Sunday, November 22, 2009
0 comments

මෙතෙක් කතාව


දින කිහිපයක්ම සඳුදා දිනවලට නිරාහාර ශීලය රක්ෂා කිරීම මයිකල් පියතුමා කරගෙන ගියේය. 9 වන සඳුදා  එලෙස එතුමා සුපුරුදු පරිදි නිරාහාර ශීලයෙහි යෙදුනි. එහෙත් මේ වන විටත් මයිකල් පියතුමා වෙතින්  පළවූයේ මහත් වෙහෙසකාරී බවකි. විශේෂයෙන්  දිනපතා අසන දකින ඛේදජනක සිදුවීම් වලින් පියතුමා මහත් කම්පාවට පත්ව සිටියේය. භීෂණකාරී වාතාවරණය නිසා තරුණ දරුවන් අහිමි මව්වරුන් නගන අඳෝනාවලින් පියතුමා විඳි වේදනාව වචන වලට නැංවිය නොහැකි තරම් විණි. මේ සියලු සිදුවීම් මතින් කම්පාවට මෙන්ම වෙහෙසට පත්ව සිටි පියතුමා ගැඹුරු නිරාහාර ශීලය රක්ෂා කිරීම පිළිබඳව කන්‍යා සොයුරියන් මෙන්ම  තරුණියන්ද වැඩි කැමැත්තක් පළ කළේ නැත. උදේ 5.00 සිට සවස 5.00 දක්වා නිරාහාරව හිඳ සවසට කෙටි අහරක් ගැනීම පියතුමාගේ සෞඛ්‍යට එතරම් හොඳ මදි බව ඔවුන් තීරණය කරන්නට ඇත. දිවා කාලයේ නිරාහාරව ශීලය රක්ෂා කරන පියතුමා රාත්‍රී 12.00 ට "ශුද්ධ වූ පැය" කිරීමටද පටන් ගෙන තිබිණි.

"මිනිස්සු දහස් ගණනක් ආහාරයක් නැතිව දුක් විඳිද්දි ඇයි අපට බැරි සතියකට එක දවසක් යහපත් පරමාර්ථයක් වෙනුවෙන් නිරාහාරව ඉන්න?" පියතුමාගේ පිළිතුර වී තිබුණෙ එයයි.

"එන්න එන්නම තත්වය දරුණු වෙනවා ෆාදර්. හෙට අනිද්දා වෙනකොට තව හුඟ දෙනෙක්ව මරාදායි. ඒ නිසා ටික කලකට හරි මෙහේ අත්ඇරලා යමු."

කන්‍යා සොයුරියන් මෙන්ම තරුණියන්ද පියතුමාට වරක් නොව කිහිප වරක්ම කියා තිබිණි.  මේ අය පමණක් නොව හිතවත් පූජකවරුන් පවා පියතුමාට එසේ අවවාද කර තිබිණි.

"මිනිස්සුන්ට කරදර වෙලාවට දාලා යන්න මට බෑ. අවශ්‍ය නම් මගේ අවසන් ලේ බිංදුව දක්වාම මේ අහිංසකයන් වෙනුවෙන් පූජා කරන්න මම සූදානම්."

දුප්පත් පොහොසත් හෝ ආගම් භේදයකින් තොරව මිනිසුන්ට සේවය කිරීම දෙවියන්ගේ කැමැත්ත බව අවබෝධ කරගෙන ධෛර්යයෙන් යුතුව නැගී සිටියත්, මයිකල් පියතුමාද සාමාන්‍ය මනුෂ්‍යයෙකු බැවින් ඔහුගේ සිතේ කම්පනය, භීතිය, සංත්‍රාසය වැනි හැඟීම් ද රුදුරු මරණයක් පිළිබඳ සමහර විටෙක බියද ඇති නොවුණා නොවේ. එහෙත් පෙර කිසි දිනෙක නොවූ තරමේ පින්වත් නිවුනු පෙනුමක් පියතුමා වෙතින් දිස්වන්නට විය.

------ 88 ------


ඊලඟ පිටුවට

මැරුණට පස්සෙ හොඳින් එයාගේ භූමදාන කටයුතු කරනවට වඩා එයා ජීවත්ව සිටියදි කුසගින්නට පිළියම් කළා නම් ඒක තමයි ඉතාමත්ම වටින්නෙ."

. Saturday, November 21, 2009
0 comments

මෙතෙක් කතාව

 එදින රාත්‍රි දිව්‍ය පූජාවෙන් මයිකල් පියතුමා කන්‍යා සොයුරියන් සහ තරුණියන් දෙදෙනා සමග මැදියම් රෑ වනතුරුම උද්ගත්ව ඇති තත්වය පිළිබඳව කතාබහේ යෙදෙමින් පසුවිය. තවත් සෑහෙන වෙලාවකට පසු කන්‍යා සොයුරියන් සහ තරුණියන් දෙදෙනාද සුසිල් සෙවනට ගියේ නිදිමතක් දැනුණු නිසා නොව නින්ද අවශ්‍ය නිසාය.

පාන්දර යාමයේ නින්දට ගියද මයිකල් පියතුමා යළිත් අළුයම සුපුරුදු වෙලාවටම අවදි විණි. දිව්‍ය පූජාව තැබීම ආදී සියලු කටයුතු අවසන් කර පියතුමා උදේ 9.00 ට සුපුරුදු පරිදි සුසිල් සෙවනේ තරුණියන් දෙදෙනා සඳහා පවත්වනු ලබන පංතියට සූදානම් විය. එහෙත් පෙරදා මැදියමද ඉකුත්ව නින්දට වන් තරුණියන් දෙදෙන උදෙන්ම පංතියට සහභාගී වන්නට මැලිබවක් දැක්වූහ.

" කම්මැලි වෙන්න එපා ළමයිනේ ඉගෙන ගන්න තියෙන අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න. හැමදාම කාටවත් ඉගෙන ගන්න ලැබෙන්නෙ නෑ. මම දන්න හැම දේම කියාදෙන්නම්. මම මැරුණත් සිස්ටර්ල දෙන්නවයි, ඌව වෙල්ලස්ස ජනතාවයි තනි කරන්න එපා! ඔයාලා තරුණ ළමයි. අපේ කාලේ දැන් ඉවරයි. දැන් ඇවිත් තියෙන්නෙ ඔයාලගෙ කාලෙ."

පියතුමා එසේ අවධාරණයෙන් පවසද්දි පන්තියට සහභාගි නොවී සිටීමට තරුණියන්ට නොහැකි විණි.

"දැන් මේ රටේ පවතින්නේ අමුතුම විදියේ තත්වයක්. නැති කෙනෙකුට ඇඳුමක් දීම, කරදරයට පත්වූ කෙනෙක් බලන්න යාම විතරක් ප්‍රමාණවත් නෑ ඒ අය ඒ තත්වයට පත්වූ හේතුවට පිළියම් යෙදුවේ නැත්තම්. කුසගින්නේ ඉන්න කෙනෙක් මැරුණට පස්සෙ හොඳින් එයාගේ භූමදාන කටයුතු කරනවට වඩා එයා ජීවත්ව සිටියදි කුසගින්නට පිළියම් කළා නම් ඒක තමයි ඉතාමත්ම වටින්නෙ."

මෙවැනි බොහෝ දෙවල් මයිකල් පියතුමා පවසා තිබිණි. එදා එනම් 9 දා දවල් කාලයේ සිට රාත්‍රිය දක්වාම පියතුමා ඌව, වෙල්ලස්ස ගොවි ජනතාව සම්බන්ධව තිස්ස බාලසූරිය පියතුමාට අවශ්‍යව තිබූ ලිපියක් සැකසීමෙහි යෙදුනි. එදින සඳුදා දිනයක් විය.


------ 87 ------


මැරෙන්න බය වෙන්න ඕනා නෑ තමයි. ඒත් මැරෙන්න හේතුවක් තියෙන්න ඕනෑ......

. Friday, November 20, 2009
0 comments

මෙතෙක් කතාව




"දැන් රටේ තත්වය නම් හුඟක් භයානකයි. ඒත් මම නෙවෙයි බුත්තල ඉන්න ඔයාලමනේ එහෙ තත්වය ගැන හරි හැටි දන්නේ. ඔයාලම තීරණය කරන්න, කැමති නම් මොකක්ද කරන්න ඕනෙ කියන එක අපි සාකච්ඡා කරමු. මැරෙන්න බය වෙන්න ඕනා නෑ තමයි. ඒත් මැරෙන්න හේතුවක් තියෙන්න ඕනෑ. සමාජ සාධාරණත්වය වෙනුවෙන් මැරෙන්න තියෙනවනම් ඒක ලොකු වාසනාවක්. බුත්තල ඉන්නම කියලවත්, කොළඹ එන්නම කියලවත් මම කියන්නෙ නෑ."

 වරක් තමා හමුවීමට කොළඹට පැමිණ බුත්තල තත්වය පිළිබඳව සාකච්ඡාවේ යෙදී සිටි කන්‍යා සොයුරියන් සහ අනෙක් තරුණියන් දෙදෙනාද සමග තිස්ස බාලසූරිය පියතුමා කල්පනාකාරීව පැවසීය. මෙම කොළඹ ගමනට මයිකල් පියතුමා එක් නොවූ අතර ඇතැම්විට ඔහු එය නොදැන හිඳින්නටද ඇත.

 ඒ 1987 නොවැම්බර් මස මුල් සතියේ දිනෙකි. ඒ වන විට දිනපතාම වාගේ මයිකල් පියතුමා විසූ සුබසෙත් ගෙදර ආරක්ෂක හමුදා විසින් පරීක්ෂාවට ලක් කරනු ලැබිණි.

 සුබසෙත් ගෙදර මේ වන විටත් රාත්‍රී අඳුර පලවා හරින්නට තිබුණේ කුඩා කුප්පි ලාම්පුවක් පමණි. සැමදාම රාත්‍රියට මයිකල් පියතුමාගේ තනියට ගමේ පිරිමි ළමයෙකු පැමිණීම සිරිතකි. ඒ නොවැම්බර් මස 8 දා සැන්දෑ යාමයයි. සුපුරුදු පරිදි අඳුර වැටෙන්න ඔන්න මෙන්න කියා තිබියදී පෙර කී පිරිමි ළමයා සුබසෙත් ගෙදරට ගොඩ වුණි. ඔහු කුප්පි ලාම්පුව දල්වා අඳුරේම සුබසෙත් ගෙදරින් පිටතට පිවිසුනා පමණි. ඒ මොහොතේ ආරක්ෂක නිලධාරීන් සුබසෙත් ගෙදර වටලා තිබිණි.

 කුප්පි ලාම්පුව දල්වා අඳුරේම නොපෙනී යන පිරිමි ළමයාව එක් ආරක්ෂක භටයෙකු අහම්බයෙන් වගේ දකින්නට ඇත.

 "අන්න කවුද ගේ ඇතුලෙ ඉඳලා පැන්නා." යි කියමින් හමුදා නිලධාරීන් කිහිප දෙනෙකුම ඔහු පසුපස ගොස් ඔහු අල්ලා ගත්තේය.

 " මේ ෆාදර් අපි හොඳ හිතින් කියන්නේ අපිට කරදරයක් නම් වෙන්න එපා." කොයිතරම් කරුණු පැහැදිලි කර දුන්නද පලක් වූයේ නැත. අවසානයේ ඔහු ජිප් රථයට නංවා ගත් හමුදා නිලධාරීහු ගියහ.

------ 86 ------

ඊලඟ පිටුවට

කුරුසිය කියන්නේ බිත්තියේ එල්ලන එකක්වත්, ගෙල පළඳවන එකක්වත් නෙමේ......

.
0 comments

මෙතෙක් කතාව

...එහෙයින් ඔවුහු මයිකල් පියතුමාට කෙතරම් ආදරය කළත් ලෙන්ගතු වූවත් සුබසෙත් ගෙදරට යාම් ඊම් බෙහෙවින්ම අඩු කළහ.

මෙම අහිංසක දිළින්දන් සමීපයේ හිඳිමින්, ඔවුන් හා දුක සැප එකට බෙදා ගනිමින්, ඔවුන්ගේ ගති පැවතුම්, සිරිත් විරිත් ගරු කරමින්, ඔවුන් අතර ඔවුන්ගේ පියතුමෙකු ලෙස නොව සහෝදරයෙකු ලෙස ජීවත් වූ මයිකල් පියතුමාට මෙය කෙසේවත් දරාගත නොහැකි තත්වයක් වි තිබිණි.

සැම දෙනාගේම අදහස වූයේ මයිකල් පියතුමා ටික කලකට හෝ මේ ප්‍රදේශය අතහැර කොළඹ යාම සුදුසු බවයිග
මයිකල් පියතුමා තිස්ස බාලසූරිය පියතුමා හමුවීම පිණිස කොළඹ පැමිණියේය.

