මෙතෙක් කතාව
අමුත්තා දෙස සිනාමුසු මුහුණින් බැලු මයිකල් පියතුමා ඒවායෙහි වූ මඩ සහිත පස් සෝදන්නට විණි.
"සැරෙන් සැරේට ගිහින් එළවළු උදුරගෙන කඩාගෙන එන එක කරදරයක්නේ. ෆාදර් අයිස් පෙට්ටියක් තියාගත්ත නම් නේද හොඳ ඒක කොයිදෙටත් පහසුයිනේ?"
"හා......හා එහෙම කියන්න එපා. මං ගුරුවරයෙක් විදියට ආදර්ශවත් වෙන්න ඕන. එහෙම නැත්තම් මගේ ශිෂ්‍යයොත් කවදාහරි මෙහෙන් පිටවෙලා ගම්බිම්වල මීසම්වලට සේවය කරන්න ගියාමඔය විදියේ එක එක පහසුකම් හොයාවි. මිනිස්සුන්ට සේවය කරන එක, ඒ සේවය වෙනුවෙන් කැපවෙන එක අවංක හැඟීමෙන් කරන්න ඕනෑ. පැවිද්දෝ හැටියට අපි ඔයවගේ සුඛෝපභෝගී දේවල් හොයන එක සුබ නෑ."
අමුත්තා පියතුමා දෙස නෙත් නොසලා එක එල්ලේ බලා හිඳ අනතුරුව සැහැල්ලු සිනාවක් පෑවේය.
පියතුමාගේ ජීවිතය එපමණටම සරල විය. සැහැල්ලු විය. මෙසේ ඔහු තම පූජක සිසුන් නව මගකට අනුව පුහුණු කරමින් සිටියේය. පොළවේ පය ගසා ජීවත් වෙන්නට, ඒ අනුව මිනිසුන්ගේ ගැටළු හඳුනාගන්නට ඔහු හැමවිටම තම සිසුන්ට උගන්වාලීය. පියතුමා පිටතට යන විට වැඩිපුරම ඇන්දේ ජාතික ඇඳුමය. එහි උඩු කොටසේ පැත්තක කුඩා කුරුසයක් විණි. ඒ හැර සාමාන්‍යයෙන් තම කුටියට වී ගත කරන මොහොතේ සරමක් සහ කමිසයක් අඳින්නට එතුමා හුරු විය. නිදා ගැනීම සඳහා ඇඳක් පාවිච්චි කිරීම පවා පියතුමා මේ වන විට අත්හැර දමා තිබිණි.
දිනක් තම එකම බාප්පා වූ මයිකල් පියතුමා දකින්නට එතුමාගේ සොයුරාගේ දියණියක සේවක සෙවනට පැමිණියාය. කතා කරමින් හිඳින අතරේ බාප්පාගේ කුටියෙහි සෑම තැනම ඇවිදිමින් සිටි දියණියට එහි කුමන ආකාරයක හෝ සැප පහසුවක් සලසා ගෙන ඇති වගක් නොපෙනිණි.
"මයිකල් බාප්පා නිදාගන්නේ................?" දිගු ලෑල්ලක් මතවූ පැදුරක් හා කොට්ටයක් දැක දියණිය විමසුවේ මඳ සැකයෙන් යුතුවය. පියතුමා සංසුන් සිනාව පෑවේය.
"මේ ලෑල්ල උඩද?" ඇය දෙවන වරටත් ඇසුවාය.
"මේක මට ඕනෑවටත් වඩා හොඳයි. දුව ඒ ගැන හිත කරදර කර ගන්න එපා."
පියතුමා පවසන දෙය දියණිය අසා සිටියේ අයාගත් දෙනෙතින් යුතුවය.
නිදාගන්නේ මේ ලෑල්ල උඩද ................?
------ 42 ------
0 comments:
Post a Comment