ඝාතනයට පැය 1 1/2 කට පෙර......

. Monday, November 30, 2009
0 comments

මෙතෙක් කතාව

      ......එහෙත් මයිකල් පියතුමා එය ගණනකට ගත් බවක් නොපෙනිණි.

      "දෙවියන් වහන්සේ නොදැන කිසි දෙයක් සිද්ධ වෙන්න බෑ. ඒ හින්දා ඔයා අනවශ්‍ය දෙවල් හොයන්න කාලෙ ගත කරන්නෙ  නැතිව එ වෙලාවෙ යාච්ඥාවක් කර ගන්න එක හොඳයි නේද?"

      මයිකල් පියතුමා එය ගණනකට නොගෙන පැවසූ විට ඊට ඉහලින් යම්ක් කියන්නට කන්‍යා සොයුරියන් උත්සහ නොකළත් ඔවුන්ගේ සිත් භීතියෙන් හා සැකයෙන් ඇලලී ගොස් තිබිණි.

      එදින සැන්දෑවෙහි මයිකල් පියතුමා මහත් උවමනාවකින් ලතින් ඇමෙරිකානු රටවල් වල දිළිඳු ජනතාව සම්බන්ධ ලිපියක් කියවනු පෙනිණි. එම දිළිඳු ජනයා වෙනුවෙන් කිතුනු පූජක වරුන් සහ කන්‍යා සොයුරියන් කරන ලද කැපවීම ඔවුන්ට වෙඩි තබා මරා දමන ලද අන්දම මේ ආදී බොහෝ දේවල් එම ලිපියෙහි ඇතුළත්ව තිබිණි. එය අවසන් වී ඔහු හිස් කඩදාසි කිහිපයක් ගෙන කුමක්දෝ ලියන්නට විය.

      අද රෑට අපූරු වැඩක් සිද්ධ වෙනවා බලන්නකො පූජාව වෙලාවෙදි" තමා අසලින් ඒ මොහොතේ යන්නට ආ සුසිල් සෙවනේ හි සිසුවියක් සමඟ පියතුමා පැවසීය. වෙනදාට සුබසෙත් ගෙදර දිව්‍ය පූජාව පැවැත්වීම ආරම්භ වන්නෙ රාත්‍රී 7.00ට පමණය. එහෙත් එදින එය ඊට වඩා වේලාසනින් ආරම්භ කිරීමට පියතුමාට වුවමනා වී තිබිණි. සැන්දෑවේ 6.00 ආසන්න වන විට දිව්‍ය පූජාව සඳහා අවශ්‍ය සියළුම දේ සූදානම් කරගත් පියතුමා කන්‍යා සොයුරියන් ඇතුළු අන් අයටද ආරාධනා කළේය. එහෙත් ඒ අය පැමිණෙන්නට මඳක් පමා වූ බැවින් පියතුමා උස් හඬින් ගීතිකාවක් ගයන්නට විය.

සෑම සිරි ගලා එනා
එකම උල්පත වනා
ත්‍රි එක් සුරිඳුන්ගේ ගුණා
වනත්වා ලෝ සැම දෙනා

      කෙසේ හෝ සැන්දෑවේ 6.00 වන විට දිව්‍ය පූජාව ඇරඹිනි. "දෙවියන් වහන්සේ වෙනුවෙන් අපට ඕන තරම් කාල වේලාව තියෙනවා." එසේ කී මයිකල් පියතුමා වෙනදාට වඩා වැඩි වේලාවක් අද දින පූජාව සඳහා යොදා ගන්නට තීරණය කර ඇති බව පැවසීය.

------ 99 ------

      මේ වන විට බුත්තල ප්‍රදේශය තුළ උද්ගත වී තිබූ තත්වය මත බොහෝ දෙනෙකුගේ අදහස වූයේ ටික කලකට හෝ බුත්තල හැර දමා කොළඹට පැමිණීම සුදුසු බවයි. පියතුමා සැම විටම දිළිඳුන්ගේ පැත්ත ගැනීම නිසා මෙ වන විට එතුමා වෙත බලවතුන්ගේ දැඩි තර්ජන එල්ල වෙමින් තිබිණි. එපමණක් නොව එම ප්‍රදේශයේ සිදුවන සෑම සිදුවීමක් සම්බන්ධයෙන්ම සුබසෙත් ගෙදර පරීක්ෂාවට ලක් කිරීමද ආරක්ෂක හමුදාවන් වෙතින් නොකඩවාම සිදු විය.