තිස්ස බාලසූරිය පියතුමා හමුවූ මයික පියතුමා ඒ වන විට උද්ගතව පැවති තත්වය පිළිබඳ බොහෝ දේ කතා බහ කළේය. මේ වන විට බාලසූරිය පියතුමාටද මයිකල් පියතුමාට උද්ගතව පැවති මරණ තර්ජන පිළිබඳව දැනගන්නට ලැබී තිබිණි.

මයිකල් පියතුමා මරණයට බිය නැත. වැඩිකල් නොගොස්ම තමා මරණය කරා එළැඹිය හැකි බව පියතුමාගේ සිත කීවේය. තමාගේ දින සටහන් පොත්වල පවා මයිකල් පියතුමා මෑත කාලයෙහි, මරණය පිළිබඳ බොහෝ දේවල් වරින්වර ලියා තිබිණි. මරණයේ සෙවනැල්ල තමන් වෙතට වරින් වරම පතිත වනු එතුමා හොඳින්ම අවබෝධ කර ගත්තේය.

ඒ කාලය තුළ මයිකල් පියතුමා තමන්ගේ ලොකු අක්කාට (දැන් ඇය ජීවතුන් අතර නොමැත) ලිපියක් ලිවේය. පුදුමයකට මෙන් එහි ද වැඩිපුර සඳහන් කර තිබුණේ මරණය පිළිබඳවමය.

"1947 අවුරුද්දෙ මං පූජකවරයෙක් වශයෙන් බැඳෙන්න තීරණය කළ දිනවලමයි ජේසුස්වහන්සේ බඳුම දිළිඳුන් අතරේ මිය යන්න තීරණය කළේ. කුරුසිය කියන්නේ බිත්තියේ එල්ලන එකක්වත්, ගෙල පළඳවන එකක්වත් නෙමේ. රෝම අධිරාජ්‍යයන්ගේ දේශපාලන සිරකරුවන්ට දෙන බැරෑරුම්ම දඬුවම් අතරින් පළවෙනිම දඬුවම තමයි කුරුසියට තබා ඇණ ගැසීම. ජේසුස් වහන්සේ මිය ගියේ වයස 33 දී. එසේ මිය ගියේත් පීඩිත ජනතාවගේ විමුක්තිය වෙනුවෙන්. අවස්ථාව එළඹිවිට ජනතාව වෙනුවෙන් මිය යාමට අප සූදානම් විය යුතුයි."

මයිකල් පියතුමා තම වැඩිමල් සොයුරිය වෙත යවන ලද ලිපියෙහි එසේ සටහන් කර තිබිණි.

------ 85 ------

කවුද අකමැති වෙලාවට නාල කාල කරදරයක් නැතිව නිදහසේ ඉන්න.?

. Thursday, November 19, 2009
0 comments

මෙතෙක් කතාව


ළමයින් ලවා හැම වෙසක් පෝයකටම භක්ති ගී සංදර්ශන පවත්වනවා. නත්තලට ළමයිනට තෑගි බෙදා දෙනවා. මේ ගමේ දිළිඳු මිනිස්සුන්ගේ ප්‍රශ්න ගැන ඒ මිනිස්සුන්ටම වැටහීමක් නෑ. අපි ඒවා ගැන වැටහීමක් ඇති කරනවා වගේම මේවට වගකිව යුතු අයටත් ඒ වැටහීම ලබා දෙන්න උත්සහ කරනවා. අපි හැමෝම මනුෂ්‍යයො. අවිහිංසාවාදීවයි අපි මේ මිනිස්සුන්ගේ ප්‍රශ්න ගැන වගකිව යුත්තන්ට කියන්නෙ. මනුෂ්‍යයො වශයෙන් අපි හැමෝටම මානුෂීය අවශ්‍යතා තියෙනවා. අනික් එක මේවයෙ ඉන්න තරුණ දරුවන්ට මොන තරම් ගැටළු තියෙනවද? කවුද අකමැති වෙලාවට නාල කාල කරදරයක් නැතිව නිදහසේ ඉන්න.? සර්ලම කල්පනා කරලා බලන්න. සර්ලා වුණත් කැමතියි නේද එ විදියට ඉන්න. ඇයි ඒකට අවස්ථාව නැත්තේ?"

පියතුමාගේ පැනයට හමුදා නිලධාරින්ට දිය හැකි පිළිතුරක් නොවිණි. ඔවුහු කිසිවක් නොකියා පියතුමා වෙත සවන් යොමු කරගෙන සිටියහ.

"පහුගිය කාලේ මම බර්ත්ලි විශ්ව විද්‍යාලෙ සම්මන්ත්‍රණයකට සහභාගි වෙන්න ගියා. ඒ කාලෙ මෙහෙ රාවයක් පැතිරිලා තියෙනවා මම බයේ හැංගිලා කියලා. හමුදාවෙ අය ඇවිත් මේ ගේ පරීක්ෂා කරලා තියෙනවා. මං ආපහු ආවට පස්සෙ මෙහාට මෙහාට පොලිස් ආරක්ෂාව දෙන්න කියලා පොලිසියෙ ඩී. අයි. ජී. මහත්තයා ලියුමකුත් දුන්නා." එසේ කී පියතුමා ගෙතුළට ගොස් ලිපි ගොනු කවරයක් රැගෙන යලි හමුදා නිලධාරීන් වෙතට පැමිණියේය. එම ලිපිය ලිපි කවරයෙන් පිටතට ගත් පියතුමා එය ඔවුන්ගෙන් එක් අයෙකු අත තැබීය.

ඒ මොහොතේ මයිකල් පියතුමා විසින් දිගින් දිගටම පවසා සිටිනු ලැබූ අදහස් හමුදා නිලධාරීන් නිහඬව අනුමත කළ බවක් පෙනිණි. ඔවුහු තවත් නොබෝ වේලාවකින් ආපසු ගියහ.

එහෙත් සියලු කරදර එතැනින් නිම වූයේ නැත. සිදුවූයේ දවසින් දවසම තත්වය නරක අතට හැරීම පමණි.

සුබසෙත් ගෙදර මෙසේ හමුදා වැටලීම් වලට ලක්වන කල ප්‍රදේශයේ අහිංසක මිනිස්සු එහි ඒමට බිය වූහ. මෙකල රටේ පැවති වාතාවරණය මත මිනිස්සු හමුදාවට දැක්වූයේ අසීමිත බියකි. බොහෝ විට හමුදා වේශයෙන් ජනතා විමුක්ති පෙරමුණේ තරුණයෝද පැමිණෙති. කෙසේ නමුත් මේ අනුව සිදුවූයේ හමුදා නිල ඇඳුමට පවා අහිංසක මිනිස්සු අසීමාන්තක ලෙස බිය වීමය.

------ 84 ------

ඊලඟ පිටුවට

මම බෞද්ධ කතෝලික එකමුතුවක් මේ ගමේ ඇති කරලා තියෙනව......

.
0 comments

මෙතෙක් කතාව


ඒ අනුව ඔවුහු එම ගමට සම්බන්ධ නොයෙකුත් විස්තර පියතුමා වෙතින් විමසූහ.

"අපිට පෙත්සම් ලැබිල තියෙනවා ෆාදර්ට විරුද්ධව." අවසානයේ එක් හමුදා නිලධාරියෙකු ඉවත බලාගත්වනම පැවසීය.

" මොකක්ද මට විරුද්ධව තියෙන චෝදනාව?"  එවර පියතුමා ඔවුන්ගෙන් ඇසීය.

"ෆාදර් ජේ. වී. පී. එකට උදව් කරනවලු. පහුගිය කාලේ මිනී මරලා දැනට කැලේ හැංගිලා ඉන්න මිනිස්සුන්ගේ පවුල් වල අයට මාස්පතා සල්ලිත් දෙනවලු. අපට දැනට උවමනාම කරල තියෙන කීප දෙනෙක්ම ෆාදර් කැලේ හංගලාය කියලත් තොරතුරක් ලැබිලා තියෙනවා. ෆාදර් මෙහේ ඉඳීමම ජේ. වී. පී. කාරයන්ට ලොකු බලයක්ලු. බොරු නෙවෙයි නේද මේ කථා?"

ඔවුහු තම චෝදනා එකිනෙක පියතුමා වෙත කියාගෙන කියාගෙන ගියහ. මොවුන්ට සියලු දේ පැහැදිලි කරදිය යුතු බව පියතුමාට පෙනී ගියේය.

" මං කොහොමද මහත්තයෝ තව කෙනෙකුට බලයක් වෙන්නේ? බලය කියන එක තියෙන්නෙ මං වගේ කීප දෙනෙක් අතර නෙමෙයි. බලය තියෙන්නේ මිනිස්සු අතරමයි. ඒක මේ අසරණ මිනිස්සුන්ට හොඳින් අවබෝධ කරවලා දෙන එකයි අපි වගේ අයට කරන්න තියෙන්නෙ.  ඒ කොහොම වුණත් මං මෙහාට පක්ෂ දේශපාලනය කරන්න ආවේ නෑ. මට ඒක කොළඹ ඉඳන් ජාතික මට්ටමින් කරන්න තිබුණා. අනික මම කවුරු කලත් හිංසාවට විරුද්ධ කෙනෙක්. මම බෞද්ධ කතෝලික එකමුතුවක් මේ ගමේ ඇති කරලා තියෙනව බොදු කිතුනු හවුල කියලා. නොරාඩ් ආයතනයෙන් උදව් අරගෙන මේ ගමේ මිනිස්සුන්ගෙ වහලවල් හෙවිළි කරවලා දුන්නා. වැසිකිලි හදවලා දුන්නා. සෞඛ්‍ය පහසුකම් වැඩි දියුණු කර ගන්න උදව් කළා වගේම මේ මිනිස්සුන්ට උපදෙසුත් දෙනවා ඒ ගැන නොයෙක් විදියට. මහත්වරු අහලත් ඇතිනේ පාචනය, මැලේරියාව වගේ වසංගත රෝගවලින් අවුරුද්දකට මිනිස්සු කී දෙනෙක් නම් මේ ප්‍රදේශයේ මැරෙනවද කියලා. දරුවන්ගේ අධ්‍යාපනය දියුණු කරන්න මෙහේ ළමා පුස්තකාලයක් ඇති කරලා තියෙනවා.


------ 83 ------

ඉන් එකෙකු ඇසුවේ තර්ජනාත්මකවය......

. Wednesday, November 18, 2009
0 comments

මෙතෙක් කතාව


ඒ වන විට දෙවතාවක්ම හමුදාව විසින් සුබසෙත් ගෙදර වටලා තිබිණි.

1987 නොවැම්බර් 6 දා රාත්‍රී 11 ට පමන එසේ වැටලූ දෙවන වතාව විය.

එදින මුළු රැයම මයිකල් පියතුමා පමණක් නොව සුසිල් සෙවනේ උන් කන්‍යා සොයුරියන් සහ අනිකුත් තරුණියන් පවා පසු වූයේ නිදි වර්ජිතවය. එපමණටම පරිසරය අවිනිශ්චිත විය. අර්බුදකාරී විය. කාගේවත් හිතකට මද සැනසිල්ලක් හෝ තිබුනේ නැත. හැමෝම පසුවූයේ බියෙනි, කුතුහලයෙනි.

එවන් තත්වයක් මත වුවද අළුයම දිව්‍ය පූජාව පැවැත්වූ මයිකල් පියතුමා උදේ පන්තිය පැවැත්වීමද ආරම්භ කළේය.

වෙලාව එදින උදේ 9.30 පමණ වී තිබිණි.
යලිත් වේගයෙන් පැමිණි හමුදා වාහනයක් දූවිලි සහිත ගල් බොරුළු අතුල මාවතේ "ක්‍රීස්" හඬක් නංවමින් එක්වරම නතර කරනු ලැබිණ. හමුදා නිලධාරීහු කිහිප දෙනෙකු ඉන් බැස සුබසෙත් ගෙදර ඉදිරිපිටට පැමිණ නතර වූහ.

" කෝ ෆාදර්?" ඉන් එකෙකු ඇසුවේ තර්ජනාත්මකවය. මේ වන විටත් මයිකල් පියතුමා ඔවුන් ඉදිරිපිටට ගොස් තිබිණි.
"මං තමයි ෆාදර්" පියතුමා ඔවුන්ට සන්සුන් ලෙස පිළිතුරු දුන්නේය.

"නැහැ. නැහැ. අපි අහන්නේ අර ඊයේ රෑ අපි එනකොට හිටපු වයසක ෆාදර් ගැනයි." එක් හමුදා නිලධාරියෙකු කීයේ පියතුමාගේ කතාවට බාධා කරමිනි. එහෙත් එය ඇසූ සැනින් පියතුමාගේ මුහුණට සිනාවක් නැගුණි.

පෙරදා රැයේ පියතුමා සිටියේ සරමක් හා කමිසයකින් සැරසී ගෙනය. එහෙත් උදේ දිව්‍ය පූජාව සඳහා පූජක ලෝගුව ලාගත් පියතුමා මේ වන විටත් සිටියේ එම ලෝගුව පිටින්මය. මෙම හමුදා නිලධාරීන්ට ඊයේ රෑ සිටි පියතුමාත්, දැන් මේ මොහොතේ තමන් ඉදිරිපිට සිටගෙන හිඳින පියතුමාත් එක් අයකු ලෙස නොව දෙදෙනෙකු ලෙස පෙනී ඇත්තේ එබැවින් විය යුතුය.