      මේ සියළු හේතූන් අනුව සළකා බැලූ කල මෙහි රැඳි සිටිය යුතුද නැද්ද යන්න අළුතින් සිතා බැලීම කළයුතු විණි. මේ මොහොතේ කන්‍යා සොයුරියන් දෙදෙනා සහ සිසුවියක්ද දිව්‍ය පූජාව සඳහා පැමිණ සිටියහ. මයිකල් පියතුමා යමක් ලියූ කඩදාසි කැබලි තුනක් තිදෙනා අත තැබීය. ඔහු මින් ස්වල්ප වෙලාවකට පෙර මොනවාදෝ ලියමින් සිටියේ මේ කොළ කැබලිවල විය යුතුය.

      අප මෙහි රැදී සිටිය යුතුද? යා යුතුද? එම කඩදාසි කැබලිවල උඩින්ම එසේ සඳහන් කර තිබිණි. "යාමට හේතු හා නොයාමට හේතු" යන්න ඊලඟ පේලි දෙකක සටහන් විය. ඔවුන් තිදෙනා තම තමන්ගේ පෞද්ගලික මතය එහි සටහන් කළ යුතු විය.

      මෙහිදි තම අදහස් එහි ලිවීමට එකඟ නොවූ එක් කන්‍යා සොයුරියක් එය අනෙක් අය ඉදිරියේ පළ කිරීමට එකඟ වූවාය.

      "මේ ගමෙන් යන්න ඕනා කියන අදහසට මං කොහෙත්ම එකඟ නෑ." ඇය පවසත්ම අනෙක් කන්‍යා සොයුරිය ඊට එකඟ නැති තමන්ගේ මතය ඉදිරිපත් කරන්නට සැරසුනාය.

      "එයාට බාධා කරන්න එපා කතා කරන්න ඉඩ දෙන්න.ඊට පස්සෙ කතා කරන්න. මයිකල් පියතුමා අනෙක් කන්‍යා සොයුරියව නිශ්ශබ්ද කළේය.

      දෙවෙනුව කතා කළ කන්‍යා සොයුරිය කියා සිටියේ "ගමේ ත්තවය අපට කොහෙත්ම ඔරොත්තු දෙන්නෙ නෑ" යන්නයි.
      සිසුවිය ඔවුන් ඉදිරියේ තම අදහස් දැක්වීමට මඳක් පසු බෑවාය. එහෙත් "සාක්ෂි දැරීම යනු පැන දිවීම නොවේ. ජනතාවට අපිව ඕන නම් අප යා යුතු නැත" යන්න කොළ කැබැල්ලේ සටහන් කළ ඇය එය පියතුමා අත තැබුවාය.

      තම සිසුවිය පිළිබඳව පියතුමාට ආඩම්බර සිතිණි. ඔහු ඇගේ අදහස් අනෙක් දෙදෙනාටද ඇසෙන සේ කියවීය. එසේ තිදෙනාගේම අදහස් විමසීමෙන් පසුව පියතුමා කතා කරන්නට විය.

------ 100 ------

ඊලඟ පිටුවට

මරණයේ දූතයාගේ පැමිණීම......

. Friday, November 27, 2009
0 comments

මෙතෙක් කතාව


7 වන පරිච්ඡේදය 


ජනතාව උදෙසා දිවි පුදති

බොහෝ සවස් කාලවල ඉඩක් ලැබුණු විට මයිකල් පියතුමා තමන් විසින් සුරතලයට ඇති දැඩි කළ අවිහිංසක මුව පොව්වා සමග ගත කළේය. ඌත් සමග වත්තේ දුවන්නට, ඌ වේගයෙන් හුස්ම ඉහල පහළ හෙලන රිද්මයකට ඌ අනුව හුස්ම ඉහළ පහල හෙලන්නට පියතුමා දැක්වූයේ මහත් වූ ආසාවකි.