"ඊයේ රෑ හිටියෙත් මමම තමයි මහත්තයෝ. මම ඇර වෙන ෆාදර් කෙනෙක් මේ ගෙදර නෑ."
එවර ඔවුහු මයිකල් පියතුමාගේ හිස සිට පාදාන්තය දක්වා පිරික්සුම් බැල්මක් හෙලූහ. මුලින් පියතුමාගේ කීම පිළිගන්නට අදිමදි කළත් පසුව ඔවුන් පියතුමාව විශ්වාස කරන්නට ඇත.

------ 82 ------


ඊලඟ පිටුවට

පොලිසිය මෙන්ම හමුදාවද දැරූ ආකල්පය එතරම් යහපත් නොවීය......

.
0 comments

මෙතෙක් කතාව


 "හරිම කණගාටුයි ෆාදර්ට මේ විදියට කරදර කරන්න සිද්ධ වුණු එකට. ඔය අනවශ්‍ය පුද්ගලයන්ට මෙහේ ගැවසෙන්න දෙන්න එපා." එම හමුදා නිලධාරියා යළිදු පැවසීය.

"මම නම් දන්නේ නෑ මහත්තයා ඔය අනවශ්‍යයි කියන අය කවුද කියලා නම්. ඒත් මේ ගමේ ඉන්න දුප්පත් අහිංසක මිනිස්සු නම් නිතරම මෙහාට එනවා. මේ ගේ ඒ අයට විවෘතයි." මයිකල් පියතුමා හමුදා නිලධාරියාගේ මුහුණ දෙස සෘජුව බලා පිළිතුරු දුන්නේය. ඔහුගේ මුහුණින් පළවූයේ නොරුස්නා පෙනුමකි. අනිකුත් කිහිප දෙනාද සමග ආපසු ඔහු තමන් පැමිණි ජීප් රිය වෙත නැග ගත්තේය.

එහෙත් හමුදාවේ පැමිණිම් එතැනින් නිමවූයේ නැත. එදින මුලු රැයේම පියතුමා පමණක් නොව කන්‍යා සොයුරියන් ඇතුළු සුසිල් සෙවනේ උන් කිහිප දෙනාද නිදි වර්ජිතව පසු වූහ.

මේ රටේ තත්වය එන්න එන්නම නරක අතට හැරෙමින් පැවතිණි. ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වූ හෝ නොවූවන් වශයෙන් සමාජයේ කිසිවෙකු වෙන්ව හඳුනා ගැනීමට හැකි ක්‍රමයක් තිබුනේ නැත. ඒ වන විට එය තහනම් දේශපාලන පක්ෂයක් වශයෙන් නම් කර තිබූ බැවින් ඊට සම්බන්ධ වූ තරුණ පිරිස තම දේශපාලන කටයුතු කරන ලද්දේ ඉතාමත් හොර රහසේය. ඔවුන් හැඳින ගැනීමට තිබූ එක් බාධකයක් වී තිබුණේ එයයි.

සුබසෙත් ගෙදරටද වසර හතක් තිස්සේම තරුණ පිරිස් නිතර නිතර පැමිණෙති. ඔවුන් මයිකල් පියතුමාට ඉතා හිතවත්ය. එසේම ඔවුහු නිරතුරුවම පියතුමාට ගරු කළහ.

පියතුමාට ඔවුන් සැම දෙනාම තමන්ගේ දරුවන් බඳු විය. එම ප්‍රදේශයේ ලොකු කුඩා සෑම කෙනෙකුටම සුබසෙත් ගෙදර තමන්ගේ නිවා තරමටම හුරු පුරුදුව තිබිණි. ඒ සඳහා ජාති ආගම් දේශපාලන වශයෙන් කිසිදු භේදයක් බලපෑවේ නැත. එහෙත් මේ සම්බන්ධතාවය පිළිබඳව පොලිසිය මෙන්ම හමුදාවද දැරූ ආකල්පය එතරම් යහපත් නොවීය. පියතුමා ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වූවත් නැතත්, වැරදි කරනු ලබන තරුණයන්ට සුබසෙත් ගෙදරින් රැකවරණය සැලසෙන බවට හැඟීමක් මෙම ආරක්ෂක හමුදාවන් තුළ තිබුණා විය හැක.

------ 81 ------

bestweb.lk හා myblog.lk සම්බන්ධව සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිල ප්‍රකාශය.

. Tuesday, November 17, 2009
0 comments

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාමාජිකයෙකු වශයෙන් එහි නිල නිවේදනය මෙහි පලකරමි.



ශ්‍රී ලංකා .LK වසම් ලේඛකාධිකාරිය (LK Domain Registry) මගින් මීට ටික
කලකට පෙර Most Favourite Sri Lankan Website නම් තරගයක් ආරම්භ කරන ලදී.
lk ඩොමේනයක් සහිත වෙබ් අඩවි මීට ඇතුළත් වීමට සුදුසුකම් ලැබූ අතර සිංහල,
ඉංග්‍රීසි හා දෙමළ යන ත්‍රෛ භාෂා මාධ්‍යයෙන් අංශ 3න් තරග 3ක් පවත්වන ලදී.
අදාල අංශයේ හොඳම වෙබ් අඩවිය තෝරන ලද්දේ පරිශීලක මනාපවලිනි. මේ කියන්නට
සැරසෙන්නේ එම තරගාවලියේ අවසන් අදියරේදී රඟ දක්වන්නට සැරසෙන විකට ජවනිකාව
පිලිබඳවය.


සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් සිය සාමාජිකයන් වෙනුවෙන් නොමිලේ
පවත්වාගෙන යන බ්ලොග් සේවය වන myblog.lk ද අප විසින් උක්ත තරඟයේ සිංහල
භාෂා මාධ්‍ය අංශයට ඉදිරිපත් කරන ලදී. මනාප දැක්වීම අවසන් කරන දිනය වන විට
එය අවසන් තරගකරුවන් 5 දෙනා අතරට පැමිණ ඇති බව දන්වන ලදී.


ඉන්පසුව තරඟ සංවිධායකවරුන් විසින් ඉදිරි වැඩ කටයුතු පිලිබඳව දැන්වීමට අප
වෙත ඊමේල් පණිවුඩයක් එවන ලදී. සසික රණසිංහ නමින් එවා ඇති එහි සඳහන්
ආකාරයට ත්‍යාග ප්‍රදානෝත්සවය නොවැම්බර් 20 වෙනි දින බත්තරමුල්ල Waters
Edge හෝටලයේදී පැවැත්වෙනු ඇත. ත්‍යාග ප්‍රදානෝත්සවයට සහභාගී වන අය රු
3500/=ක් මිල වන ටිකට්පතක් මිලදීගත යුතු බව එහි පහළින් සඳහන් වන අතර,
ටිකට්පත් ලබාගත හැකි ආකාර සවිස්තරාත්මකව සඳහන් කර ඇත.


ජයග්‍රාහකයන්ගෙන් මුදල් අයකර ත්‍යාග පිරිනමන තරගාවලියක් පිළිබඳව අපි මීට
පෙර අසා නැත්තෙමු.


BestWeb.lk තරගාවලියේ ජයග්‍රහණය වෙනුවෙන් පිරිනැමෙන ත්‍යාගය වනුයේ සහතික
පත්‍රයක් වන අතර. මේ සහතික පත්‍රය ලබාගැනීම සඳහා අදාළ අඩවිය නියෝජනය
කරමින් පැමිණෙන සියලු දෙනා එක් අයෙක් රු 3500/= බැගින් වන පරිදි ටිකට්පත්
මිලදී ගත යුතු ය! BestWeb.lk තරගාවලියේ නිල වෙබ් අඩවියේ
(http://www.bestweb.lk/) සඳහන් පරිදි ලාංකික ආයතන හා සමාගම් රැසක්
(ICTA, ඩයලොග්, සිරස මාධ්‍ය ජාලය, MTV, Sunday Times, Daily Mirror) මෙම
තරගාවලිය සඳහා අනුග්‍රහකත්වය (Sponsorships) පිරිනමයි, එනම් මූල්‍යමය
අනුග්‍රහයක් දක්වයි. එසේ තිබියදී ටිකට්පතකට රුපියල් 3500/=ක මුදලක්
ජයග්‍රාහකයන්ගෙන් (නරඹන්නන්ගෙන් නොවේ) අය කිරීම අසාධාරණ නොවේද ?


සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය වශයෙන් අපේ ස්ථාවරය නම් මෙය අපට කරන ලද
අපහාසයක් ලෙස අප විසින් සලකන බවයි. මුදල් දී සහතිකපත් ලබාගැනීමට අපට
කිසිදු අවශ්‍යතාවක් නැති අතර, මෙය මෙබඳු අන්දමේ තරගයක් බව මිට පෙර දැන
සිටියානම් මෙම තරගයට ඉදිරිපත් වීමද අප විසින් නොකරනු ඇත. (මෙය ශ්‍රී ලංකා
.LK වසම් ලේඛකාධිකාරිය මගින් සංවිධානය කිරීමත්, ICTA වැනි වගකිවයුතු
ආයතනයක් අනුග්‍රහ දැක්වීමත් නිසා අප සිතුවේ මෙය ජාතික වැදගත්කමකින් යුතු
එකක් ලෙස ය).


තරග සංවිධායකයන් අපට කර ඇති අවමානයට විරෝධය පෑමක් ලෙස සිංහල
බ්ලොග්කරුවන්ගේ සංසදය මගින් ඉදිරිපත් කරන ලද myblog.lk අඩවිය Most
Favourite Sri Lankan Website- 2009- Sinhala Category තරගයෙන් ඉල්ලා
අස්කරගනු ලැබේ.


මෙයට,
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය.



http://groups.google.com/group/sinhala-bloggers/browse_thread/thread/be0bb692d7a326fb?hl=si#

හමුදාව විසින් මිනී මරුවා සොයා ගෙය වටලයි......

.
0 comments

මෙතෙක් කතාව



"නොදන්නා කමයි පුහුදුන් ගතියයි නිසා නොයෙක් විදියේ නපුරු කම් කළා වුණත් ඒ මනුස්සයාත් මගේම සහෝදරයෙක්. අනේ දෙවියනි ඔහුව බේරා දෙන්න. ඔහුට අනතුරක් වෙන්නට ඉඩ තියන්න් එපා." එසේ කියමින් පියතුමා බොහෝ වෙලාවක් යාච්ඥා කළේය.

6 වෙනිදා රාත්‍රී 11 ට පමණ වී තිබිණි. එහෙත් පියතුමා ඒ වන විටත් නිදි වර්ජිතව තම පොත්පත්වල කාර්යයන්  කිහිපයක නිරත්ව සිටියේය. එක්වරම සුබසෙත් ගෙදර ඉදිරිපිට වාහනයක් නතර කරන හඬ ඇසිණි. ඒ හඬ ඇසුනු සැනින්ම මයිකල් පියතුමා ඉදිරිපස දොර විවර කළේය. වාහනය නතර කල සැනින්ම ඉන් බැස දුව ආවේ අවි අත දරාගත් හමුදා පිරිසකි.  ඔවුහු ක්ෂණයකින් සුබසෙත් ගෙදර වැටලූහ. ඒ සමගම වාහනයේ හඬ ඇසී සුබසෙත් ගෙදරට නුදුරින් සුසිල් සෙවනේ පදිංචිව සිටි කන්‍යා සොයුරියන් දෙදෙනා සහ තවත් තරුණියන් දෙදෙනෙක්ද දිව ඇවිත් මයිකල් පියතුමා සමීපයට පැමිණ නතර වූහ. ඔවුන්ගේ මුහුණින් බියක් කුතුහලයක් එකසේ පලව තිබිණි. එහෙත් කිසිදු වෙනසක් නැතිව ප්‍රශ්ණාර්ථයක් පමණක් මුහුණට නගා ගෙන දොරකඩ සිටගෙන හිඳින පියතුමාව දුටු පසු ඔවුන්ගේ කුතුහලය තව තවත් සීඝ්‍ර ලෙස තීව්‍රර ව්න්නට විය.

ඒ හමුදාව විසින් සුබසෙත් ගෙදර වැටලූ දෙවන වතාවය. "කවුද මේ ගෙදර ඉන්නේ? අපි මේ ගේ පරීක්ෂා කරන්න ඕනෙ. කෝ මේ ගෙදර ඉන්න ෆාදර්?" එක හමුදා නිලධාරියෙකු වේගයෙන් ප්‍රශ්න කර සිටියේය.