එම 1987 නොවැම්බර් 10 දින සැන්දෑ යාමයෙහිද මයිකල් පියතුමා මුව පොව්වා සමග වත්තේ සෙල්ලම් කරන්නට විය. පියතුමාගේ සිතට අමුතුම සැහැල්ලුවක් දැනී තිබිණි. මුව පොව්වාද පසු වූයේ සතුටිනි. අහිංසක තිරිසන් සතෙකුගේ ක්‍රියාකාරකම් දෙස බලා ඒ මතින් මහත් වූ මානසික වින්දනයක් ලබන්නට තරම් මයිකල් පියතුමාගේ සිත සංවේදි විය. දෙදෙනා වෙතින්ම මහත් සුහද මිත්‍රශීලී බවක් පළ විණි.

මේ අතර හිතවත් අසල්වැසියෙකු සුබසෙත් ගෙදරට පැමිණියේ මයිකල් පියතුමා හමුවන්නටය. එහෙත් පියතුමා පෙනෙන්නට නොසිටි අතර ඔහුට ඉන් මඳක් එහා සුසිල් සෙවනේ හුන් කන්‍යා සොයුරියන් හමු විණි.

අසල්වැසියා සැළ කළ රහස් පණිවිඩයෙන් ඔවුහු තැති ගත්හ. වහා ඔවුන් පියතුමා සොයා ගියේ මේ පුවත සැළ කරන්නටය.

පියතුමා මුව පොව්වා සමඟ ගත කරනු පෙනේ. මුව පොව්වාට කතා කරන්නට බැරිය. එහෙත් පියතුමා කියන දේවල් ඌ කීකරු දරුවෙකු මෙන් අසා හිඳියි. උගේ සියළු ඉරියව් තුළින් පළවූයේ හාම්පුතා කෙරෙහි වූ ළබැඳියාවයි.

සුදුසු වෙලාවක් බලා කන්‍යා සොයුරියෝ මයිකල් පියතුමා වෙත පැමිණියහ.

" මේ ළඟ ගෙදරක දාමරිකයො කට්ටියක් ඉන්නවා. අද ටිකක් විශේෂයෙන් පරිස්සම් වෙන්න කියලා දැන් ටිකකට කලින් මේ ළඟ ගේක එක්කෙනෙක් පණිවිඩය කියලා ගියා" එක් කන්‍යා සොයුරියක් පවසා සිටියාය.

------ 98 ------

ඊලඟ පිටුවට

බෙදාගෙන කන්න මිනිස්සු පුරුදු වෙනව නම් ප්‍රශ්න ඇතිවෙන්නෙ නෑනේ......

.
2 comments

මෙතෙක් කතාව

......"සිස්‍ටර් මගේ මාර්ගයෙනයින් වෙන්න. මට බාධා කරන්න එපා. මට ඉස්සරහට යන්න දෙන්න." අධිෂ්ඨානනපූර්වක ලෙස සෘජු හඬින් මයිකල් පියතුමා පවසද්දී කන්‍යා සොයුරිය නිහඬ වූවාය. එදින සවස හතරට පමණ පියතුමා සුසිල් සෙවනට පැමිණියේ පේස්ට්‍රි කිහිපයක්ද රැගෙනය. එය ඒ හතර දෙනාට බෙදාගෙන කන ලෙස පවසා යළි ඔවුන් එකිනෙකාගෙන් කුඩා කැබැල්ල බැගින් පියතුමා ඉල්ලා සිටියේය.

"ම්ං මේ විදියට ඉල්ලන්නෙ බඩිගිනි හැදිලවත් පේස්ට්‍රීස් කන්න අමුතු ආසාවක් දැනිලවත් නෙමේ. බෙදාගෙන කන්න මිනිස්සු පුරුදු වෙනව නම් ප්‍රශ්න ඇතිවෙන්නෙ නෑනේ. මං නැති කාලෙක හරි ඔයාලට මේවා ප්‍රයෝජනවත් වේවි. තමන් ගැන විතරක් හිතන්න එපා කොයි වෙලාවකවත්. තමන් ගැන හිතනවා වගේම අනුන් ගැනත් හිතන්න. තමන්ට නැතුව හරි අනුන්ට බෙදලා දෙන්න පුරුදු වෙන්න. ඒ වගේ දේකින් හිතට ලැබෙන සැනසීම හරි විශාලයි.