"මම තමයි මේ ගෙදර ඉන්න ෆාදර් මයිකල් රුද්‍රිගු. මේ ගෙදර වෙන මගේ තනියට එක ළමයෙක් ඉන්නවා. ඒ ඇරුණාම වෙන කිසි කෙනෙක් නෑ. මහත්තයලා ගිහින් පරීක්ෂාකරලා බලන්න ගේ ඇතුල" පියතුමා සාමාන්‍ය ලෙසින් පැවසීය.

" අද හවස සිද්ධ වුණු අර වෙඩි තැබීමට සම්බන්ධ පුද්ගලයා මේ ගේ ඇතුලේ ඉන්නවා කියලා අපිට ඔත්තුවක් ලැබිලා තියෙනවා. ඒකයි අපි මේ ආවේ."

එසේ පැවසූ ඒ එක් හමුදා නිලධාරියෙකුගේ විධානයකට අනුව ගේ ඇතුල හැම තැනමත්, පියතුමාගේ පොත් පත්, ලිපි ලේඛන ලියුම් කවර ආදියත් යන මේ සියලු දෙයම කිහිප දෙනෙකු විසින්ම පරීක්ෂා කරනු ලැබිණි.

------ 80 ------

ඊලඟ පිටුවට

ජනතා විමුක්ති පෙරමුණ විසින් දෙනු ලබන නිර්නාමික "චිට්" මගින්......

.
0 comments

මෙතෙක් කතාව


ජේසුස් වහන්සේවද මරා දමනු ලැබිණි. එයද සිදුවූයේ දිළින්දන් වෙනුවෙන් කැපවී සේවය කිරීමේදීය.  එවන් මරණයක් උරුම කර ගන්නට වුවද මයිකල් පියතුමා තුම කිසිදු පැකිලීමක් තිබුණේ නැත. මයිකල් පියතුමා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ජේසුස් වහන්සේගේ අනුගාමිකයෙක් විය. එසේම මේ වන විට රට පුරා පැතිරෙමින් තිබුණු භීෂණය හමුවේ මරණය පැමිණියේ බොහෝ විටම එකිනෙකා හඹාගෙනය. එවකට පැවති රජයත් ජනතා විමුක්ති පෙරමුණත් තම තමන්ට කැමති දේ කළෝය. ජනතා විමුක්ති පෙරමුණ විසින් දෙනු ලබන නිර්නාමික "චිට්" මගින් ලැබෙන අනතුරු ඇඟවීම් වලට අනුකූල නොවූ හැම දෙනම මරණය අත්වින්දහ. ජනතා විමුක්ති පෙරමුණේ මෙවන් පාලන ක්‍රමය මැඩලීම ඔස්සේ රජයත් හිතු හිතූ ආකාරයට තරුණ ජීවිත වැනසූහ. එවන් බිහිසුණු වාතාවරණයක් හමුවේ මයිකල් පියතුමා අතිශයින්ම මේ රටේ වෙසෙන අහිංසකයන් පිළිබඳව කම්පා වුණා විනා තමන්ට ලැබිය හැකි මරණය ගැන කෙස් ගහක් තරමට වත් තැකීමක් නොකළේය.

එදිනද රාත්‍රියේ මයිකල් පියතුමා සුපුරුදු පරිදි රාත්‍රී දිව්‍ය පූජාව තබන්නට විය. එය අවසන් වනවාත් සමගම කවුදෝ පිරිමි ළමයෙක් හති දාගෙන දිවැවිත් සුබසෙත් ගෙදරට ගොඩ විණි.

" සුවාමි සුවාමි" පිරිමි ළමයා හති දමන්නට විය.
"ඇයි ඇයි දරුවා?" මයිකල් පියතුමාද කළබල වී ඔහුගේ එක් උරහිසකින් අල්ලා ගත්තේය.

"අර නෙල්සන් මහත්තයට වෙඩි තියලා සුවාමි. ගෙදර අය කෑ ගහනවා. ඒත් කවුරුත් එතෙන්ට යන්නේ නෑ බයේ." මයිකල්  පියතුමා මෙම පිරිමි ළමයා පසුපසින් එදෙසට දිව ගියේය.

මේ තැනැත්තා ඒ ගමේ උන් බලවතෙකි. එසේම මයිකල් පියතුමා ගමේ දියුණුවට කරමින් සිටි කිසිදු කාර්යක් නොරිස්සුවෙකි. ගමේ පිබිදීම හෙලා දුටු සේම මයිකල් පියතුමාට ඒ සම්බන්ධයෙන් නොයෙක් ආකාරයට තර්ජනද කර තිබිණි. එහෙත් ඔහු වෙඩි වැදී වැටී සිටි අන්දම දුටු පියතුමාගේ සිත මහත් සේ කම්පා විය. ඔහු ඒ පිළිබඳව කෙතරම් තැවුනේද කිවහොත් එම තැනැත්තාගේ සුවපත් වීම උදෙසා යළි සුබසෙත් ගෙදරට පැමිණි මොහොතේම දෙවියන් යාච්ඥා කරන්නටද විය.

------ 79 ------

අතොරක් නොමැතිව මරණ තර්ජන......

. Monday, November 16, 2009
0 comments

මෙතෙක් කතාව



සුබසෙත් ගෙදරදී පියතුමා අවදී වූයේ අළුයම 4.00 ය. ඉන්පසු මඳ වේලාවක් භාවනා කරයි. අනිකුත් වැඩ පටන් ගන්නේ ඉන් අනතුරුවය.  භාවනා කරනා බොහෝ අවස්ථාවලදී මයිකල් පියතුමා දෙනෙත් යොමු කරගෙන සිටියේ තමා විසින් සෑහෙන කලක පටන් ඇති දැඩි කරමින් සිටිනු ලබන මුවා වෙතය.  මුවා යනු අවිහිංසකත්වයේ සංකේතයකි. එසේම මේ මුවා තම හාම්පුතා වූ මයිකල් පියතුමාට බෙහෙවින් ආදරය කළේය. මේ සත්වයාට මයිකල් පියතුමා විසින් හාම්පුතෙකුට වඩා තමන්ගේම මවක වෙතින් ලැබෙන සෙනහසක් හා රැකවරණයක් ලැබිණි. එය කෙතරම්ද කිවහොත් ඌ රාත්‍රියට නිදාගත්තේද පියතුමාට නුදුරින් පියතුමාව පෙනෙන පරිද්දෙනි.

1987 නොවැම්බර් 4 දා උදා විණි. මයිකල් පියතුමා බුත්තල ප්‍රදේශයේ දිළිඳු ගැමියන් වෙනුවෙන් කල සේවාවකට අදාල ලිපිගොණු කිහිපයක් රැගෙන මොණරාගල දිසාපතිතුමා හමුවන්නට ගියේය. වෙනදා මෙන්ම මද්දහන් අව්වද බෙහෙවින් පීඩාදායක වී තිබිණි. දූවිල්ලත්, අව්‍ රශ්මියත් විඳ ගන්නට අසීරු වුණත් ඒ තෙහෙට්ටු බවට උඩින් පියතුමාගේ මුහුණේ වෙනදා තිබූ පියකරු සිනහව එපරිද්දෙන්ම පැවතිණි. ගතපුරා වෑහෙන දහඩිය පිසිමින් මයිකල් පියතුමා ගෙට ගොඩවිය. වතුර වීදුරුවක් පානය කළ පසු ඒ තෙහෙට්ටු බව සෑහෙන පමණකට මග හැරිණි. ඉන්පසු පියතුමා පැය භාගයක පමණ කෙටි විවේකයක් ගත්තේය.

"මෙහෙම ඉඳලා බෑ අද පන්තිය පටන් ගන්න ඕනෙ." ඉන්පසු පියතුමා තම අසල හුන් කිහිප දෙනා වෙත කියමින් හුන් තැනින් නැගී සිටියේය. අළුකළවිට පදිංචියට පැමිණි දා පටන්ම ගමේ නූගත් පිරිස වෙනුවෙන් නොයෙකුත් විෂයනට අදාලව පැවැත්වූ පන්ති මේ වන විටත් අඛන්ඩව පවත්වාගෙන යමින් තිබිණි.

"එහෙම හිතලා කම්මැලි වෙන්න එපා. අපි හැමදාමත් ජීවත් වෙන්නේ නෑ. මැරෙන්න කලින් මම දන්න සේරම කාටහරි කියාදෙන්න ඕනෙ. ඒ හින්දා පන්තියට සූදානම් වෙන්න." යි පියතුමා උදක්ම පැවසීය.

මයිකල් පියතුමාට නිර්නාමික ලිපි මඟින් අතොරක් නොමැතිව මරණ තර්ජන එල්ල වෙමින් පැවතියේය. එහෙත් නිරතුරුවම අවංක හැඟීමෙන් බුත්තල ප්‍රදේශයේ ගැමියන් වෙනුවෙන් අනූපමේය සේවාවක් උදෙසා සිතින් ගතින් දෙකෙන්ම ඇප කැප වී ක්‍රියාකල පියතුමා ඒ කිසිත් පිළිබඳ තැකීමක් කළේ නැත.

------ 78 ------

ඊලඟ පිටුවට

අරලිය මල් යනු බෞද්ධාගමිකයින්ට විශේෂ වූ මල් වර්ගයක් ලෙස කිතුනුවන් අතර මතයක්......

.
0 comments

මෙතෙක් කතාව


මොන තරම් කාර්ය බහුව වුවත් දිනපතා දිව්‍ය පූජාව සිදු කිරීම මයිකල් පියතුමා වැරැද්දුවේම නැත. එසේම දේව මෙහෙයන් මෙරටට උචිත වන අයුරින් ලතින් භාෂාවෙන් නොව සිංහලයෙන්  කිරිම මයිකල් පියතුමාගේ සිරිත විණි. දේව මෙහෙයන් ඇතුළු ආගමික වතාවන් මෙරටට ගැලපෙන අයුරින් සකස් කිරීමද මයිකල් පියතුමා ආරම්භ කළේ මහනුවර දෙව් සත්හලේ සේවය කරමින් සිටි කාලයේ පටන්මය.

අරලිය මල් යනු බෞද්ධාගමිකයින්ට විශේෂ වූ මල් වර්ගයක් ලෙස කිතුනුවන් අතර මතයක් තිබුණි. එය ඉංග්‍රීසි භාෂාවෙන් Temple Flower යනුවෙන් හැදීන්වීම මීට එක් හේතුවක් විය හැක. කෙසේ හෝ අරලිය මල් පල්ලියේ පූජාවන් සඳහා නොගන්න සිරිතක් එම ආගමිකයින් තුළ විය. එහෙත් කිතුනු ආගම දේශීයකරණය කිරීම පිළිබඳව ප්‍රබල උත්සාහයක යෙදුනු මයිකල් පියතුමා අරලිය මල් පල්ලිය තුලට ගෙන යාමට පටන් ගත්තේය. "අරලිය මල අපේ සංකෘතියට සම්බන්ධ උතුම් පුෂ්පයක්. ඒක නිසා ඒක පන්සලට වගේම පල්ලියටත් යෝග්‍යයයි." පියතුමාගේ මතය විය.

එපමණක්ද නොවේ. ආගමික වත් පිළිවෙත් පූජකවරයින් පුරුදුව සිටියේ බටහිර සිරිතට අනුවම පාවහන්ද පැළඳ සිටින්නටය. එහෙත් මයිකල් පියතුමා එය තරයේ ප්‍රතික්ෂේප කළේය. අපේ සංස්කෘතියෙන් දැක්වෙන්නේ පූජනීය ස්ථානයක් තුලට ඇතුළු වීමේදි හිස් වැසුම් හා පාවහන් පැළදීම එක්තරා ආකාරයට අගෞරවයක් ලෙසය. ඒ බව මයිකල් පියතුමාද විශ්වාස කළේය. එහි සත්‍යයක් ඇති බව පිළිගත්තේය. ඒ නිසා දිව්‍ය පූජාවන් සඳහා සහභාගී වීමේදි මයිකල් පියතුමා කිසිවිටෙක පාවහන් පැළැන්දේ නැත. මේ සිරිත ඊය පසුව බොහෝ පූජකවරුද අනුගමනය කරන්නට වූහ. එහෙත් කිතුනු දහමෙ කෙසේ වුව කතෝලික දහමේ එන නියමයන් කඩ කරන පියතුමා දඩබ්බරයෙකු වශයෙන් ඇතැමෙකුට පෙනෙන්නට ඇත.

එසේම මේවා සුබසෙත් ගෙදර වාසයට එන්නටත් බොහෝ කාලයකට පෙර මයිකල් පියතුමා අනුගමනය කළ පිළිවෙත් විය.

------ 77 ------

"හරි ඒකත් එහෙමද?"......

. Sunday, November 15, 2009
0 comments

මෙතෙක් කතාව


නිතර නිතර සුබසෙත් ගෙදරට තරුණයින් යාම ඒම පිළිබඳව පොලිසිය සහ හමුදාව තුළ ඇති වූයේ සැකයකි. ඒ අනුව දිනෙක සන්නද්ධ හමුදාවෙන් පැමිණ සුබසෙත් ගෙදර වටලෑහ. පියතුමා වහාම හමුදා නිලධාරීන් ඉදිරියට ගියේය.

"ෆාදර් මොනවාද මෙහෙ කරන්නේ?" හමුදා නිලධාරීයා ප්‍රශ්න කළේය.

" මම ජේසු ස්වාමිදරුවන්ගේ අනුගාමිකයෙක්. මේ දුප්පතුන් එක්ක ජීවත් වෙන්න තීරණය කරලයි මම මෙහෙට ඇවිත් පදිංචි වුණේ. ඒ නිසා මම මේ දුප්පත් මිනිස්සු එක්ක සම්බන්ධකම් පවත්වනවා." මයිකල් පියතුමා නිසොල්මනේ එක දිගට කියාගෙන ගියේය.

"ඒ කොහොම වුනත් ෆාදර් ත්‍රස්තවාදීන්ව ආරක්ෂා කරන බවට අපට චෝදනා ලැබී තිබෙනවා." හමුදා නිලධාරීයා පියතුමාගේ මුහුණ දෙස සෘජුව බලා කීය.

"මේක දෙවියන්ගේ නිවස්නයක් මහත්තයෝ. දෙවියන්ගේ නිවහනකට එන කිසිම කෙනෙක් පිටමං කරන්න මට කිසිම බලයක්වත් අයිතියක්වත් නැහැ." පියතුමා කීහ."

"ෆාදර් බොරු කියන්න එපා. කරුණාකරලා අපට ඔය එක්කෙනෙකුගේ හරි නමක් දෙන්න ඕනෑ." ඔහු පැවසුවේ ආඥාවක ස්වරූපයෙනි.

" ඔය කියන පක්ෂයත් තහනම් කරලා නේද තියෙන්නේ? ඉතින් කොහොමද දන්නේ ඒකේ ඉන්නේ කවුද කියලා.?" පියතුමා සෘජුවම ඔහුගේ මුහුණ දෙස එක එල්ලේ බලා ඇසුවේය.

"එහෙනම් ගමේ කොල්ලන්ට මෙතෙන්ට එන්න දෙන්න එපා. ඔන්න තමුනුත් අමාරුවේ වැටෙයි." පියතුමාගේ වචනයෙන් මෙල්ල වූ හමුදා නිලධාරියා කීය.

"මට ඒක කරන්න බෑ. මං කලින් මුන්නැහේලට පැහැදිළි කරලම කිව්වා මේක මගේ ගෙයක් නෙමේ. මේක දෙවියන් වහන්සේගේ ස්ථානයක්. දෙවියන් වහන්සේගේ තැනට එන්න ඕනෑම කෙනෙකුට අයිතිය තියෙනවා. ඒකට පක්ෂ භේදයක්, ජාති භේදයක්, දුප්පත් පොහොසත් භේදයක් නෑ"

"හරි ඒකත් එහෙමද?"
" හමුදා පිරිස පියතුමා දෙස රෞද්‍ර බැල්මක් හෙලා යන්නට ගියහ.


------ 76 ------


ඊලඟ පිටුවට

"කෝ උඹගේ පුතා? වහාම එන්න කියපන් එලියට."......

. Saturday, November 14, 2009
0 comments

මෙතෙක් කතාව

ඔවුන්ගේ හඬට අනුව ඉතාමත් අසරණ බයාදු විලාසයක් පාමින් ගෙපැලින් ඉවතට පැමිණියේ මැදවියද ඉක්වමින් සිටි කාන්තාවකි.

"කෝ උඹගේ පුතා? වහාම එන්න කියපන් එලියට." ඔවුන් ආඥාවක ස්වරූපයෙන් විමසන්නේ එම කාන්තාවගේ තරුණ පුතු ගැන බව පැහැදිලිය.

"අනේ හාමුදුරුවනේ කොල්ලා ගෙයි නෑ. ඌ දවස් ගණනකින් ගෙදර ආවෙත් නෑ." ගැහැනිය අඳෝනාවක හඬින් පවසනු ඇසිණි. "බොරු කියන්න එපා. දන්නවානේ බොරු කිව්වොත් වෙන දේ?"

එකෙකුගේ රයිෆලයෙහි කෙළවර කාන්තාවගේ මුව අසලට විත් තද වී තිබුණේ ගිලීගිය කම්මුල තවදුරත් ගිලීයන පරිද්දෙනි.
"අනේ හාමුදුරුවනේ බොරු නෙවෙයි ඇත්ත. " දෝත් නගා වැඳ වැටෙමින් ඇය නගන අඳෝනාවත්, ඇයට හමුදා පිරිස දෙනු ලබන වද හිංසාවනුත් ඇසෙන විට එය තවදුරත් දරා සිටීමේ ශක්තියක් මයිකල් පියතුමා තුළ නොවිණි.

ඔහු සුබසෙත් ගෙදර පූජාසනය වෙත දිව ගොස් එතන ඇදවැටී මොර දෙන්නට පටන් ගත්තේය.

"අනේ දෙවියනේ! ඒ අහිංසක අම්මට වද නොදී මට වද දෙන්න කියන්න. ඇයි දෙවියනේ මෙහෙමත් මිනිස්සු පිරිහිලා තියෙන්නේ. වහාම ඒ අසරණ මෑනියන්ව ඒ දුකින් මුදවන්න දෙවියනේ"

පියතුමාගේ දෑසින් වේගයෙන් කඳුළු ගලා හැලෙන්නට විය. කිසිසේත්ම ඔහුට මේ දුක දරා හිඳිමට අපහසු වගක් දැනුණි.

තවත් ස්වල්ප වෙලාවකින් පෙරටත් වඩා වැඩි විශාල දූවිලි වලාවක් විහිදුවමින් මහ හඬක්ද නංවාගෙන ජීප් රිය පිටව යන හඬ ඇසිණි. ඒ සමගම මහළු කාන්තාව අඳෝනා නගන අයුරු, ශාප කරන අයුරු මේ සියල්ල වරින් වර අඩුවෙමින් වැඩිවෙමින් ඇගේ නිවස දෙපසින් ඇසෙන්නට විය. මයිකල් පියතුමා බොහෝ වෙලාවක් කුරුසිය ඉදිරියේ දණගසා යාච්ඥා කරන හඬද ඒ අතරින්ම නැගිණි.

------ 75 ------

අනේ පින් සිද්ද වෙයි, ෆාදර් ෆාදර්ගේ වැඩක් බලාගෙන ඉන්න......

. Friday, November 13, 2009
0 comments

මෙතෙක් කතාව


මෙහිදී සාමාන්‍ය ජනතාවට සිදුවන ලද්දේ එක පැත්තකින් රජයටත් අනික් පැත්තෙන් ජනතා විමුක්ති පෙරමුණටත් බියෙන් ජීවත්වීමටය. එසේම මේ තත්වය හමුවේ අනිකුත් දේශපාලන පක්ෂ බොරදියේ මාළුබානු පැහැදිලිව දැකගත හැකි විය.

මේ තත්වය රට පුරාම පැවති අතර වඩාත් ප්‍රබලව පැවතියේ දකුණේය. එහෙත් බුත්තල ප්‍රදේශයේද බෙහෙවින් උණුසුම් තත්වයක් පැන නැගිණ. උන්හිටි හැටියේම හමුදාවෙන් ගෙවල් වලට පැමිණ තරුණයන් පැහැර ගෙන යන්නට වූහ. වැරැද්දක් කළත් නොකළත් තමන්ගේ දරුවා හැම අම්මා කෙනෙකුටම තාත්තා කෙනෙකුටම වටියි. එබැවින් දරුවා පැහැරගෙන ගිය බව කියා පිහිටක් ඉල්ලා දිව එන්නට මේ මාපියවරුන්ට වෙන කවුරුත් සිටියේ නැත. ඔවුහු විලාප නගා කෑගසාගෙන දිව ආවේ සුබසෙත් ගෙදරටය.

" අනේ සුවාමි මගේ කොල්ලව අරන් ගියා." යි විලාප නගමින් දිව එන මොවුන් සුබසෙත් ගෙදර මිදුලේ වැටී ඉකි ගසා කෑ ගසන හඬින් මයිකල් පියතුමාගේ පපුව වේදනාවෙන් දැවී යන්නට වෙයි.

මේ අනුව මව්වරුන් සේම, බිරියන්ද මයිකල් පියතුමා සොයා ආවේ පිහිටක් අයදින්නටය. ඔවුන්ට තම එකම ගැලවුම්කරුවානන් ලෙස පෙනුනේ මයිකල් පියතුමාවය.

ජේසුස් වහන්සේ මිනිසුන්ට ආදරය කළේ හදවතින්මය. මිනිසුන්ගේ වේදනාවක් දුටුවිට උන්වහන්සේගේ ලය දැවී උණුවී යන අයුරක් හැඟුනු බව බයිබලයේ කියැවේ. බුදුරජාණන් වහන්සේගේ මෙත් කරුණාවද පරක් තෙරක් නොවූවකි.

මේ මාපියවරුන්ගේ, බිරින්දෑවරුන්ගේ විලාප හඬින් දැවුණු සිතැති මයිකල් පියතුමා හැකි සෑම අවස්ථාවකම පොලිසියට ගියේ තරුණයන් පිළිබඳව සොයා බලන්නටත්, ඔවුන් බේරා ගැනීම සඳහා කළ හැකි සෑම දෙයක්ම කිරීමේත් අරමුණින් යුතුවය.

"අනේ පින් සිද්ද වෙයි, ෆාදර් ෆාදර්ගේ වැඩක් බලාගෙන ඉන්න." පොලිස් නිලධාරීහු පියතුමාට කීහ.

මෙසේ එක් දිනක් සුබසෙත් ගෙදරට මදක් නුදුරින් වූ කුඩා නිවසක් අද්දර ජිප් රථයක් නතර කරන හඬ ඇසිණි. දූවිලි කාගෙන ආ ජිප් රිය නතර වූයේ දූවිලි වලාවක්ද විහිදෙන පරිදි වේගයෙන් තිරිංග තද කර ගෙනමය. රථයේ තිරිංග තදවන ශබ්දය දුරටද ඇසිණි. එය ඉද්ද ගැසුවාක් මෙන් වේගයෙන් පැමිණ එක්වරම නතර වූ විගසම ඉන් බැස ගන්නා ලද හමුදා සෙබළුන් කිහිප දෙනෙකු ගෙපැල වටකර ගත්හ.

------ 74 ------

ඉන්දු ලංකා සාම ගිවිසුම අත්සන් කරන ලද්දේද මේ අර්බුදකාරී වටපිටාව තුලදීය......

.
0 comments

මෙතෙක් කතාව

5 වන පරිච්ඡේදය.

 පියතුමා ගැන අභූත චෝදනා.

1987 වසර වනවිට මෙරට උතුරේ කොටි ත්‍රස්තවාදීන් සහ ශ්‍රී ලංකා හමුදාව අතර දරුණු ලෙස සටන් ඇවිලෙමින් තිබිණි. හමුදාව ප්‍රබල ලෙසම කොටි ත්‍රස්තවාදීන් හා සටන් වැදෙමින් ඉදිරියටම යමින් සිටියහ. දෙමළ තරුණයන් සේම ත්‍රිවිධ හමුදාවේද විශාල පිරිසක් මේ ජනවාර්ගික යුද්ධය වෙනුවෙන් දිවි පිදූහ.

සියයකට අධික පිරිසක් මරුමුවට පත්කරමින් කොළඹ පිටකොටුවේ මධ්‍යම බස් නැවතුම්පළ අද්දර බෝම්බයක් පුපුරා ගියේ මේ අතරවාරයේදීය. ඒ වන විටත් දකුණේ තරුණ පිරිසද බෙහෙවින් උද්වේගාකාරී තත්වයකට පත්ව සිටියහ. කොයි මොහොතක වුව ඔවුන් එවකට පැවති රජයට විරුද්ධව නැගී සිටින්නට සූදානමින් සිටින බවක් පළවුණි.

මෙරට ජනාධිපතිව හුන් ජේ, ආර්, ජයවර්ධන මහතා සහ එවකට ඉන්දීය අගමැති වූ රාජීව් ගාන්ධි මහතා අතර ඉන්දු ලංකා සාම ගිවිසුම අත්සන් කරන ලද්දේද මේ අර්බුදකාරී වටපිටාව තුලදීය.

ඒ දක්වාම මෙරට තරුණ පිරිස් තුළින් සෘජුව පළ නොවූ ජේ. ආර්. රජය සමග පැවති කෝපය සහ කළකිරීම ප්‍රබල ලෙසින්ම එළිදකින්නට පටන් ගත්තේ එතැන් සිටය. අවිගත් තරුණ පිරිස් රට පුරා කැරළි ගසන්නට වූහ.
ජනතා විමුක්ති පෙරමුණ විසින් වෙනමත්, රජය විසින් වෙනමත්, මෙරට අහිංසක ජනතාව පාලනය කරන බවක් පෙනිණ. මේ දෙපාර්ශවයම උන්හිටි හැටියේ දමන ලබන ඇඳිරි නීති වල අඩුවක් වූයේ නැත. හමුදාව විසින් තරුණ පිරිස් විශාල ලෙසින් මැරුම් කෑ සේම, ජනතා විමුක්ති පෙරමුණද අඩුවක් නැතිවම මිනිස් දඩයමේ යෙදුණහ.