මයිකල් පියතුමා තම සිසුවියන් දෙදෙනාට සහ කන්‍යා සොයුරියන් වෙත පැවසුවේ අපමණ කරුණාව පෙරදැරි කර ගත් ගුරුවරයෙකු විලසිනි.
 

 ------ 97 ------

ඊලඟ පිටුවට

පාකිස්තානයේ පුහුණුව ලැබූ හමුදාවේ අය හරිම භයානකයි......

. Thursday, November 26, 2009
4 comments

මෙතෙක් කතාව


      "ඉක්මනට ඉගෙන ගන්න ළමයිනේ. තව වැඩි කාලයක් නෑ කොයිදේටවත්. කොයි මොහොතේ දෙවියන් වහන්සේ ටොක්කක් ඇනලා එන්න කියයිද දන්නෙ නෑ." විහිළුවක ස්වරූපයෙන් මුත් පියතුමා පළ කළේ ගැඹුරි හඬකි. සැබවින්ම මයිකල් පියතුමාගේ මුහුණෙන් පළවූයේද ගැඹුරු පෙනුමකි.

      පාඩම කරන අතරේ වුවද ඉන් ටික වෙලාවකට පෙර තමා සාකච්ඡා කරමින් සිටි පාකිස්තානයේ පුහුණුව ලද බව කී හමුදා කර්නල්වරයා පියතුමාගේ මතකයට නැගිනි.

      "ඔය පාකිස්තානයේ පුහුණු වුණු අය හරි දරුණුයි. කොහොමටවත් විශ්වාස කරන්න බෑ. දවල්ට බොහොම මිතුරු විදියට පෙනී ඉඳලා රෑට ඇවිත් මරලා දාලා යනව මිනිස්සුන්ව. ඒ විදියට මරලා දාල නිකන් ඉන්නෙත් නෑ. උදේට ආයෙත් ඒ මළගෙදරට ඇවිත් අනිත් අයත් එක්ක එකතු වෙලා මරණය ගැන දුක් වෙනවා. එතකොට මිනිස්සු ඒ අය ගැන කොහොමටවත් සැක හිතන්නෙ නෑනේ. සතුරු කඳවුරු වල ඔය අය මිතුරු වෙසින් ඉන්නවා. ඊට පස්සෙ රෑට ගිහින් ඒ සේරගෙම බෙලි කපනවා. අන්තිමේ උදේට ඒ හමුදාව රැස් කරන්න නලාව පිඹින කොටයි දන්නෙ සේරම මැරිලා. අන්න ඒ වගේ හරිම භයානක පිරිසක් ඔය."

      පියතුමා එසේ විස්තර කරද්දි තරුණියෝ භ්‍රාන්ත වී බලා උන්හ. ඔවුන්ගේ සමේ රෝම කූප පවා භීතිය නිසාම කෙලින් වී සමේ හිරි ගඩු නැංවී තිබිණි. තරුණියන් දෙදෙන අසලින් හුන් කන්‍යා සොයුරියන් දෙදෙනාද විස්මයෙන් ඇලලී බලා සිටියහ.

      "අනේ ෆාදර් අපිටනම් හරිම බයයි" ඔවුහු වෙව්ලන හඬින් පැවසූහ.

      "ම්ං අද එයාට මේ ගම ගැන හොඳට පහදලා දුන්නනේ. ආයෙත් නම් ඉතින් මට විරුද්ධව දාලා තියෙන ඔය බොරු පෙත්සම් පස්සේ එන එකක් නෑ. මම කුරුසිය අතේ තියාගෙනමයි කතා කළේ. මට කතා කරන්න කුරුසියේ හයිය හොඳටම ලැබුනා." පියතුමා පැවසුවේ තෘප්තිමත් ස්වරයකිනි.