රජයට පක්ෂව කටයුතු කළ අයට දඬුවම වූයේ මරණයය. දෙපැත්තේම වැරදි කළ අයට වඩා අහිංසකයන් වැඩිපුර මැරුම් කෑහ.

------ 73 ------

බුද්ධ ධර්මය කියන්නේ අපිට ලැබුණු ජන්ම දායාදයක්......

. Thursday, November 12, 2009
0 comments

මෙතෙක් කතාව


හැබැයි මම හුඟාක් වෙලාවට දකිනවා ඒ පාලි පාඨ තුනේ තේරුම පිළිබඳව අවබෝධයක්වත් නැතිව කියන්නන් වාලේ හැඟීමකින් තොරව උදේ හවා බුදු හාමුදුරුවන්ගේ පිළිරුව ඉස්සරහ මල් පහන් තියලා ඕවා කියන අය නිකන් ඔහේ කියනවා මිසක් ඒ විදියට කටයුතු කරනවා අඩුයි. අනේ මම මෙ බෞද්ධයන්ට ගරහනව හෙම නෙමේ. මාව මේ ලෝකෙට බිහි කළේත් බෞද්ධ අම්මා කෙනෙක්. මං දැකපු දේයි ඒ කිව්වේ. මිනිස්සු නිවැරදිව මේවා තේරුම් අරන් ජීවත් වෙනවා නම් මේ ලෝකේ මීට වඩා හුඟාක් සුන්දරයි."

පියතුමා අසල උන් කිහිප දෙනා පිළිරූ මෙන් නිසසලය. මේ පූජක වරයා අවබෝධ කර ගන්නට තමන්ට තවත් මනසක් ලැබුණත් මදිවිය හැක. ඔහු එපමණටම බුද්ධිමත්ය, නිහතමානීය, සමානාත්මතා හැඟීම් වලින් යුක්තය.

"බුද්ධ ධර්මය කියන්නේ අපිට ලැබුණු ජන්ම දායාදයක්. අපි ඒක ආරක්ෂා කරන්න ඕනෑ." මයිකල් පියතුමා එසේ කියද්දීත් පිරිස අතරින් හාවක් හූවක් නැගුනේ නැත.

"බුද්ධ ධර්මය ඉතාමත්ම යහපත් දෙයක්. මිනිස්සුන්ට පන්සිල් අනුව ජීවත් වෙන්න පුළුවන් නම් ඒකම ඇති මේ රට යහපත් වෙන්න."

මයිකල් පියතුමා නිතරම මෙසේ පැවසූ අතර එසේ පවසා පමණක් නිකන් හිටියේ නැත. ඔහු ක්‍රියාවෙන්ද ඒ බව මිනිස්සුන්ට ඔප්පු කළේය. තමා දන්නා හඳුනන බෞද්ධ භික්ෂුන් වහන්සේ නමක් දුටුවිට එතුමා කතා බහ කළා පමණක් නොව අවසානයෙ දෙදන නවා  දෑත් එක්කොට වැන්දේය. කුමක් හෝ කාරියක් උදෙසා භික්ෂුන් වහන්සේ නමක් හමුවන්නට ගිය විටෙක පවා උන්වහන්සේ වැඳ ආපසු එන්නට පියතුමා අතපසු කළේ නැත. ඉන් සිදුවූයේ පියතුමාගේ ශ්‍රේෂ්ඨත්වය තවත් ඉහල යෑම පමණි.

මේ කාලය වනවිට මෙරට තරුණ අසහනය හා පීඩනය කෙමෙන් කෙමෙන් වැඩෙමින් පැවතියේය. උතුර හැරුණු විට මේවා වඩාත් උග්‍ර ලෙසින් හිස ඔසවන්නට වූයේ දකුණේය. හැමදාමත් පීඩනයට ලක්වන, මෙරට පත්වූ කුමන රජයකින් හෝ නිසි පිටිවහලක් නොලද ඔවුහු කැරළි ගසන්නටත් ඒ මතින් හිස ඔසවන්නටත් පටන් ගත්තේ තරුණ අසහනය උග්‍ර ඵලයටම පත් වීම මතිනි.  

------ 72 ------

ඊලඟ පිටුවට

තමන්ගේ ආගමට ඇති වැඩි ඇල්ම නිසා අනෙක් ආගම් පහත් කොට සැලකුවුවත් එයින් අවාසි වන්නේ තමන්ගේ ආගමටය.......

.
0 comments

මෙතෙක් කතාව


ප්‍රදේශයේ මිනිසුන් සියළු දෙනාම පාහේ බෞද්ධයන් වූ බැවින් ඔවුන් හා පියතුමා බුද්ධාගමට සම්බන්ධ බොහෝ දෑ ගැන කතා කළේය. ජේසුස් වහන්සේ අනුව යමින් තම ආගමට කැපවූ දිවියක් ගත කළ පූජකවරයකු වුවද තමන්ගේ ආගම විශේෂයෙන් හුවා දැක්වීමක් මයිකල් පියතුමා තුළ නොවීය. තම ආගම උසස් කර අනෙක් ආගම් පහත් කොට සළකන අය එලෙසින් කරන්නේ තමන්ගේ ආගමට ඇති වැඩි ඇල්ම නිසා වුවත් එයින් අවාසි වන්නේ තමන්ගේ ආගමටය. එකමුතුකම තුලින් අන් ආගම් වලට ගෞරව කිරීම වඩා යහපත් ක්‍රමය බව අශෝක සෙල්ලිපියක පවා සඳහන්ව තිබෙන බව මයිකල් පියතුමා නිතර පැවසීය.

"සුවාමි අපේ බුද්ධාගම ගැන පරතෙරටම දන්නවා. පන්සලේ බණකුත් කිව්වා. දැන් සුවාමිට අඩු තෙරුවන් සරණ යන එක විතරයි. සුවාමි ඒකත් කළානම් තමයි හොඳ." පියතුමා සමඟ කතා බහේ යෙදී සිටි එක් පුද්ගලයෙකු එසේ පැවසුවේ අවඥාවෙන් නොව මෙ පූජකවරයාගේ ගැඹුරු දර්ශනය තේරුම් ගැනීමට තරම් සැබෑ ශක්තියක් තමන් තුළ නොවූ බැවිනි. එහෙත් ඉන් පියතුමා කෝප වූයේ නැත.

"ඇයි බැරි මට ඒක කරන්න පුළුවන්. හැබෑවටම මං තෙරුවන් සරණ ගිය කෙනෙක් තමයි."

පියතුමාගේ පිළිතුරෙන් පෙර කී කතාව පැවසූ පුද්ගලයා පමණක් නොව එතැන් හුන් අනෙක් කීප දෙනා පවා විශ්මයෙන් ඇලලී බලා සිටියහ.

"බුද්ධ කියන්නේ බුද්ධියේ උපරිම ඵලය කියන එක කියලා හිතමු. ඒ අනුව බුද්ධියේ උපරිම ඵලයට අනුව කටයුතු කිරීමටත් බුද්ධං සරණං ගච්ඡාමි කියන්න පුළුවන්නේ. ධම්ම කියන්නේ යහපතට. ධම්මං සරණං ගච්ඡාමි කියන්නේ යහපත් දෙ කරනවා කියන එක. සංඝ කියන්නේ සමූහයට. ධර්මය පිළිබඳ උගත් යහපත් ආචාර්යවරුන්ට අනුව කටයුතු කිරීම සංඝං සරණං ගච්ඡාමි කියනවා. ඉතින් ඔය තුන අනුව කටයුතු කිරීම මට විතරක් නෙවෙයි හැම දෙනෙකුටම අවශ්‍ය දෙයක්. ඒකට ආගම් භේදයක් නෑ. මම ඒ පාලි පාඨ තුන නොකිව්වට ඒ අනුව කටයුතු කරන කෙනෙක්.


------ 71 ------

තුවාලය සුවපත් වන්නටනම් ඊට නිසි ඖෂධ ලැබිය යුතු වේ......

. Wednesday, November 11, 2009
2 comments

මෙතෙක් කතාව


අධික පීඩනය හමුවේ තාවකාලික ලෙසින් යම් යම් ආකාරවලට සමාජ සෙවයේ යෙදෙන්නන් අප අතර බහුලය. එහෙත් කවදාවත් එයින් නිසි විසඳුමක් ලබා ගත හැකි නොවේ. එය හරියටම නිවැරදිව කිවහොත් හොඳින් පිරිසිඳු නොකරන ලද තුවාලයක් මතට අලවන පැලැස්තරයක් බඳුය. තුවාලය සුවපත් වන්නටනම් ඊට නිසි ඖෂධ ලැබිය යුතු වේ. ධනපතියන් හා ඔවුන්ගේ අනුකම්පාව ලැබිය යුතු දිළින්දන් පිරිසක් සමාජයේ පැවතීම සාමානාත්මතාවය නොවේ. එහෙත් ධනවතුන් සිතන්නේ එසේය.

මේ පිළිබඳව වරක් කිහිප දෙනෙක් හා පුළුල් ලෙසම මයිකල් පියතුමා කතා බහක යෙදුණි.

"බුදු හාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා 'තණ්හාය ජායතී සෝකෝ කියලා.' තණ්හාව නිසා දුක උපදිනවා. ධනය වැඩිවෙනකොට නොයෙකුත් විදිහෙ පහත් ආශාවන්ට මිනිස්සු නැඹුරු වෙනවා වැඩි බව අප්ට දකින්න ලැබෙනෙවා. චක්තවත්ති සිහනාද සූත්‍රයෙන් බුදු හාමුදුරුවෝ පෙන්නලා දීලා තියෙනව මුළු සමාජයටම ආර්ථික යහපත අවශ්‍යයි කියලා. කූට දත්ත සූත්‍රයෙන් පැහැදිලි  කරලා තියෙනව ආර්ථිකය දියුණු නොවේ නම් මිනිසා අසහනයටත් කැලඹීමටත් පත්වෙනවා කියලා. ගමට, රටට විශේෂයෙන් දිළින්දන්ට තීරණ බලය දිය යුතුයි කියලා මහා පරිනිබ්බාන සූත්‍රයේදී බුදු හාමුදුරුවෝ දේශනා කළා. ඒත් දැන් උන්වහන්සේගේ දර්ශනය විනාශ කරලා. මිනිස්සු මුදල් වල වහලුන් වෙලා."

මයිකල් පියතුමා බුත්තල මිනිස්සුන්ට කීය. එතුමා මිනිසුන්ට වඩාත් සමීප වන්නට  වන්නට මිනිසුන්ද පියතුමා වෙත ඒ හා සමානව සමීප වන්නට විය. ඒ ප්‍රදේශයේ වැඩි කොටාක් වූ දිළින්දන්ගේ දුක අහන්නට, ඒ දුකට හැකි ඉහලම ආකාරයෙන් පිහිටක් වන්නට සේම පිහිටක් ලබා දිය හැකිදැයි  සොයා බලන්නට යන මේ හැම දේකටම ඔවුන්ට සිටියේ මයිකල් පියතුමාය. බුත්තල ප්‍රදේශයේ විසූ ජනතාවට මෙම පියතුමා පූජකවරයෙක් නොව සැබෑම පියාණන් කෙනෙක් බඳු විය. වෙන මුකුත් නැතැත් නිකන් කතා බහ කර යන්නට හෝ මේ අහිංසක මිනිස්සු මයිකල් පියතුමා සොයා සුබසෙත් ගෙදර පැමිණියහ.

------ 70 ------

ඊලඟ පිටුවට

ප්‍රෝටීන් වලින් වැඩක් නැත. ඊට වඩා මුදල් වටී......

.
0 comments

මෙතෙක් කතාව


සියලු කතා බහ අවසානයේ එම ගොවියා නැගී සිටියේය. සරම කැසකවා ගෙන උදැල්ලත් කර තබාගෙන වේදිකාවට පැමිණි ඔහු මෙතෙක් සභාවේ කියවුනු සියළු දේවල් මෙන්ම ගොවීන්ගේ දුක් ගැනවිලි හා ඔවුන් විඳින පීඩනයද කැටිකොට රසවත් ලෙස හිටිවන කවි කීහිපයක් ගායනා කළේය. මෙතෙක් ඒකාකාරී කතාබහට සවන් දී කිසියම් හෙම්බත් වීමකට පත්ව හුන් ප්‍රේක්ෂකයන් ඉන් මහත් සේ වින්දනයක් ලද බව පෙනිණි.

අවසානයේ සියලු දෙනාම මේ ගොවි අමුත්තා කවුරුන්ද යන්න පිළිබඳව විමසිලිමත් වූහ.