      "ඒ කොහොම වුනත් ෆාදර් පරිස්සම් වෙන එක හොඳයි. මිනිස්සුන්ට තව දුරටත් ෆාදර්ගෙ සේවය අවශ්‍යයි. ඒ හින්දා ප්‍රවේශම් වෙන්න" කන්‍යා සොයුරියක් මයිකල් පියතුමා වෙත කරුණාවන්ත හඬින් කියා සිටියාය.


------ 96 ------


 

ජිවිතය සහ මරණය පිළිබඳ සිතුවිලි......

.
0 comments

මෙතෙක් කතාව



      ...... කන්න දෙයක් නැතුව, අඳින්න හරි හමන් වස්ත්‍රයක් නැතුව, ගිනි ගහන අව්වට පිච්චෙනවට කකුලට දාගන්න රබර් සෙරෙප්පු දෙකක් තරම්වත්, කොටින්ම ඉන්න හරි හමන් ගේ පැලක් වත් නැතුව දුක් විඳින මිනිස්සු මේ පළාතේ හුඟක් ඉන්නවා. ඇයි මේ මිනිස්සු මේ තරම් දුක් විඳින්නේ? අපේ රටේ ස්වභාවික සම්පත් බහුජාතික සමාගම්වලට බදු දීලා නැත්තම්,  උන් ඒ විදියට අපේ රටේ සාරය උරාගන්නෙ නැත්තම් ඔය විදිහට මේ ඌව වෙල්ලස්ස ප්‍රදේශයේ මිනිස්සුන්ට දුල් විඳින්න වෙන්නෙ නැහැ.

      පියතුමා කර්නල්වරයා සමඟ එම පලාතේ දුක් විඳින මිනිසුන් පිළිබඳව තවත් බොහෝ දේ කීවේය. මේ සියල්ල කියාගත් පසු මයිකල් පියතුමාගේ මුහුණෙහි තෘප්තිමත් සිනාවක් ඇඳිණි. එමෙන්ම එතුමාගේ සිතට සැහැල්ලුවක්ද ලැබී තිබූ බවක් පෙනෙන්නට විය. කතාබහ අවසානයේ කර්නල්වරයා පළ කළේ මහත් ලෙන්ගතු බවකි. සෑහෙන වෙලාවකට පසු තමා හුන් අසුනින් නැගී සිටි කර්නල්වරයා "හෙට අනිද්දා දිහාවෙ කතරගමට යන ගමන් ආයෙත් ඇවිල්ලා යන්න එන්නම්කො මට ෆාදර් එක්ක ටිකක් නිදහසේ කතා කර කර ඉන්නත් ඕනෙ" යි පැවසීය. පියතුමා වෙතින් පළවූයේ කෘතඥතාපූර්වක බවකි.

      එම නොවැම්බර් 10 වෙනිදා දහවල් 2.00 ට පමණ කන්‍යා සොයුරියන් සමීපයේ හුන් තරුණියන් දෙදෙනාට  පියතුමා එතෙක් උගන්වමින් හුන් පාඩම් පෙලේ අලුත් පාඩම කියා දීම ආරම්භ කළේය.

      ටික කලක සිට පියතුමාට ඉන් පෙර හිතට නොදැනුනු අන්දමේ අමුතු අමුතු දේවල් සිය ජිවිතය සහ මරණය සම්බන්ධයෙන් දැනී තිබුණු බව අපි මීට ඉහතද සඳහන් කළෙමු. මේ අමුතු සිතිවිලි මතින් පියතුමා වෙතින් දිස්වූයේ වෙනදා නොමැති කාර්යබහුල බවක් හා කඩිසර බවකි. තමා විසින් කළ යුතුව ඇති වැඩ කොටස් ඉක්මනින් ඉවරකර නොදැම්මොත් යළි ඊට අවස්ථාවක් නොලැබේය යන හැඟීමක් පියතුමාගේ යටි සිතෙහි හෝ පහළව තිබුණා විය හැක. එබැවින් මේ තරුණියන් දෙදෙනාට කරනු ලබන ඉගැන්වීමේ කාර්යය වුවද ඉතා ඉක්මනින් කරගෙන යාමේ තදබල අවශ්‍යතාවයක් මෑතකදී පියතුමා තුළ පැවතිණි.

------ 95 ------