ඔහු අන් කිසිවෙක් නොව මයිකල් පියතුමා බව හෙළිවත්ම සියල්ලෝම තුෂ්නිම්භූතව එකිනෙකාගේ මුහුණු බලන්නට වූහ.


මයිකල් පියතුමාගේ මුහුණින් පලවූයේ වෙහෙසකාරී බවක් හා බැරෑරුම් බවකි. සෝමදාස විසින් සාදා දෙන ලද තේ කෝප්පය නිහඬවම බී අවසාන කළ පියතුමා හිස් කෝප්පයද රැගෙන කුස්සිය දෙසට පියමං කළේය.

ඉහල තැන්වලට ලිව්වත්, කතා කළත් ගැමියන්ගේ ගැටළුවලට විසඳුම් ලැබෙන පාටක් නොපෙනේ. "ආරෝග්‍යා පරමා ලාභා" යැයි බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබිණි. එහි අරුත නිරෝගී කම  උතුම්ම ලාභයයි යනුය. එහෙත් මේ රටේ වැඩි දෙනෙක්ම පෝෂණ ඌනතාවයෙන් පෙලෙති. රටේ සුළුතරයක් වගකිව යුතු වුවද මීට අන්තර්ජාතික බලවේගද හවුල් වී ඇත.

ලෝකයේ ධනවත් බලවත් රටවල් තුන් වන ලෝකයේ රටවල් වලින් ඉස්සන් හා කකුළුවන් ආනයන කරන්නට සැරසෙති. ධනවත් බලවත් රටවල් යනු ලෝකයේ රටවල් වලින් තුනෙන් එකකටත් වඩා අඩු ප්‍රමාණයකි. මේ තුනෙන් එකකටත් වඩා අඩු පිරිසක් සැරසෙන්නේ තුනෙන් දෙකකටත් වඩා වැඩි පිරිසකට අයත් ප්‍රෝටීන් විශාල ප්‍රමාණයක් කා දැමීමටය.

පියතුමාගේ කෑම කාමරයේ එල්ලා තිබූ පෝස්ටරයකද එය සඳහන්ව තිබිණි. එහෙත් 1986 වැනි කාලයක මෙරට ඉස්සන් වගාව වඩාත් ව්‍යාප්ත වෙමින් පැවතියේය. ප්‍රෝටීන් වලින් වැඩක් නැත. ඊට වඩා මුදල් වටී.

ධනවතුන්ගේ ඉස්සන් ව්‍යාපාරවල දිළින්දන් දහඩිය හෙලූහ. ප්‍රෝටීන් තමන්ට ලබාගන්නට නොව පිටරට්ටුන්ට වඩා හොඳ ප්‍රෝටීන් ලබා දීම සඳහා දහඩිය හෙලා ඊට සරිලන්නට කීයක් හෝ සොයා ගන්නටය.

------ 69 ------


කසිප්පු පෙරූ තරුණයාට රැකියාවක්......

. Tuesday, November 10, 2009
0 comments

මෙතෙක් කතාව


යන්තම් සුරුස් ගාලා සද්දයක් ඇහුනත් ඇහැරෙනවා. අපි විඳින දුක දන්නේ උඩ ඉන්න දෙයියෝ විතරයි සුවාමි. ඒත් දෙයියොත් නැතුව ඇති මේ පැතිවල මිනිස්සුන්ගේ දුක ගැන බලන්න." තරුණයා කියාගෙන ගියේ තමන් තුළ නැඟුනු ආවේහ එපරිද්දෙන්ම පිට කරමිනි.

"මට ඔය හැම දෙයක්ම හොඳටම තේරෙනවා. ඒත් නිවැරදි මාර්ගය ඕක නෙමේ. ඔයා සල්ලි හොයන්න නිවැරදි කියලා හිතලා තෝරගෙන තියෙන මාර්ගය තුළින් සිද්ධවෙන්නේ තවත් ජීවිත ගණනකට හානි සිද්ධවෙන එක." මෙසේ තරුණයා වෙත හැරුණු මයිකල් පියතුමා බුද්ධාගමේ පෙන්වා දෙන ගාථා පාඨයන් කීපයක් විස්තර කර අවසානයේ බෞද්ධ දර්ශනයෙහි, පරලොව ජීවිතය සැපවත් කරගැනීම පමණක් නොව මෙ භවයේදී නිවැරදි දේ කිරීම පිළිබඳවත් නිසි ලෙසින්ම උගන්වා ඇති අයුරු පහදා දුන්නේය.

මෙබඳු පහදා දීම පමණක් තරුණයන්ගේ ගැටළු වලට ප්‍රමාණවත් නොවන බව සත්‍යයකි. ඉන්පසු එම තරුණයාට මාසිකව රු. 3000 ක පමණ වැටුපක් ලැබෙන රැකියාවක්ද මහත් පරිශ්‍රමයක් දරා මයිකල් පියතුමාම සොයා දුන්නේය.

රැකියාව ලැබී මුලින්ම එහි යන දවසේ තරුණයා සුබසෙත් ගෙදරට පැමිණ මයිකල් පියතුමා ඉදිරියේ දණින් වැටී ඔහුගේ දෙපා අල්ලා වැන්දේය. පියතුමාගේත් තරුණයාගේත් කඳුළින් පිරි දෙනෙත් එක් නිමේෂයක් තුළ එකිනෙක ගැටී තිබිණි.

මයිකල්  පියතුමා බුත්තල ප්‍රදේශයේ දුක් විඳින මිනිසුන්ගේ හදවත බඳු විය. ඔහු කොතෙක් එම මිනිසුන්ට සමීපව සිටියේද කිවහොත් වරක් රාජ්‍ය නොවන සංවිධානයක් මඟින් මහනුවර ලේවැල්ලේ පැවැත්වූ ගොවීන් සඳහා වන සම්මන්ත්‍රණයකට මයිකල් පියතුමාද සහභාගී විණි.

සම්මන්ත්‍රණයකට පැමිණ සිටි දේශකයන් පවත්වන කතාවන් එකිනෙක නිමවෙමින් තිබිණි. පිටුපස අසුනක වාඩි වී හුන් සරමකින් සැරසුණු ගොවියෙකු මෙ සියල්ල කිසිදු හාවක් හූවක් නැතිව සවන් යොමු කර අසා සිටිනු පෙනිණි. ඔහු සිටියේ හිසේ ජටාවක්ද බැඳගෙනය.

------ 68 ------

ප්‍රශ්නය : වතුර හිඟ කම - පිලිතුර: පාර පළල් කර දෙපස ගෙවල් අලංකාරකරණයට මුදල්......

.
0 comments

මෙතෙක් කතාව

බුත්තල ප්‍රදේශයේ මිනිසුන් පීඩා විඳින බලවත්ම ගැටළුව වූයේ ජලය හිඟ කමයි. ඒ සඳහා කළ යුතු සුදුසුම පියවරක් වන්නේ ජලය ලබා ගැනීම සඳහා වැවක් ඉදි කිරීමයි. එහෙත් එවැන්නක් නොකර ඒ වන විට එම ප්‍රදේශයේ රුපියල් කෝටි ගණනක් වැය කර මහා මාර්ගයක් ගම් උදා ව්‍යාපෘතිය මගින් ඉදිකරගෙන යමින් තිබිණි. මහා මාර්ගය පළල් කොට අළුතින්ම ඉදි කිරීම වරදක් නොවේ. එහෙත් ප්‍රදේශයට පවතින බලවත්ම ගැටළුව මහා මාර්ගය නොව ජලයයි. එපමණක් නොව බුත්තල ප්‍රදේශයේ ගොවියන් බහුජාතික සමාගම් වල සදාකාලික ණයකරුවන් වී හිඳිති. ඔවුන් ණය කරුවන් කරමින් මහපාරට පෙනෙන ගෙවල් පමණක් ප්‍රතිසංස්කරණය කිරීමට මුදල් ලබා දෙයි. මේ තත්වය මයිකල් පියතුමා රිස්සුවේ නැත. ගැමියන්ගේ අදහස් හා
අවශ්‍යතාවයන් නොසලකා නිලධාරීන්ට අවශ්‍ය පරිදි වැඩ කරීමෙන් මේ අහිංසක මිනිස්සුන්ට කිසිවිටෙක යහපතක් සැලසෙන්නේ නැත.

ප්‍රදෙශයේ ඇතැම් තරුණයින් මෙන්ම වැඩිහිටියන්ද කසිප්පු පෙරීම, ගංජා වැවීම ව්‍යාපාර වශයෙන් කරගෙන යමින් සිටියහ. අයි. ආර්. සී. කාරයෙක් යැයි ගමේ මෙලෙස හංවඩු ගැසී තිබූ එක්තරා තරුණයෙක්ව මයිකල් පියතුමා පණිවිඩයක් යවා සුබසෙත් ගෙදරට කැඳවීය.

ඔහුගේ මුහුණේ තිබුණේ කැළඹිලි සහගත බවකි. මඳක් පැකිලෙමින්, හිස කසමින් දෑඟිලි මිරිකා ගනිමින් තරුණයා පියතුමා සමීපයට පැමිණියේය.

"සුවාමි මට එන්නයි කිව්වේ?" තතනමින් ඔහු විමසීය. "ඔව්" යන අරුත පළවෙන සේ පියතුමා හිස සැලුවේය.

"වාඩි වෙන්න" පියතුමා ගේ ඉදිරිපස වූ පරණ පුටු කිහිපය දෙසට අත දිගු කරමින් කීය. තරුණයා සමඟ සුහද ලෙස කතා බහේ යෙදුනු පියතුමා පිළිබඳ ඔහුගේ සිතේ වූ කුකුස සහ බිය සහමුලින්ම දුරුව යමින් තිබිණ.

"සුවාමිට වුණත් මේ හිටපු අවුරුදු කීපෙට තේරිලා ඇතිනේ? කසිප්පු විකුණන්නේ ආසාවට නෙමේ. බඩිගින්න නිවාගන්න ගතමනාවක් හොයාගන්න. කැලේ ගංජා වවන එකත් ලේසි පහසු දෙයක් නෙමේ. තුන් තිස් පැයේම ඒ කාරණා දෙක හින්දා අපි ඉන්නේ හිතේ බයෙන්. කොයි වෙලේ පොලිසියට අහුවෙයිද දන්නේ නෑ. නිදා ගන්නෙත් දවසට පැය කීයද? ඒකත් අඩ නින්දක්.

------ 67 ------

එසේම ගවමස් අනුභවය ඔහු මුළුමනින්ම පිළිකුල් කළ......

. Monday, November 9, 2009
0 comments

මෙතෙක් කතාව


"මේ සේරම දේවල් පෙනි පෙනීත් මිනිස්සු ඇස් කන් පියාගෙන වගේ ඉන්නවා." මයිකල් පියතුමා නිතර කියා සිටියේ මේ හැම වරදක්ම නිවැරදි කර ගැනීම ආරම්භ කළ යුත්තේ තම තමන්ගේ ගෙවල්වලින් බවයි.

කෑම කාමරයට මේසයක්, පුටුවක් තබා කෑම ගැනීම පවා පියතුමා අත හැරියේය. සුබසෙත් ගෙදර වටේට පිල්කඩක් සකස් කර තිබිණි. පිඟානට බත් පතක් බෙදා ගන්නා පියතුමා පිල්කඩ මත වාඩිවී පිඟාන අත්ල මත තබාගෙන ආහාර ගත්තේය.

ගොවිතැන  යාන්ත්‍රික කරණය වීම මෙන්ම නිරතුරු කෘමි නාශක භාවිතයට ගොවීන් හුරුවීම නිසා මිනිස් සිරුරට සිදු වන හානි අති විශාලය. ඒ නිසාම සී සෑම සඳහා ගොවීන් උනන්දු කරවන්නට පියතුමා මහත් වෙහෙස ගෙන කටයුතු කළේය.

ගොවිතැන සඳහා ලබා ගත යුතු පොහොරවල මිල ගොවීන්ට කෙසේවත්ම ඉසිලිය නොහැකි තරම්ය. ඒ අනුව දේශීය පොහොර භාවිතය සඳහා යලිත් ගොවීන්ව උනන්දු කරවන ලදී. ප්‍රදේශයේ තරුණ ගොවීන්ට ගොවි පුහුණුවක් ලබාදෙන්නට කටයුතු කොට විශ්ව විද්‍යාලයේ කෘෂිකර්මය හදාරන සිසුන් කණ්ඩායමක් ගෙන්වා ඔවුන් තුළ ඇති විෂය පිළිබඳ න්‍යායික දැනීම ප්‍රදේශයේ ගොවීන්ටත්, ගොවීන් තුල ඇති ප්‍රායෝගික දැනීම එම සිසුන්ටත් ලබා දීමට පියතුමා උනන්දු විය.

ගොවිතැනේ පමණක් නොව දේශීය සංස්කෘතියෙහි පවා ගවයාට හිමි සුවිශේෂ ස්ථානය පිළිබඳ මයිකල් පියතුමා කථා කළේ මහත් වූ ගෞරවයකින් යුතුවය. චිත්‍ර ඇඳීමට මහත් දක්ෂතාවයක් දැක්වූ පියතුමා ගවයින් ලවා කුඹුරක සීසාන දර්ශනයක් තමාම ඇඳ සුබසෙත් ගෙදර බිත්තියේ එල්ලා ගත්තේය. එසේම ගවමස් අනුභවය ඔහු මුළුමනින්ම පිළිකුල් කළ අයෙක් විය.
ජේසුස් වහන්සේ තිරිසන් සතුන්ට පවා කරුණාව දැක්වූ බව පැහැදිලියි" එතුමා නිතර කීවේය.

රටක තිබිය යුතු නියම දේශපාලනය යනු සෑම දෙනාටම සාධාරණය ඉටු කරන තත්වයකි. කුසගින්න දරාගත නොහැකිව පාන් ඉල්ලා කෑ ගැසූ අසරණයන්ට " පාන් නැත්තම් කේක් කාපල්ලා" යි කියූ දේශපාලකයෝද ලොවෙහි  වූහ. එය අතීත සිද්ධියක් වුවත් අදත් එවැන්නක් නැත්තේ නොවේ.

------ 66 ------


ඊලඟ පිටුවට

ඉස්සර රට ආගන්තුක සත්කාරය සඳහා නම් දරා තිබුණි......

.
0 comments

මෙතෙක් කතාව


 4 වන පරිච්ඡේදය

සමාජ අසාධාරණයට එරෙහිව.

ආචාර්ය මයිකල් රුද්‍රිගු පියතුමා බුත්ටල අළුකළවිට පැමිණ වසර කීපයක් ගතව තිබිණි. එතෙක් මෙතෙක් මයිකල් පියතුමා තුල තිබූ එකම අපේක්ෂාව වූයේ මේ ප්‍රදේශයේ දිළින්දන්ට හැකි ඉහලම සේවයක් කිරීමය. ගැඹුරු දේව ධර්මයක් හා මානුෂික බවක් තුළින් දිළින්දන් වෙත කැපවීම පූජකවරයෙකු සතු කාර්යභාරය බව මයිකල් පියතුමා විශ්වාස කළේය.

උසස් සංස්කෘතියකට හිමිකම් කී මෙරටේ ඒ වටිනා ජාතික සිරිත් විරිත් සහ ගති පැවතුම් විනාශව ගොසිනි. විශේෂයෙන් නිදහස් ආර්ථික ප්‍රතිපත්ති මගින් ඒ හැම දෙයක්ම ක්‍රම ක්‍රමයෙන් ගිල ගනිමින් පවතී.

ඉස්සර රට ආගන්තුක සත්කාරය සඳහා නම් දරා තිබුණි. එහෙත් දැන් ආගන්තුකයෙක් ගෙයි දොරට තට්ටු කරන විටත් ඇති වන්නේ භීතියකි. දොර අරින්නේ මහත් වූ බියෙන් මෙන්ම සැකයෙන්ද යුතුවය. උදේ සවස බුදුන් වැඳ පන්සිල් අරගෙන ගුණදහම් රැකි රටේ අද පන්සිල් පද පහවත් හරියකට මතක නැති මිනිස්සු බොහෝ වෙති. මත්පැන් මත්ද්‍රව්‍ය ඇතුළු දුරාචාරයන් තරුණ පරපුර ගිලගෙන ඇති තරම කොතෙක්ද කිවහොත් අතීතයේ සරලව සුන්දරව ගෙවී ගිය විවාහ ජීවිතයට  පවා අද එය මහත් වූ තර්ජනයක් බවට පත්ව ඇත. හැදිච්චකම, යහපත් චරිතය ගුණගරුකකම් වැළලී ගොසිනි. ඒ වැළලුනු තැන් මත සරුවට වැඩෙමින් පවතින්නේ මුදල් පසුපස හඹා යන්නට මිනිසුන් තුළ පවතින නොනිත් ආශාවයි.

ගෙදර බුදුන් යැයි විරුදාවලි ලත් මවත් පියාත් දෙදෙනාම හවුලේ මේ තරඟයේ කොටස්කරුවන් වී හිඳිති. ඔවුන් රෑ බෝවී ගෙදර එන විට දරුවන් නිදිය. එබැවින් දරුවන් හා දෙමාපියන් අතර සබඳතාවය ගිලිහී ගොසිනි. ආදරය රැකවරණය නිසි ලෙස නොලබන දරුවන් අද සමාජ පිළිල බවට පත්විය හැකි බොහෝ දේවල්වල යෙදී හිඳින කොටස්කාරයන්ය. අප රටේ සංස්කෘතිය, සාරධර්ම අධි වේගයෙන් පිරිහී යමින් පවතී.


------ 65 ------

මං මේ ඊයේ රෑ අරන් ගිය සුවාමිගේ අර ඇඳුම් ටික ගෙනාව......

. Sunday, November 8, 2009
1 comments

මෙතෙක් කතාව




මයිකල් පියතුමා සුපුරුදු කාරුණික සිනාවෙන් ඔහු වෙත පැමිණියේය.
"සුවාමි ඊයේ රෑ මම ආවෙ, සුවාමිට අඳුනන්න පුළුවන්නේ මාව?"

"ඇයි මට අඳුනන්නට බැරි? දැන් කොහොමද පවුලටයි දරුවටයි?" පියතුමා ඇසුවේය.

"සුවාමි බෝධිසත්වයෙක් වාගේ අපට පිහිට වුණා. මගේ ගෑණියි දරුවයි සනීපයෙන් ඉන්නවා. ඔබ තුමාටයි සිස්ටර්ලටයි පින් සිද්ධ වෙන්ව. සුවාමි මං මේ ඊයේ රෑ අරන් ගිය සුවාමිගේ අර ඇඳුම් ටික ගෙනාව. මමමයි හොඳට හෝදලා වේලුවෙ සුවාමි." තමා අත වූ පාර්සලය අතිශය ගෞරව සම්ප්‍රයුක්තව පියතුමා අත තැබූ ඒ පුදගලයා බෞද්ධයෙක් ලෙස තමන්ට හුරු පුරුදු ආකාරයට මයිකල් පියතුමාට දොහොත් මුදුන් තබා වැන්දේය.



------ 64 ------

ඊලඟ පිටුවට

ඇඳුම නෙවෙයි වටින්නේ අර අම්මගෙයි දරුවගෙයි ජීවිත දෙක......

. Saturday, November 7, 2009
0 comments

මෙතෙක් කතාව


" ඒත් මේ සීතලේ අම්මවයි දරුවවයි ආපසු යවන එක හරිම අවදානම්" බෙනඩික්ටා කන්‍යා සොයුරිය කල්පනාකාරීව කීවාය.
"මොන විදියෙන් හරි එහෙමනම්  මේ දෙන්නව උණුසුම්ව තියන්න වෙයි ගෙදරට යනකල්" මිල්බර්ගා කන්‍යා සොයුරියද පිළිතුරු දුන්නාය.

කිසිදු කතා බහකින් තොරව මයිකල් පියතුමා ගෙතුළට වැදෙනු පෙනිණි. ඊලඟ නිමේෂයේදි පියතුමා මොනවාදෝ ඔසවාගෙන එතැනට පැමිණියේය.

" මේ ටික ට්‍රැක්ටරයේ ඇතුලේ එළන්න. එතකොට හොඳට උණුසුම තියේවි ගෙදරට යනකල්." යනුවෙන් පවසමින් පියතුමා තමා අතවූ ගුලියට ඔතන ලද රෙදි පොදිය අසරණ තරුණ සැමියා අත තැබීය.

"ස්වාමි මේ...." එම පුද්ගලයාට වචන ගලපා ගැනීම අසීරු බවක් දැනිණි. කන්‍යා සොයුරියෝ පුදුමයෙන් මෙන් බලා සිටියහ. සැබැවින්ම මයිකල් පියතුමා එම අසරණ මිනිසා අත තබා තිබුණේ තමා සන්තක අනෙක් සරම හා කමිස කිහිපයයි.
" ඇයි මේ පුදුමයෙන් වගේ?" මයිකල් පියතුමා සිනාමුසු මුහුණින් එහෙත් කාරුණිකව ඇසීය.

" අනේ සුවාමි....."
"මට මේ ඇඳුමක් තියෙන්නේ මේ හොඳටම ඇති." පියතුමා තමා ඇඟලා සිටි සරම හා කමිසය දක්වමින් කීය.

"ඔය ටික දාන්න අම්මවයි දරුවවයි උණුසුම් වෙන්න. මට එක ඇඳුමක් තිබුණම ඇති. ඇඳුම නෙවෙයි වටින්නේ අර අම්මගෙයි දරුවගෙයි ජීවිත දෙක."

සැබවින්ම දරුවා සහ මව ශීතලයෙන් වෙව්ලයි. ඒ අතර දරුවා මහ හඩින් හඬයි. වහ වහා ට්‍රැක්ටරය තුල මයිකල් පියතුමාගේ සරමක් එළා ඉතිරි ඇඳුම්වලින් මවගේත් දරුවාගේත් සිරුරු වෙලන ලදී. ඔවුහු මයිකල් පියතුමාටත්, කන්‍යා සොයුරියන්ටත් පින් දෙමින් ආපසු පිටත්ව ගියහ.

පසුදින සවස් යාමය වන විට කවුදෝ මිනිසෙකු සුබසෙත් ගෙදර ඉදිරිපස අවිහිංසක බයාදු සිනාවක් පාමින් සිටගෙන සිටිනු පෙනිණි.


------ 63 ------

ට්‍රැක්ටරය තුලම එම කාන්තාව දරුවා බිහි කළාය......

. Friday, November 6, 2009
0 comments

මෙතෙක් කතාව



මිල්බර්ගා සොයුරිය මෙන්ම සුසිල් භවනෙහි වෙසෙන තරුණියද බෙනඩික්ටා සොයුරිය දෙසත් ගැබ්බර කාන්තාව දෙසත් මාරුවෙන් මාරුවට බලන්නට වූයේ අන්දමන්ද වූ විලාශයෙනි.

බෙනඩික්ටා සොයුරිය විසින් අවශ්‍ය කරන දේවල් වහ වහා ට්‍රැක්ටරය අසලටම ගෙන්වා ගන්නා ලදී. කුමක් හෝ උදව්වක් අවශ්‍ය විටෙක කරදීමේ අපේක්ෂාවෙන් මයිකල් පියතුමා සුබසෙත් ගෙදරට වී සිටියේ එම ස්ථානයට යෑම නොසුදුසු යැයි හැඟුණු නිසාවෙනි.

එම ගැබිණි කාන්තාව රෝහලකට ගෙන යාමට තරම් කල් නැත. ඇය වේදනාවෙන් කෑ මොර දෙමින් දඟලයි. ඈ හොඳින් පරීක්ෂා කර බැලූ බෙනඩික්ටා කන්‍යා සොයුරියට ඒ වන විටත් ඇගේ කුස හොත් දරුවා මොළොව එළිය දැකීම සඳහා මව් කුසින් පිටතට පැමිණෙමින් සිටින බව පැහැදිලි විණි.

තවත් විනාඩි කීපයක් ගතවිය.  ට්‍රැක්ටරය තුලම එම කාන්තාව දරුවා බිහි කළාය. ඇයට වින්නඹුකම් කළේ බෙනඩික්ටා සොයුරියයි.

මෙතෙක් කෑ මොර දෙමින් හුන් මවගේ මුහුණේ සතුටු කඳුළු නැගෙමින් තිබුණද ඉතාමත් දුර්වල තත්වයකින් සිටි ඇය සීතලෙන් වෙව්ලන්නට වූවාය. දරුවාද සීතලය නිසා හඬයි.

"ෆාදර් මේ අම්මවයි දරුවවයි අද රෑ නතර කර ගන්න වෙනවා." කන්‍යා සොයුරිය මයිකල් පියතුමා කැඳවමින් කීවාය.

"ඒක කළයුතු නම් කොහොමහරි කරන්න ඕනෑ." මයිකල් පියතුමා පැවසීය.

"අද ඉන්න විදියක් නෑ සුවාමි."

ට්‍රැක්ටර් රියදුරු දෙසද හොරැහින් බලමින් එම කාන්තාවගේ සැමියා බයාදු හඬින් කියා සිටියේය. මයිකල් පියතුමා කන්‍යා සොයුරියන් දෙස බැලුවේ කුමක් කළ යුතුද යන ප්‍රශ්නාර්ථය  මුහුණට නගා ගනිමිනි.

"ඇයි නවත්වන්න අමාරු?" බෙනඩික්ටා කන්‍යා සොයුරිය කරුණාබර හඬින් විමසුවාය.

"අනේ සිස්ටර් මේ ට්‍රැක්ටරේට හදිසි ගමනක් යන්න තියෙනවා. මේකෙන් දැන් නොගියොත් මගේ ගෑණිව ගෙදර එක්ක යන්න විදියක් නැතිව යනවා" අසරණ ගැමියා යළිදු පැවසීය.  


------ 62 ------


ඊලඟ පිටුවට